වසර 17ක් ඇතුළත නිල්වලා කිඹුලන්ට 19ක් බිලි | සිළුමිණ

වසර 17ක් ඇතුළත නිල්වලා කිඹුලන්ට 19ක් බිලි

මාතර කී සැණින් මත­ක­යට එන ප්‍රධාන සාධ­ක­යක් වන්නේ නිල්වලා ගඟයි. ඈත අතී­තියේ සිට මෑත භාගය දක්වා ජන කතා, රස කතා, කවි ගී ඇතුළු නිර්මාණ රැස­ක­ටම මංපෙත් විවර කර ඇති නිල්වලා ගඟ පිළි­බඳ මෑත බාගයේ වැඩි කතා­බ­හක් ඇතිවී තිබෙන්නේ මිනී­මරු කිඹු­ලන්ගේ අති බිහි­සුණු ප්‍රහා­ර­යන් සම­ඟය.

අතී­තයේ නිල්වලා නිම්නයේ ජීවත්වූ ජන­තාව තම අව­ශ්‍යතා බොහෝ­ම­යක් ඉටු­කර ගැනීම සඳහා නිල්වලා ගඟ භාවිත කළේ කිසිදු බිය­කින් තොර­වය. ඒ අතර වගා කට­යුතු, ගම­න්බි­මන්, බඩු ප්‍රවා­හ­නය, දර සොයා ගැනීම, නෑම, මුහුණ සේදීම, රෙදි සේදීම ආදිය ප්‍රධා­නය. මේ සියල්ල සතු­ටින් හා විනෝ­ද­යෙන් සිදු කළේ තම දෛනික ජීවි­තයේ අංග ලෙසය. එදා නිල්වලා ගඟ ජන ජීවි­තයේ කොට­සක් විය. එදා එලෙස වුව ද අද ජන­තාව එවැනි බොහෝ­ම­යක් ක්‍රියා සඳහා ගඟ භාවිත නොක­ර­න්නේය. ඒ තම ජීවිත ආර­ක්ෂා­කර ගැනීමේ අටි­යෙනි. එදා ගඟ සම­ගම ජීවත්වූ මිනි­සුන් අද ගඟ දෙස බලන්නේ ද මහා බිය­කින් යුතු­වය.

ගොංගල කදු­වැ­ටි­යෙන් පට­න්ගන්නා නිල්වලා ගඟ මාතර තොට­මුණ දක්වා කිලෝ­මී­ටර් අසූ එකක් ගම­න්ක­රන්නේ zනිසාම මිනී­මරු කිඹු­ලන්ගේ බිහි­සුණු ප්‍රහාර ඈත අතී­තයේ සිට අද දක්වා ප්‍රදේශ කීප­යක් පුරා ව්‍යාප්තව ඇත. ඉන් වැඩිම ප්‍රහා­ර­යට ලක්වන ප්‍රදේ­ශය ලෙස වාර්තා වන්නේ අකු­රැස්ස ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල බල ප්‍රදේ­ශ­යයි.

පැරැ­න්නන්ගේ සිත්තුල හා පොත­පතේ සඳ­හන් වන ඉති­හාස කරුණු වලට අනුව නිල්වලා ගඟේ කිඹු­ලන්ගේ මිනී­මරු ප්‍රහාර මීට සිය වස­ස­කට එහා අතී­ත­ය­කට හිමි­කම් කිය­න්නේය. ඉන් එක් අතීත තොර­තු­ර­කින් කියැ­වෙන්නේ පාල­ටුව ප්‍රදේ­ශයේ සිටි මිනී­මරු කිඹු­ල­කුගේ ප්‍රහාර නිසා වසර විස්සක පමණ කාල­යක් මිනිස් ජීවිත දහ­යක් දොළ­හක් පමණ බිලි­ගැ­නීම හේතු­වෙන් 1920 ජුනි 14 දින එවක සිටි මාතර දිසා­ප­ති­ව­ර­යාගේ නියෝග මත කිඹුලා වෙඩි තබා මරා­දමා ඇත යන්නය. 

එදා නිල්වලා ගඟට අසී­මි­තව ආද­රය කළ හා ගඟ සම්ප­තක් සේ භාවිත කළ ජන­තා­ව­ගෙන් ගඟ දුර­ස්ව­න්නට පට­න්ගත්තේ මිනී­මරු කිඹු­ලන්ගේ මරා­න්තික ප්‍රහා­රය සමඟ ය. නිල්වලා නිම්නයේ කිඹුල් පහ­ර­දීම් බහුල වශ­යෙන් සිදුව ඇත්තේ 2000 වර්ෂ­යෙන් පසු­වය. එදා මෙදා­තුර කිඹු­ලන් විසින් බිලි­ගත් මිනිස් ජීවිත අත­රින් වැඩිම ප්‍රමා­ණ­යක් බිලි­ගෙන ඇත්තේ නිල්වලා ගඟේ දිය නෑමට හෝ මුහුණ සේදී­මට යෑමේ­දීය. ඉන් වැඩිම් පිරිස මිය­ගොස් ඇත්තේ 2007 වර්ෂය තුළ­දීය. එම ප්‍රමා­ණය මිනිස් ජීවිත හතකි. මෙයට අම­ත­රව වැඩිම මිනිස් ජීවිත ප්‍රමා­ණ­යක් කිඹු­ලන් විසින් බිලි­ගෙන ඇත්තේ 2012 වර්ෂ­යේ­දීය. එම ප්‍රමා­ණය පහකි. 2013 වසරේ සිට 2016 වර්ෂය දක්වා බිලි­ගෙන ඇත්තේ එක් අයකු බැගිනි. එය විශේ­ෂ­ත්ව­යකි. එයට හේතුව කිඹු­ලන් ගහ­නය අඩු­වීම ද, දිස්ත්‍රික් අපාදා කළ­ම­නා­ක­රණ ඒක­කයේ ආර­ක්ෂත වැඩ­ස­ට­හන් ද යන්න නිෂ්චි­තව කිව නොහැකි බව පර්යේ­ෂ­ක­යන්ගේ අද­හ­සයි.

මාධ්‍ය­වේ­දි­යකු ලෙස වසර පන­හ­කට වඩා අත්දැ­කීම් ඇති හා නිල්වලා නිම්නයේ සිදු­වීම් පිළි­බඳ ගවේ­ෂ­ක­යකු ද වන ගත්ක­තු­වර ජය­තිස්ස තෙන්න­කෝන් නිල්වලා ගඟේ කිඹු­ලන්ගේ ක්‍රියා­කා­ර­කම් පිළි­බඳ වසර ගණ­නක සිට ගවේ­ෂ­ණය කරන අයෙකි. එම ගවේ­ෂ­ණයේ ප්‍රති­ඵ­ල­යක් ලෙස ඔහු විසින් “මිනිස්සු කිඹුල්ලු සහ නිල්ව­ලාව” ලෙස පොතක් ද එළි­දැ­ක්වූ­යේය. ජය­තිස්ස තෙන්න­කෝන් සොයා­ගත් තොර­තුරු හා ලබා­ගත් අත්දැ­කීම් සමඟ නිල්වලා ගඟේ කිඹුල් ප්‍රහාර පිළි­බඳ මෙලෙස පැව­සු­වේය.

“නිල්වලා ගඟ ලස්ස­නයි වගේම ඒ තුළ ඉන්නා කිඹු­ලන් සිදු­ක­රපු ප්‍රහාර හරිම ඛේද­නී­යයි. සම­හර සිදු­වීම් අසා සිටි­න්නට අප­හසු තර­මට හරිම සංවේ­දීයි. මගේ සොයා­බැ­ලීම් අතර හමුවූ සංවේ­දීම සිදු­වීම තමයි කද්දූව ඥාන­රත්න මුද­ලා­ලිගෙ මර­ණය. ඥාන­රත්න මුද­ලාලි මේ සිදු­වී­මට මුහු­ණ­දෙ­න­විට වයස පනස් පහයි. 1999 වස­රේදී සිදුව ඇති මෙම කිඹුල් ප්‍රහා­ර­යත් සමග ඥාන­රත්න මුද­ලා­ලිගේ සිරුර සොයා ප්‍රදේ­ශ­වා­සීන් සිදු කළ සෝදිසි කිරී­ම්ව­ලදී දින දෙක­කට පසු ශරී­රයේ කොටස් කීප­යක් හමුවී තිබෙ­නවා. ප්‍රදේ­ශ­වා­සීන් එලෙස හමුවූ මළ­සි­රුරේ කොටස් ගඟ අයිනේ තබා හිස සහිත කඳ කොටස සොය­මින් සිටිනා විට ගඟ අයිනේ තැබූ කොටස් නැව­තත් කිඹු­ලන් විසින් පැහැ­ර­ගෙන ගොස් තිබෙ­නවා. තව­දු­ර­ටත් සොයා බැලූ ප්‍රදේ­ශ­වා­සීන්ට දක්නට ලැබී ඇත්තේ මළ සිරුරේ කොටස් වලට දැවැන්ත කිඹු­ලන් තිදෙ­නෙකු පොර­ක­මින් සිටින ආකා­ර­යයි. මෙම සිදු­වී­මෙන් බල­වත් කම්ප­න­යට පත් ප්‍රදේ­ශ­වා­සීන් ඇමක් යොදා කිඹු­ලකු මර­ණ­යට පත්කර මහ­පාරේ තබා ප්‍රද­ර්ශ­නය කර තිබෙ­නවා. මෙය වාර්තා වීමත් සමඟ එහි පැමිණි වන­ජීවී නිල­ධා­රීන් සිද්ධි­යට සම්බන්ධ අය සොයා බැලී­මට යාමේදී ඇතිවූ ගැටු­ම්කාරී තත්ත්ව­යක් මහත් පරි­ශ්‍ර­ම­යක් දරා සම­ථ­ය­කට පත්කර තිබෙ­නවා. එහිදී මහ­ජ­න­තාව විරෝ­ධය දක්වා තිබුණේ මිනිස් ජීවිත බිලි­ගැ­නී­මේදී නිහඬ පිළි­වෙ­තක් අනු­ග­ම­නය කරන වන­ජීවී නිල­ධා­රීන් කිඹු­ල­කුගේ මර­ණය පිළි­බඳ උනන්දු වීම පිළි­බ­ඳ­වයි. මේ කාල­යේදී දිස්ත්‍රික් ආපදා කළ­ම­නා­ක­රණ ඒක­ක­යක් ද පිහි­ටුවා තිබුණේ නෑ”

මේ හා සමාන සිදු­වීම් රැසක් සමග කිඹුල් ප්‍රහාර බහු­ලව සිදු­වන ප්‍රදේශ ලෙස හඳු­නා­ගෙන ඇත්තේ අකු­රැස්ස, අතු­ර­ළිය, ගොඩ­පි­ටිය, කද්දූව, වැල්ලේ­තොට, බණ්ඩ­ත්තර, තිහ­ගොඩ, නාදු­ගල, වෙලේ­වත්ත හා මාලි­ම්බ­ඩයි. ඒ අත­රින් කද්දූව, වැල්ලේ­තොට, ගොඩ­පි­ටිය හා මාලි­ම්බඩ ප්‍රමු­ඛය. ගොඩ­පි­ටිය ප්‍රදේ­ශ­යට කිඹු­ලන් බහු­ලව පැමි­ණී­මට හේතුව මස් හා මාළු අළෙ­වි­සැල් වලින් ඉව­ත­ලන කොටස් ගඟට බහුල ලෙස බැහැර කිරීම නිසා බව පර්යේ­ෂ­ක­යන්ගේ අද­හ­සයි.

“කිඹු­ලන්ගේ ප්‍රශ්නය පිළි­බඳ සොයා බැලී­මේදී මා හඳු­නා­ගත් ප්‍රධා­න­තම දෙයක් තමයි මේ වන විට ගඟ අවට අපි­රි­සිදු කිරීම, කැළි­ක­සල බැහැර කිරීම, ගං රක්ෂි­තය වගා කිරී­මට යොදා ගැනීම, රක්ෂි­තය තුළ හෝටල් සහ නිවාස ඉදි­කි­රීම, ගඟේ වැලි ගොඩ­දැ­මීම ආදී හේතූන් මත් ගඟේ භෞතික පිහි­ටීම වෙන­ස්වීම සහ අතු ගංගා හා ඇළ මාර්ග ගොඩ­වීම නිර­න්ත­රව සිදු­වීම. ගඟ තව­දු­ර­ටත් තමන්ගේ එකක නොවන බවට ජන­තාව තුළ ඉතා­මත් නරක අන්ද­මින් හේත්තු ගැන්වී­මක් සිදු­වෙ­මින් පව­ති­නවා. මෙම තත්වය කෙරෙහි නිල්වලා ගඟ ගැන උන­න්දු­වක් දක්වන සැමගේ අව­ධා­නය යොමු­විය යුතුව තිබෙ­නවා” ජය­තිස්ස තෙන්න­කෝන් වැඩි­දු­ර­ටත් පව­ස­න්නේය.

කිඹු­ලන්ගේ එල්ල වන්නේ මාරා­න්තික ප්‍රහාර පම­ණක්ම නොවේ අත් පා කාදැ­මීම්, තුවාල සිදු­කි­රීම් ද මේ කාල­සී­මා­වන් තුළ සිදුව ඇත. මිනී­මරු කිඹු­ලන්ගේ ප්‍රහාර වලින් 2003 වසරේ සිට මේ දක්වා දහ­න­ව­යක් ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇත. එහි ආස­න්න­තම සිදු­වීම ඉකුත් ජූලි මස 01 දින වාර්තා­වූයේ හක්මණ පාරේ තිහ­ගොඩ මාග­ල්ලා­ගොඩ පොම්පා­ගා­රය අස­ලිනි. එම හද සසල කරන සිදු­වී­මෙන් දිවි අහි­මි­වූයේ කොම්පඤ්ඤ වීදිය පොලී­සියේ සේවය කර­මින් සිටි පොලිස් කොස්තා­පල් අතුල වඩ­නම්බි (54)ටය.

නිල්වලා ගඟේ කිඹු­ලන්ගේ මාරා­න්තික ප්‍රහාර තුළින් මේ දක්වා ජීවි­තය අහිමි වූ හා මාරා­න්තික තුවාල සිදු වූ පිරිස පිළි­බඳ සොයා­බැ­ලී­මේදී පැහැ­දි­ලිව පෙණෙන කරු­ණක් වන්නේ අනා­ර­ක්ෂිත ලෙස ගඟ භාවිත කිරී­මය. මෙහිදී අනා­ර­ක්ෂිත ස්ථාන­යන්හි ජල­ස්නා­නය, රෙදි සේදීම, ඇඟ­පත සේදීම, මුහුණ සේදීම හා අහඹු ලෙස ගඟට බැසීම ආදිය ප්‍රධා­නය. පොලිස් කොස්තා­පල් අතුල වඩ­නම්බි මහතා අන­තු­රට පත්වන්නේ අහඹු ලෙස ගඟට බැසී­මෙනි. පාසල් දරු­වන්, තරුණ අය මෙන්ම වැඩි­යන් ද මේ මිය­ගි­ය­වූ­වන් අතර සිටින්නේ එම අනා­ර­ක්ෂිත බව නිසා­මය. 

දිය නෑම සඳහා කිඹුල් කොටු ඉදි­කර තිබුන ද ඒවා නිසි­ප­රිදි යාව­ත්කා­ලීන නොකි­රීම, පසු­වි­ප­රම් නොකි­රීම, ගංව­තුර කාල­යට කුණු රොඩු පිරී­මෙන් පසු ඒවා පවිත්‍ර නොකි­රීම නිසා ජන­තාව එම ස්ථාන­යන්ට නොපැ­මි­ණීම, ආර­ක්ෂිත කොටු ජල මට්ට­මට ඉහ­ළින් ඉදි­කර තිබීම මෙන්ම අත්‍යා­වශ්‍ය ස්ථාන­යන්හි කොටු ඉදි නොකි­රීම  ද ගැට­ලු­වකි. එක් කිඹුල් ප්‍රහා­ර­ය­කට පසු ඇති අනා­ර­ක්ෂිත බව ජන­තා­වට අම­ත­කවී යෑම ද මේ සඳහා බලපා ඇති තවත් ප්‍රධාන කරු­ණකි.

ඈත අතී­තයේ සිට සිදුව ඇති මාරා­න්තික කිඹුල් ප්‍රහාර මේ වන විට ක්‍රමා­නු­කූල අඩු­වී­මක් දක්නට ඇත. එයට ප්‍රධා­න­තම හේතුව ජන­තාව නිල්වලා ගඟෙන් ඉව­ත්වෙ­මින් සිටී­මයි. එමෙන්ම දිස්ත්‍රික් ආපදා කළ­ම­ණා­ක­රණ ඒක­කය පිහි­ටු­වී­මත් සමඟ කිඹු­ලන්ගේ ක්‍රියා­කා­ර­කම් පිළි­බඳ වරින් වර ජන­තාව දැනු­වත් කිරීම ද මෙම මාරා­න්තික කිඹුල් ප්‍රහාර අඩු­වී­මට හේතු­වක් වී ඇත.

 

 

Comments