ජීවිතයේ සාර්ථකත්වය මැනිය හැකි හොඳම සාධකය පවුලයි | සිළුමිණ

ජීවිතයේ සාර්ථකත්වය මැනිය හැකි හොඳම සාධකය පවුලයි

ඇය පවුල වෙනුවෙන් ආචාර්ය උපාධිය කැප කළ ආදරණීය මවක්

-අනිල් කොස්වත්ත

අපේ ආදර කතාවට දිගු ඉතිහාසයක් තියෙනවා

-භද්‍රා පියදිගම

ලැබූ දැනුමෙන් රටට සේවයක් කිරීම මගේ අරමුණයි

-ඉසුරු කොස්වත්ත

ජීවිතයට අපූර්වත්වය ළඟා කරගත හැක්කේ තමා දන්නා දෙයින් හෝ විශ්වාස කරන දෙයින් නොව ක්‍රියා කරන ආකාරය අනුව යන්න ප්‍රකට ඉංග්‍රීසි ලේඛක ජෝන් රස්කින් ගේ ජනප්‍රිය කියමනකි. ආත්ම විශ්වාසය පෙරදැරිව ක්‍රියාකොට ජීවිතය ජයගත් එවැනි පුද්ගල චරිත රටට, ලෝකයට සම්පතකි. විකුණුම් හා අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රකට වෘත්තිකයකු හා ව්‍යවසායකයකු වන අනිල් කොස්වත්ත ද එවැනි චරිතයකි. ලිට්රෝ ගෑස් ලංකා සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් සමාගම් ද්විත්වයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන ඔහු සිය උත්සාහය, කැපවීමෙන් ජීවිතයේ සාර්ථකත්වය ළඟාකර ගත් අයෙකි.

“කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය මුදල් සහ ගොඩනැඟිලි ඇතුළු භෞතික සාධක කියා ඇතැම් අය සිතුවත් ඒ සියල්ලටම වඩා වටින්නේ මානව සම්පතයි. ඒ වගේම පුද්ගලයකුගේ ජීවිතයේ සාර්ථකත්වය මැනිය හැකි හොඳම සාධකය ඔහුගේ පවුලයි" ඒ, ඔහුගේ අදහස් ය. මෙවර කැදැල්ලේ කතාව සැරසෙන්නේ ඔහුගේ පවුලේ අසිරියෙනි. කැදැල්ල ගැන කතාව ඇරඹීමට පෙර අප ඔහුගේ වෘත්තීය ජීවිතය පිළිබඳ මතකය අවදි කළෙමු.

" මගේ උපන් ගම ගාල්ල. ජීවත් වුණේ හැටන් ප්‍රදේශයේ. මගේ මවුපියෝ වෙළඳාම් කටයුතුවල නිරත වූ පාරම්පරික ව්‍යාපාරිකයෝ. ඒ නිසාම මටත් කුඩා කල සිටම ව්‍යාපාරික ඥානය සහ ආභාසය ලැබුණා. නමුත් මට අවශ්‍ය වුණේ පවුලේ ව්‍යාපාරවලින් ඔබ්බට ගොස් වෘත්තිමය තත්ත්වයක් ගොඩනඟාගනිමින් ව්‍යාපාර කටයුතුවල යෙදීමටයි."

ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපන ලැබූ අනිල් වාණිඡ අංශයෙන් උසස් පෙළ හදාරන්නේ ඒ අරමුණ ඇතිවය. අලෙවිකරණය පිළිබඳ වැඩිදුර හැදෑරීම්වලින් පසු ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කරන ඔහු අත්දැකීම්වලින් සහ පළපුරුද්දෙන් වෘත්තීය තත්ත්වය ඉහළ නංවා ගන්නට කටයුතු කළේය. එම නිසාම මේ අධිෂ්ඨානශීලී තරුණයාට කනිෂ්ඨ කළමනාකරුවකු ලෙස ලෝකයේ විශාලතම බහු ජාතික ආහාර සැපයුම් ආයතනයක් වන නෙස්ලේ සමාගමට සම්බන්ධ වීමට අවස්ථාව සැලසින. වසර 25කට අධික කාලයක් එම ආයතනයේ කටයුතු කළ ඔහු එම ආයතනයට සමු දෙන්නේ අලෙවිකරණ සහ උපායමාර්ගික අත්දැකීම් රාශියක් සහිතවය.

