නිලවරණ සටන් උණුසුම් වනවිට නීති රෙගුලාසි දැඩි වෙයි | සිළුමිණ

නිලවරණ සටන් උණුසුම් වනවිට නීති රෙගුලාසි දැඩි වෙයි

කොවිඩ් - 19 දෙවැනි රැල්ලක බිය නැවත රට තුළ ඇති වෙමින් පවතින තත්ත්වයක් මත පැවැත්වීමට නියමිත ක්‍රීඩා සංගම් 28 ක නිලවරණ සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවක් ඇති වී තිබේ. පසුගිය පෙබරවාරි මාසයේ සිට සෙමින් ව්‍යාප්ත වූ කොවිඩ් - 19 වසංගතය නිසා ලබන අගෝස්තු 31 දා දක්වා සහන කාලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කළේ ය. ක්‍රීඩා පනතට අනුව ජාතික ක්‍රීඩා සංගමයක නිලවරණය මැයි 31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතුව තිබේ.

ජාතික ක්‍රීඩා සංගමයක නිලවරණ කැඳවීමේදී අනුමත ගිණුම් වාර්තා ඇතුළු සියලු වාර්තා සහිතව නිලවරණය කැඳවීමේ නිල නිවේදනයට දින 55 කට පෙර බාර දිය යුතුය. එහෙත් මේ දක්වා එකී සියලු වාර්තා සහිතව අගෝස්තු 31 කට පෙර නිලවරණයට සූදානම්ව ඇත්තේ ජාතික සංගම් අතුරින් කිහිපයක් බව ද වාර්තා වෙයි.

මේ පිළිබඳ අප ක්‍රීඩා සහකාර අධ්‍යක්ෂ ආර්.බී. වික්‍රමසිංහගෙන් කළ විමසුමේදී පැවසුවේ, අපි පෙබරවාරි මාසයේ දෙවැනි සතියේදීම සියලු ම ජාතික ක්‍රීඩා සංගම්වලට කරුණු සහිතව මාර්ගෝපදේශයන් ලබාදීලා තියෙනවා. නිලවරණ කැඳවීම සම්බන්ධයෙන්.

තව ක්‍රීඩා සංගම් 28 ක නිලවරණ පවත්වන්න තියෙනවා. හුඟක් ඒවා නිලවරණයට අදාළ සැලසුම් සකස් කරගෙන යනවා. ගිණුම් වාර්තා ලබාදීලා නැති අයට එරෙහිව ක්‍රීඩා පනත සහ රෙගුලාසි අනුව කටයුතු කරනවා. මේ හුඟක් ක්‍රීඩා සංගම්වල නිලතල දරන අතිබහුතරයක් ස්වේච්ඡාවෙන් කටයුතු කරන අය බව පැවසූ වික්‍රමසිංහ, මේ අය ක්‍රීඩාවට සම්බන්ධවෙලා ඉන්නේ ලාභ අපේක්ෂාවලින් තොරවයි. ක්‍රීඩාවට තිබෙන ආදරයට, එයට තමන්ට උදව් උපකාර කරන්න ආව අය තමයි මේ නිලධාරීන්. අපට මේ අයත් එක්ක ගනුදෙනු කරන කොට කැත්තට පොල්ල වගේ කටයුතු කරන්නත් හැම වෙලාවේම බෑ. ඒ නිසා, ක්‍රීඩා පනතට අනුව වැඩ කරන එක තමයි සුදුසුම දේ. කාලයක් මෙකී තනතුරුවල කටයුතු කරන අය මේ පනත අනුව වැඩ කිරීමට බැඳී සිටින බව ද පවසන වික්‍රමසිංහ, මේ සංගම් සහ සම්මේලනවල නිලධාරීන් දන්නවා නිලවරණවලදී කටයුතු කරන්න ඕනෑ විදිය. ඒ නිසා ඔවුන්ට ඇඟිල්ලෙන් ඇණ ඇණ කියලා දෙන්න දෙයක් නෑ.

ඒ සංගම්, සම්මේලනවල නිලධාරීන් හරියට වැඩ කරනවා නම් අපටත් වැඩ කටයුතු පහසු වෙනවා. අප පසුගිය ජනවාරි මාසයේ අවසානයේ ක්‍රීඩා සංගම්, සම්මේලන ප්‍රධානීන් සියලුම දෙනා කැඳවලා නිලවරනවලට අදාළ සියලුම උපදෙස් ලබා දීලා තිබෙන්නේ. හැබැයි මේ කොවිඩ් - 19 වසංගතයත් එක්ක ඒ සියල්ල අතරමග නැවතිලයි තියෙන්නේ. මොනවා වුණත් අගෝස්තු 31 කට කලින් නිලවරණ පවත්වා අවසන් කිරීමට ක්‍රීඩා සංගම් සම්මේලන වගබලා ගතයුතු බව ද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

Comments