ජාත්‍යන්තරයෙන් කොන් වෙන ලාංකේය පිහිනුම් ක්‍රීඩාව | සිළුමිණ

ජාත්‍යන්තරයෙන් කොන් වෙන ලාංකේය පිහිනුම් ක්‍රීඩාව

ලාං‍කේය පිහිනුම් ක්‍රීඩාව ගිලී මියැදෙන්නට පටන් ගත්තේ මීට කලෙකට පෙරය. ලාංකේය පිහිනුම් ක්‍රීඩාව ගිලී ඇති මෙකී ආගාධයෙන් ගොඩ ගැනීම ලෙහෙසු පහසු කරුණක් නොවේ. මෙය හෙට ගොඩ දමනවා යැයි වහසි බස් දොඩමින් කරලියට පැමිණි බොහෝදෙනා කළේ එය තව තවත් සෝද සෝදා මඩෙහි දැමීමය. ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීන් ද මර නින්දේ කල් ගත කරමින් කළේ නෑසුකන්ව බලා හිඳීමය. ලාංකේය පිහිනුම් නිලධාරීන් කළේ මෙකි කල් මරණ බලධාරින්ගේ කකුල් දෙක තුළින් ම රිංගා ගොස් මෙරට පිහිනුම් ක්‍රීඩාව වළපල්ලටම දක්කාගෙන යාමය.

ලාංකේය පිහිනුම් ක්‍රීඩාව අන්තර් ජාතික වශයෙන් තහනමකට ලක්ව බොහෝ කල්ය. එකී තහනමින් මෙරට පිහිනුම් ක්‍රීඩාව බේරා ගන්නවා යැයි පුරසාරම් දොඩමින් නිලතලවලට පත්වූවන්ට අද සිදුවී තිබෙන්නේ ගලෙහි පැහැරු බළලුන්ට සිදුවූ දෙයමය. අවසන් වරට පැවැති නිලවරණයේදි වැඩි ඡන්ද ප්‍රමාණයකින් සභාපති පුටුවේ වාඩි වූ නේතෘ නානායක්කාර අද කිසි දෙයක් කර ගත නොහැකිව කල්මරනුයේ ජාත්‍යන්තර පිහිනුම් සම්මේලනයේ පනවා ඇති තහනම ඉදිරියේ කිසිවක් කර ගත නොහැකිවය. අද වන විට නේතෘ ගණන් නොගන්නා ජාත්‍යන්තර පිහිනුම් සම්මේලනය ඔවුන්ව දමා ඇත්තේ පොල් කුඩු ගානටය. අද මෙරට පිහිනුම් සංගමය ජාත්‍යන්තරය නොපිළි ගනී. මෙකී තහනම ඉවත් කර ගැනීමට තබා අද මේ ගැන ජාත්‍යන්තර පිහිනුම් සම්මේලනය සමඟ කතාබහ කිරීමටත් නේතෘලාට අවසරයක් නැත.

ලාංකේය ක්‍රීඩා රූකඩ මෙකී වර්ග කිලෝමීටර් හැට පන්දහස තුළ මොන තරම් නාඩගම් නැටුවද ජාත්‍යන්තර පිහිනුම් සම්මේලනයට ඒවා අදාළ නැත. අදටත් ජාත්‍යන්තර පිහිනුම් සම්මේලනයට අනුව ලාංකේය පිහිනුම් ක්‍රීඩාවේ බලය ඇත්තේ නේතෘලාට නොව, හිටපු පාලකයන්ටය. මේවා නිවැරැදි විය යුතුය. නැතිනම් නිවැරැදි කළ යුතුය. ලාංකේය ක්‍රීඩාවේ නීතියක් නැති ගණනට ම වල්වැදී තිබේ. ක්‍රීඩා අමාත්‍යාංශය කලෙක පටන්ම වැඩ කළේ, අම්බලමක ස්වරූපයෙන්ය. මෙය බොහෝ දුරට එකිනෙකාගේ ඕනෑඑපාකම් සපුරාලන ගුබ්බෑයමකට දෙවැනි නොවීය. අද ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පවත්වන නිලවරණයකදී තේරීපත් වන නිලමඬුල්ල ජාත්‍යන්තරය නොපිළිගන්නා තැනකට පත්ව තිබීම ගැන වගකිව යුත්තේ කවුරුන් ද යන්න සොයා බැලිය යුතුය.

ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලන බොහෝමයක් ඍජුව ගනුදෙනු කරනුයේ මෙරට ඔලිම්පික් සංගමය සමඟය. ඒ ජාත්‍යන්තර ක්‍රීඩා තරගවලදි මෙරට ක්‍රීඩා එකී තරග නියෝජනය කරන්නේ ජාතික ඔලිම්පික් සංගමය හරහා නිසාය. ඒ නිසාම බොහෝ ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනවලට ක්‍රීඩා අමාත්‍යාංශය පවත්වන නිලවරණවලින් පත්වන නිලධාරි මඩුලුවලට වඩා වගකීමක් ඇති බව සිතනුයේ ජාතික ඔලිම්පික් සංගමයේ අධීක්ෂණය යටතේ පවත්වන නිලවරණවලින් සමන්විත ක්‍රීඩා සංගම් සහ සම්මේලනයන්ය. අද මෙරට පිහිනුම් සම්මේලනයට අත්වී ඇති ඉරණම ඊට කදිම නිදසුනකි.

ක්‍රීඩා අමාත්‍යාංශයට ද මෙවන් මොහොතක ඇති වගකීම් සම්භාරය අවබෝධ කරගෙන කටයුතු කිරීමේ හැකියාව තිබිය යුතුය. එමෙන් අප රටේ ඇති ජාතික ඔලිම්පික් කමිටුවේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකීම් පිළිබඳ අන්තර්ජාතික ක්‍රීඩා සම්මේලන දැනුවත් කළ යුතුය. එසේ නොමැති තාක් කල් සිද්ධ ‍වන්නේ මෙරට ක්‍රීඩා ජාත්‍යන්තර වශයෙන් අනාථභාවයට පත්වීමය. අද ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලන මෙරට ක්‍රීඩා අමාත්‍යාංශයේ පවත්වන නිලවරණවලින් පත්වන නිලමඩුලු ගණන් නොගන්නා තැනකට පත්වීම තුළ හෙට අනිද්දාම අපේ ක්‍රීඩාවේ ඉරණම ඉතාමත් ඛේදජනක බව නම් පැහැදිලිය.

Comments