"ඉන්පසු මම තවත් පෞද්ගලික ආයතන කිහිපයක කටයුතු කළා. නමුත් මට කැමැත්තක් තිබුණා රාජ්‍ය ආයතනයකට සම්බන්ධ වෙලා මගේ අත්දැකීම්වලින් රටට යම් සේවයක් කිරීමට. "

ඔහුගේ ඒ ආශාව සඵල වන්නේ 2000 වසරේදී ඔහුට රාජ්‍ය ආයතනයක අධ්‍යක්ෂ ධුරයක් දැරීමට අවස්ථාව හිමිවීමත් සමඟය. ඉන් අනතුරුව වරින් වර තවත් රාජ්‍ය ආයතන කිහිපයකම මුල් පුටුව දරන්නට ද ඔහු වාසනාවන්ත විය. ලංකා සිමෙන්ති සමාගම, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ජාතික මැණික් සහ ස්වර්ණාභාරණ අධිකාරිය, ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය ආදී ආයතනයවල සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ ඔහු පවුලේ ව්‍යාපාරය වන Lakarcade ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස ද කටයුතු කරයි. 2007 සිට 2010 දක්වා එවකට ජාත්‍යන්තර වෙළෙඳ හා අපනයන සංවර්ධන අමාත්‍ය ධුරය දැරූ මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ උපදේෂකවරයකු ලෙස කටයුතු කිරීමට ලැබීම ද ජීවිතයේ සුවිශේෂී සලකුණක් බව ඔහු පැවසුවේ කෘතඥ පූර්වකවය.

එවැනි සාර්ථක වෘත්තීය ජීවිතයක් හිමි ඔහුගේ සුන්දර කැදැල්ල සරසන ඇය භද්‍රා පියදිගම ය. 1989 වසරේදී විවාහ දිවියට පත්වූ ඔවුන්ගේ ආදර කතාවට ද දිගු ඉතිහාසයක් හිමිය.

“අපි දෙන්නම එකම ගමේ හිටියේ. මගේ වගේම භද්‍රාගේ පවුලත් ව්‍යාපාරික පවුලක්. ඒ නිසා අපේ තාත්තලා අතර හොඳ මිතුරුකමක් තිබුණා. ඒ නිසාම කුඩා කාලේ ඉඳල අපිත් එකිනෙකා හොඳින් හඳුනනවා. ඒ දැන හැඳුනුම්කම තමයි ආදර සම්බන්ධයක් දක්වාත් ඉන්පසු විවාහය දක්වාත් දුර දිග ගියේ”

අනිල් කොස්වත්ත ඒ අතීතය සිහිකරද්දී බිරිය භද්‍රා සිනාමුසුව ඊට අඩුවැඩිය එකතු කළාය.

“විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේම සහකාර පරියේෂකවරියක් විදිහට වැඩකළා. පසුව මම පශ්චාත් උපාධිය සඳහා කෝනෙල් සරසවියට ඇතුළු වුණා. එම විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සහකාර පර්යේෂකවරියක ලෙස කටයුතු කළා. රසායනික විද්‍යාව සම්බන්ධයෙන් පර්යේෂණ රාශියක නියැළුණා. නමුත් පසුකාලයේදී මහත්තයා රාජකාරී කටයුතුවල කාර්යබහුල වීම සහ පුතා කුඩා වයසේ පසුවීම නිසා මම ඒ කටයුතු නතර කළා. නමුත් මම ඒ ගැන කනගාටු වුණේ නැහැ. අපි දෙන්නගේ ලොකුම බලාපොරොත්තුව වුණේ දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි. අද පුතා අපේ ඒ බලාපොරොත්තුව සඵල කර තිබෙනවා. එදා මම මගේ ආචාර්ය උපාධිය පවුල සහ දරුවා වෙනුවෙන් කැප කළත් ඒ කැපකිරීමට පුතා අද උපරිම සාධාරණය ඉෂ්ට කර තිබෙනවා. ඔහු උගත් බුද්ධිමත් වගේම හොඳ විනයකින් සහ හික්මවීමක් සහිත තරුණයෙක් වීම ගැන අපි දෙන්නම බොහොම නිහතමානී ආඩම්බරයක් විඳිනවා”

ඒ සොම්නස සහ සැනසීම ඇයට මෙන් ඔහුට ද පොදුය.

" ඕනම පුද්ගලයකුගේ ජීවිතය සාර්ථක වෙන්න බිරියක් සහ පවුලක් සිටිය යුතුයි. මවුපියන්ගෙන් ලැබෙන ආශිර්වාදය වගේම බිරියගේ සහයෝගයත් කෙනකුගේ ජීවිතයේ සාර්ථකත්වයට ඉතා වැදගත්. මම අවුරුදු 26දී විවාහ වුණා. 29 වෙද්දි මවුපියන් වුණා. අපි විවාහ වෙලා පදිංචි වුණෙත් මේ ගෙදරමයි. ආරම්භයේ ඉඳලම මම ගොඩක් කාර්යබහුලයි. එදා ඉඳන්ම නිවෙසේ කටයුතු, මගේ මවුපියන් සහ දරුවත් බලාගෙන භද්‍රා විශාල කැපකිරීමක් කළා. මගේ වෘත්තීය ගමනේ සාර්ථකත්වයට වගේම ආදරණීය මවක් විදිහට පුතාගේ ජීවිතය සාර්ථකව හැඩගස්වා ගන්න ඇය ලොකු කැපකිරීමක් කළා. අවුරුදු ගණනාවක්ම ඇය පුතත් එක්ක ඔහුගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදෙස්ගත වෙලා හිටියේ. මම වගේම භද්‍රත් හැදුණේ වැඩුණේ අපේ සංස්කෘතිය, සම්ප්‍රදායන් ගරු කරන පවුල් පරිසරයක. ඒ නිසා මමත් එදා සිටම විශ්වාස කළ දෙයක් තමයි ගුණාත්මක සහ ජාතික හැඟීමෙන් යුතුව දරුවකුගේ මූලික පසුබිම සකස් වන්නේ පවුලෙන් බව. විශේෂයෙන් මවගෙන් ලැබෙන ආභාසය ඒ සඳහා ඉතා වැදගත්. ඒ යුතුකම බිරිය හොඳින්ම ඉටුකළ බව මගේ විශ්වාසයයි. ”

ඒ විශ්වාසයේ කදිම සාක්ෂිය වන්නේ ඔවුන්ගේ එකම පුතු ඉසුරු කොස්වත්ත ය. ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුවකු වන ඉසුරු ව්‍යාපාර සහ ජාත්‍යන්තර අලෙවි කළමනාකරණය පිළිබඳ ආචාර්ය උපාධිය හදාරා ඇත්තේ මැන්චෙස්ටර් සරසවියෙනි. කොවිඩ 19 ගෝලීය වසංගත තත්ත්වය නිසා මේ දිනවල ඔහු මෙරට සිට අන්තර්ජාලය ඔස්සේ එම සරසවියේ සහකාර දේශකයකු ලෙස ඉගැන්වීම් කටයුතු කරයි. ඊට අමතරව පවු‍ල් ව්‍යාපාරය සඳහා ද ඔහුගේ කාලය යොමු වෙයි. ආචාර්ය උපාධියෙන් ලබාගත් දැනුමෙන් රටට සේවයක් කිරීම තම අරමුණ බව ඉසුරු කීවේ නිහතමානීවය.

දක්ෂ වෘත්තිකයකු වන අනිල් කොස්වත්ත කාලය කළමනාකරණය කරගන්නා ආකාරය ගැන ද ඔහුගෙන් විමසුවෙමු.

" උදේ 6ට පමණ අවදි වෙලා එතැන් සිට කලින් සැලසුම් කරගත් පරිදි දවසේ කටයුතු ආරම්භ කරනවා. අවශ්‍ය රාජකාරී ඇමැතුම් ලබාගනිමින් ඒ සියල්ල කළමනාකරණය කරගන්නවා. උදෑසන 8.30 පමණ වන විට මම කාර්යාලයට යනවා. සෙනසුරාදා, ඉරිදා දිනවල පවා රාජකාරී කටයුතුවල යෙදෙනවා. විවේකය අඩු වුණත් වැඩ කිරීම කවදාවත් මම කරදරයක් විදිහට සලකන්නේ නැහැ. විවේක ගන්නවාට වඩා වැඩ කිරීමෙන් ම තමයි මම තෘප්තිය ලබන්නේ“

සැමියාගේ අවිවේකී බව තුළ පවුලේ කටයුතු සැලසුම් කරගන්නා ආකාරය සහ ඊට ඔහුගෙන් ලැබෙන සහයෝගය ගැන ඇය මෙසේ කීවාය.

“ඔහු ආදරණීය සැමියෙක් සහ පියෙක්. අපේ අවශ්‍යතා සියල්ල ඉල්ලනවාටත් වඩා හොඳින් ලබාදෙනවා. කාර්යබහුල බව නිසා නිවෙසේ දේවල් හොයන්න බලන්න වෙලාව නැති නිසා මම ඒ කිසිවක බර මහත්තයාට දෙන්නෙ නැහැ. නමුත් මම ඒ සියල්ල නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් කටයුතු කරනවා.”

ඇගේ වදන් සනාථ කරන්නේ නිවෙස සහ ගෙවත්ත පුරාවට දිස්වන සුන්දරත්වය සහ පිළිවෙළයි. නිවැසියන් සොබාදමට, දේශීයත්වයට සහ පෞරාණික වටිනාකම්වලට වඩාත් ඇලුම් කරන බවට එම නිවෙසත් ගෙවත්තත් කදිම සාක්ෂියකි. එපමණක් නොව භද්‍රා පියදිගම පවුලේ සාමාජිකයන්ගේ නිරෝගී සෞඛ්‍යය ගැන වැඩි උනන්දුවක් දක්වන ගෘහණියක් බව ද පෙනෙන්නට තිබිණ.

“ඒ ගැන මම ගොඩාක් සැලකිලිමත්. අපේ එදිනෙදා ආහාරවේලට අවශ්‍ය එළවළු, පලා වර්ග රාශියක් ගෙවත්තේම වගා කර තිබෙනවා. අපේ ගෙදර වැඩිපුරම හැදෙන්නේ ගමේ කෑමබීම. ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමට ඉතාම ආසන්නව සිටියදීයි මම එය නතර කළේ. නමුත් රසායනික විද්‍යාව සහ ස්වභාවික නිෂ්පාදන ගැන මම ඉගෙන ගත් දේවල් පර්යේෂණ කළ දේවල් මම අපේ ගෙවත්ත තුළින් ප්‍රායෝගිකව අත්විඳිනවා. වැඩ කිරීමෙන් මම පුදුමාකාර සතුටක් ලබනවා. අපි තුන් දෙනාම එහෙමයි. අපේ නිරෝගීකමේ රහසත් ඒක තමයි.”

ඇය පවසන්නේ සොම්නසිනි. අවසාන වශයෙන් අප අනිල් කොස්වත්තගෙන් විමසුවේ පවුලේ ඉදිරි සැලසුම් සහ අනාගත බලාපොරොත්තු ගැනය.

" ජීවිතේ දිහා ආපස්සට හැරී බලද්දි අපි ජීවත් වුණේ රට මුහුණ දුන් සමාජ, ආර්ථික, දේශපාලන දුෂ්කර යුග සහ ගෝලීය වශයෙන් එළැඹි විවිධාකාර අභියෝගාත්මක තත්ත්ව තුළයි. මම ජීවිතෙන් හරි අඩක්ම ගෙවා තිබෙන්නේ එවැනි දුෂ්කර යුගවල. නමුත් ඒ තුළ පවා රටටත් සමාජයටත් වැඩදායී පුද්ගලයකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබීම වාසනාවක්. ඒ වගේම රටේ වත්මන් නායකත්වය රට ගොඩනැඟීමට ගෙන යන වැඩපිළිවෙළට උපරිම සහයෝගය ලබාදීම මගේ බලාපොරොත්තුවයි. පවුලක් ලෙස අපි තිදෙනාගේම බලාපොරොත්තුවත් එයයි“

[email protected]

ඡායාරූප- ගයාන් පුෂ්පික

Comments