ඕනම දේකට අපිට අපි ඉන්නවා කියන හැඟීම හිතට ලොකු හයියක් | Page 2 | සිළුමිණ

ඕනම දේකට අපිට අපි ඉන්නවා කියන හැඟීම හිතට ලොකු හයියක්

 

මෙවර ‘අක්ක-නගෝ’ විශේෂාංගය හැඩ කරන්නේ එක ඉත්තක පිපුණු මල් දