පාපන්දු වසන්තය 9දා ඇරැඹේ | සිළුමිණ

පාපන්දු වසන්තය 9දා ඇරැඹේ

පාපන්දු සම්මේලන සභාපති කුසලාන ආරාධිත පාපන්දු තරගාවලිය රට තුළ පවතින කොවිඩ්19 වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසයි.

තරගාවලිය මේ මස 26 වැනිදා ආරම්භ කිරීමට කළින් සැලසුම් කළ තිබුණද කොවිඩ්19 වසංගත තත්ත්වය හේතුවෙන් එය ලබන මස 9 වැනිදා යළි ආරම්භ කිරීමට කටයුතු කරන බවද ඔවුන් සඳහන් කරයි. කෙසේ වෙතත්

තරගාවලිය ඉලක්ක කරමින් මේ වන විටත් සියලු කණ්ඩායම්

පුහුණුවීම් කටයුතු ආරම්භ කර ඇති අතර, ඔවුන්ට ඊට සූදානම් වීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සහාය දැක්වීමට කටයුතු කිරීමටද තීරණය කර තිබේ.

කණ්ඩායම් 24කට මේ තරගාවලිය සදහා ආරාධනා කළත් එකී ආරාධනය පිළිගත් කණ්ඩායම් 20කගේ සහභාගිත්වයෙන් කොළඹ තුරඟ තරග පිටියේ සහ සුගතදාස පිටියේ පැවැත්වීමට නියමිත තරගාවලිය ප්‍රේක්ෂකයන්ගෙන් තොරව පැවැත්වීමට තීරණය කර තිබේ.මෙම තරගාවලිය මාසයක් තුළ පවත්වා අවසන් කිරීම සංවිධායකයන්ගේ අපේක්ෂා වී තිබේ.

මේ අතර ආසියානු පාපන්දු සම්මේලනය විසින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එළඹෙන 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සහ 2023 ආසියානු ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමේ දෙවන වටයේ ඉතිරි තරග පැවැත්වීමට නියමිත ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව එම වටයේ 7 වන සහ 8 වන තරග එළඹෙන ඔක්තෝම්බර් මස 08 සහ 13 යන දෙදින තුළ පැවැත්වීමට සැලසුම් කර ඇත. පසුව එම වටයේ 9 වන සහ 10 වන තරග එළඹෙන නොවැම්බර් මස 12 සහ 17 යන දෙදින පුරා පැවැත්වෙනු ඇත.ශ්‍රී ලංකා කණ්ඩායමේ නව යෝජිත තරග දිනයන් වන්නේ

ඔක්තෝබර් 08–උතුරු කොරියාව සහ ශ්‍රී ලංකාව, ඔක්තෝබර් 13 – ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව,

නොවැම්බර් 12–ලෙබනනය සහ ශ්‍රී ලංකාව තරග වැදිමට නියමිතය.

ජාතික පාපන්දු පුහුණුකරු අමීර් ආලජික් ගේ අදහසකට අනුව ජාතික පාපන්දු කණ්ඩායමට ක්‍රීඩකයන් සොයා ගැනීම හා කොවිඩ්19 උවදුරෙන් ගිලිහී ගිය ක්‍රීඩාශීලීත්වය යළි නඟා සිටුවීමේ අරමුණින් පාපන්දු සම්මේලන සභාපති කුසලාන තරගාවලිය හඳුන්වා දීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු කළේය.

Comments