මුළු හදින් සාහි­ත්‍ය­යට පෙම් බැඳ නික්ම ගිය එඩ්මන්ඩ් ජය­සූ­රිය | සිළුමිණ

මුළු හදින් සාහි­ත්‍ය­යට පෙම් බැඳ නික්ම ගිය එඩ්මන්ඩ් ජය­සූ­රිය

ඔබේ මණ්ඩ­පයේ 

විශා­ර­දයෝ බොහෝය

දවස පුරා එහි ගී ගැයේ

එහෙත් මේ ආධු­නි­ක­යාගේ 

සරල ගීයෙන්

ඔබේ දයාව අවදි වී

ලෝකයේ සම්භාව්‍ය සංගී­තය සමඟ මුසුවී

දුක්මුසු සරල ගීයක් වී....

රවී­න්ද්‍ර­නාත් ඨකූ­ර­යන්ගේ පූර්ණා­න­න්ද­යත්, අනන්ත වේද­නා­වත් අත­රින් බිහි වූ ආත්ම­ගත මිහිරි වදන් ඇතු­ළත් ගීතාං­ජ­ලිය එඩ්මන් ජය­සූ­රිය පරි­ව­ර්ත­නය කොට පාඨක සහෘ­ද­යාට තිළිණ කර­න්නට කළ ඇරැ­යු­මෙහි මේ පැදි­පෙළ සට­හන්ව තිබිණි. ඒ 2010 වස­රේය. ඨකූර් කවි­යෙහි වන ඕජෝ ගුණය ඒ අයු­රින්ම රැක ගෙන කළ ඒ පරි­ව­ර්ත­න­යම එඩ්මන් ජය­සූ­රි­යගේ නිර්මා­ණා­ත්මක ප්‍රවේ­ශ­යට කදිම උදා­හ­ර­ණ­යකි. අවු­රුදු විසි හත­රේදී කළ  පරි­ව­ර්ත­නය වරි­න්වර ඔප­ම­ට්ටම් කර­මින් හේ දශක පහක් පමණ මුද්‍ර­ණය නොකර තමා ළඟ තබා ගත්තේය. අන­තු­රුව වරි­න්වර තම ජීවි­ත­ය­ටද උකහා ගත් දෑ සහිත ගීතාං­ජ­ලිය ඔහු පාඨක සහෘ­ද­ය­නට තිළිණ කරන්නේ 2010 වස­රේය. 

තොට­ග­මුවේ ශ්‍රී රාහුල හිමි­යන්ගේ ‘සැල­ලි­හිණි සන්දේ­ශය‘ ඉංග්‍රි­සි­යට නඟ­මින් 2004 වසරේ හොඳම ඉංග්‍රීසි පරි­ව­ර්ත­නය සඳහා වන රාජ්‍ය සාහිත්‍ය සම්මා­නය හිමි කර­ගත් එඩ්මන් ජය­සූ­රිය ඊවා රණ­වී­රගේ ‘ සෙදෝනා‘ ඉංග්‍රි­සි­යට පරි­ව­ර්ත­නය කර­මින් ග්‍රේෂන් සාහිත්‍ය සම්මා­නය හිමි කර­ග­ත්තේය. 1992 දී ථේර- ථේරි ගාථා ඉංග්‍රී­සි­යට නැඟීම ඔහු අතින් සිදුවූ විශි­ෂ්ට­තම මෙහෙ­යකි. කරු­ණා­දාස සූරි­ය­ආ­රච්චි නම් කීර්ති­මත් මාධ්‍ය­වේ­දි­යාගේ ‘අන්ධ­කාර තාර­කාව‘ නම් නව­ක­තාව ඉංග්‍රී­සි­යට නඟ­න්නේද එඩ්මන්ඩ් ජය­සූ­රිය නිර්මා­ණ­ක­රුවා විසිනි.

