අයිසීසී තහනමට ලක්වූවන්ගේ අභියාචනා විභාග‍යේ කමිටු වාර්තාව සැප්තැම්බරයේ | සිළුමිණ

අයිසීසී තහනමට ලක්වූවන්ගේ අභියාචනා විභාග‍යේ කමිටු වාර්තාව සැප්තැම්බරයේ

න්තර් ජාතික ක්‍රිකට් කවුන්සීලය විසින් විවිධ චෝදනා ගොනු කරමින් ක්‍රිකට් ක්‍රීඩාව සහ ඊට අදාළ ක්‍රියාකාරකම් තහනම් කරනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු ක්‍රීඩකයන් තිදෙනකුට සහ ක්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරියකුට සාධාරණය ඉටු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයට මැදිහත් විය හැකි ආකාරය සොයා බැලීම සඳහා පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ලබන සැප්තැම්බරයේ දී ක්‍රීඩා අමාත්‍යවරයාට බාර දීමට හැකිවනු ඇතැයි එම කමිටුවේ සභාපති ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය ප්‍රකාශ කරයි.

එම ක්‍රීඩකයන් තිදෙනාගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරියාගේ අභියාචනා විභාග කිරිමට වෙන් වෙන් වශයෙන් ලිපි ගොනු අවශ්‍ය බවට ක්‍රීඩකයන් වෙනුවෙන් පෙනී සිටින අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණකුලසුරියට දැනුම් දුන් බවත්, එම වාර්තා ලබාගැනීමට සති දෙකක පමණ කාලයක් ගත වනු ඇති බවත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් කියා සිටියි.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සීලය තහනමට ලක් වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු ආරම්භක පිතිකරුවකු වන අවිශ්ක ගුණවර්ධන, හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසා සහ හිටපු තුන්ඉරියව් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ සමග ක්‍රිකට් ආයතනයේ හිටපු දස්කම් විශ්ලේෂක සනත් ජයසුන්දර යන අයගේ තොරතුරු ලබා ගැනීමෙන් පසු එම ගැටලුවට ක්‍රීඩා අමාත්‍යාංශයට මැදිහත් වීමේ හැකියාවක් තිබේදැයි යන්න සොයා බැලිමට නියමිතය.

අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ සනත් ජයසුන්දර යන තිදෙනා මූලික විභාගය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේදී ත්‍රිපුද්ගල කමිටුව හමුවූ අතර තහනමට ලක් වී සිටින දිල්හාර ලොකුහෙට්ටිගේ මේ වනවිට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බැවින් එම අවස්ථාවට එක් නොවීය.

වසර 2017 දෙසැම්බරයේ දි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ‘දහයයි 10’ ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර බුකීකරුවකු විසින් තරග පාවාදීමකට කරනු ලැබුවේ යැයි කියන යෝජනාවක් සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ දූෂණ වංචා විරෝධී ඒකකයේ නිලධාරීන්ට පැමිණිලි නොකිරිම හේතුවෙන් එම තරගාවලියට සහභාගි වූ අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ තහනමට ලක් කර ඇති අතර, ක්‍රීඩකයකු කණ්ඩායමට ඇතුළත් කිරිමට තමා වෙත අල්ලසක් ලබාදීමට උත්සාහ කළ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් කරනු ලැබු ප්‍රකාශයක් මත දස්කම් විශ්ලේෂක සනත් ජයසුන්දර යන සිවු දෙනා මෙසේ තහනමකට ලක්ව සිටිති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරමින් අවිශ්ක ගුණවර්ධන සහ නුවන් සොයිසා එක්වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති මෙම ‘දහයයි 10’ ලීග් තරගාවලියෙන් පසු ක්‍රිකට් ආයතනය කළ යුතුව තිබුණේ එම පුහුණුකරුවන් තනතුරෙන් නෙරපා දැමීම නොව එම තරගාවලියට සහභාගිවීමට එහි හිමිකරු අරාබි ජාතිකයා විසින් ගෙවන ලද අමෙරිකානු ඩොලර් මිලියන ගණනාවක මුදලට සිදු වූයේ කුමක්දැයි සොයා බැලීම බව අසාධාරණයට ලක්වූ ක්‍රීඩකයන් වෙනුවෙන් පෙනී සිටින අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණකුලසූරිය ත්‍රිපුද්ගල කමිටුවට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යවේදින්ට ප්‍රකාශ කළේය.

එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සම්බන්ධතාවක් නොමැති බවට අදහස් පළවූවද, අයිසීසී දූෂණ වංචා විරෝධී ඒකකයේ නිලධාරීන්ගේ සේවය ලබා දෙමින් සහ අයිසීසී තරග රෙගුලාසිවලට අනුව තරගාවලිය පැවැත්විමේ කොන්දේසිය මත එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ඒ සඳහා අයිසීසීය අනුමැතිය දී තිබුණු බවද වාර්තා වෙයි.

Comments