ශ්‍රී ලංකා පරි­පා­ලන ක්ෂේත්‍රයේ කීර්ති­මත් පරි­පා­ලන නිල­ධා­රි­යකු වූ ඔහු සිංහල සාහිත්‍ය විශ්ව­යට තිළිණ කිරීමේ බොහෝ දෙනා තෝරා නොගන්නා ආයා­ස­කර මාර්ගයේ ප්‍රති­ලා­භ­යක් නොල­බාම නියුතු වූවෙකි. සන්ඩේ ටයිම්ස් හා ඩේලි නිව්ස් පුව­ත්පත් ඔස්සේ හැට හා හැත්තෑව දශ­ක­ද්ව­යේදී විචාර කලා­වට මධ්‍යස්ථ හා විචා­ර­ශීලී මෙහෙ­යක් කළ ඔහු නිහ­ඬව බොහෝ කාර්යන්හි නිරත වූවෙකි. අපට සිටින ලේඛක පරි­පා­ලන නිල­ධා­රීන් අත­ළොස්ස අතර ඔහු කැපී පෙනෙන මෙහෙ­යක් කෙරූ­වෙකි. අනු­රා­ධ­පු­රයේ වැඩ කරන අව­දියේ ඒ අත්දැ­කීම් අනු­සා­ර­යෙන් ඔහු නව­කතා ද්විත්ව­යක් රචනා කළේය. ‘තොටු­ප­ළේදී හමු වූ යුව­තිය‘ හා ‘වැව් බැඳි රාජ්ජේ සවා­රි­යක්‘ මේ නව­කතා ද්විත්ව­යයි. මනුෂ්‍ය චිත්ත සන්තා­නයේ ගැඹුරු සංවේ­දනා විග්‍රහ කර­මින් රචිත ‘තොටු­ප­ළේදී හමුවූ යුව­තිය‘ එකල විශ්ව­වි­ද්‍යාල විද්ව­තුන්ගේ නොමඳ විචා­ර­යට ලක් විණි. අනු­රා­ධ­පුර උප දිසා­පති සමයේ ලද අත්දැ­කීම් අනු­සා­ර­යෙන් ලියූ වැව් බැඳි රාජ්ජේ සිංහල හා ඉංග්‍රීසි දෙබ­සින්ම පළ  වූවකි. එය නුව­ර­ක­ලා­වියේ ජන ජීවි­තයේ හර­ස්ක­ඩක් බඳු බැව් විචා­ර­ක­යන්ගේ මත­යයි. 

සෙදෝනා ඉංග්‍රි­රි­සි­යට  පරි­ව­ර්ත­නය කිරීම වෙනු­වෙන්  ග්‍රේෂන් සම්මා­න­යට පාත්‍ර වූ එඩ්මන්ඩ් ජය­සූ­රිය සමඟ සාක­ච්ඡා­වක් කිරී­මට මා වරක් එතු­මාගේ මත්තෙ­ගොඩ පිහිටි නිවෙ­සට ගියෙමි. සෙදෝනා වැනි කෘති­යක් පරි­ව­ර්ත­නය කිරීම සඳහා තෝරා ගැනී­මට හේතුව විමසූ කල්හි එතුමා දුන් පිළි­තුර අද ද මට මත­කය. ඒ කුමක් නිසා­වත් නොව ලේඛ­ක­යාගේ, පරි­ව­ර්ත­ක­යාගේ මෙහෙය ගැන අබැ­ටක් හෝ සවි­ඥා­නික නැති බොහෝ දෙනා පාළු පිට්ටනි වල මෙකල්හි බල්ටි ගසද්දී එතුමා නිහ­ඬව කළ සේවාව ගැන ඇතිවූ ගෞර­වය නිසාය.

‘ සෙදෝනා කියන්නේ නිසි විචා­ර­යට ලක් නොවූ නව­ක­තා­වක්. එහි කතු­ව­රිය ඊවා රණ­වීර තමයි ලංකාවේ සිංහල පුව­ත්ප­තක ප්‍රථම කතු­ව­රිය. ඒ ‘වනිතා විත්ති‘ පුව­ත්පතේ. ඇයට විශේෂ වූ රචනා ශෛලි­යක් තිබෙ­නවා. එය නව­කතා වංශ කතාවේ උසස් නව­ක­තා­වක් බවයි මගේ හැඟීම. හැබැයි මේ නව­ක­තාව නිසි ඇගැ­යු­මට පාත්‍ර වූයේ නෑ. මෙහි උඩින් පෙනෙන කතා­වක් වගේම යටි­පෙ­ළෙන් විදා­ර­ණය වෙන තවත් කතා­වක් තිබෙ­නවා. පරි­ව­ර්ත­නය කිරීම කෙසේ­වත් ලේසි නෑ. මෙන්න මේ අපූ­ර්ව­ත්වය තමයි මම මේ නව­ක­තාව පරි­ව­ර්ත­නය කිරී­මට තෝරා ගැනීමේ හේතුව‘

ව්‍යංගා­ර්ථය, වක්‍රෝ­ත්තිය බහුල මේ නව­ක­තාව ඉංග්‍රී­සි­යට නැඟී­මම ඔහු සිංහල සාහි­ත්‍ය­යට කළ වටිනා මෙහෙ­ව­රක් බැව් නොකියා බැරිය. 

1935 දෙසැ­ම්බර් 29 වැනිදා බේරු­වල උපන් බෝදි­යා­බ­දුගේ ආරි­ය­දාස එඩ්මන්ඩ් පෙරේරා ජය­සූ­රිය ඉගෙ­නුම ලැබුවේ කළු­තර විද්‍යා­ල­යෙනි. ප්‍රවීණ සංගී­ත­වේදී නාරද දිසා­සේ­ක­ර­යන් හා ප්‍රවීණ  නාට්‍ය අධ්‍යක්ෂ තිස්ස ගුණ­ව­ර්ධන එතු­මාගේ පන්ති සග­යන්ය. 

බොහෝ­දෙනා මේ කරුණු දනි­තත් එඩ්මන්ඩ් ජය­සූ­රිය ගැන නොදන්නා කතා­වක් ද තිබේ. ඒ ඔහු ජන­ප්‍රිය ගීත කිහි­ප­යක් රචනා කළ ගේය පද නිර්මා­ණ­ක­රු­වකු බවය. මුළු හදින් මම ඇයට පෙම් කොට අනා­ගත පෙම් සිහින මැව්වෙමි....නම් ජන­ප්‍රිය ගීතයේ හිමි­ක­රුවා ඔහුය. දිනක් මම ඒ සින්දුව ලිය­න්නට පාදක වූ අතීත කතාව එතු­මා­ගෙන් විම­සු­වෙමි. බොහෝ නිහ­ත­මා­නීව එතුමා අතී­තයේ කිමි­දෙ­මින් කීවේ එකල පෙම් කළ යුව­තිය පුංචි නෝක්කා­ඩු­ව­කට තරහ වුණු අව­ස්ථාවේ එය කවි­යක්ව ලියූ බවයි. එදා ඒ මොහො­ත­කට තරහ වී පෙම් සිත කවි සිතක් කළ ඒ පෙම්ව­තිය අද ඔහුගේ ආද­ර­ණීය බිරිය රාණි තිලකා සිරි­ව­ර්ධ­නය. 1966 දී විවාහ වූ මේ දෙප­ළට පුතුන් තිදෙ­නෙක් වෙති. පසුව මේ කවිය කුල­රත්න තෙන්න­කෝ­නුන් අතින් සංගී­තය මුසුවී නාරද දිසා­සේ­ක­ර­යන් ගයන සුමි­හිරි ගීයක් බවට පත් විණි. අන්ධ­කාර තාර­කාව ඉංග්‍රීසි බසට නඟා ජන­ගත කිරීමේ උළෙ­ලේදී නිවේ­දි­කාව විසින් එඩ්මන්ඩ් ජය­සූ­රිය පරි­ව­ර්ත­ක­යාට සභා­වට ආරා­ධනා කරන ලද්දේ ඉහත ගීතයේ රච­කයා ලෙසද එතුමා හඳුන්වා දෙමිනි. සභාව විම­ති­යට පත් වූ අයු­රක් පෙනිණි. ඔහු­ගෙන් අන­තු­රුව දේශ­නය සඳහා ආරා­ධනා ලද ආචාර්ය ධම්ම  දිසා­නා­ය­ක­යන් සිය කතාව ඇර­ඹුවේ මුළු හදින් මම ඇයට පෙම් කොට ගීතය තමන්ගේ ප්‍රිය­තම ගීයක් බවත් එය ලියූයේ මෙතුමා බව නොදන්නා බවත් පව­ස­මිනි. සභාවේ බොහෝ දෙනා නිහඬ බැල්මෙන් එය අනු­මත කරනු පෙනිණි. සිහින් සිනා­වක් මුවෙහි නඟා ගත් මේ අපූරු නිර්මා­ණ­ක­රුවා විඳි සොම්නස තෙත්වූ දෑසින් පම­ණක් පිළි­බිඹු විය. 

තුත්තිරි ගස් වලි­නුත් බාල්ක ඉරන, ජන­ප්‍රිය මේනි­යා­වෙන් පෙළෙන සම­හර නිර්මා­ණ­ක­රු­වන්ට එඩ්මන්ඩ් ජය­සූ­රිය සප­යන නිහඬ පණි­වි­ඩය කෙත­රම් බර­දැයි දැනුණේ එතුමා ඒ නිහඬ බවෙන්ම පසු­ගිය 27 දා ජිවන රඟ මඬ­ලෙන් නික්ම ගියා යැයි දැන ගන්නට ලැබුණු මොහො­තේය.

Comments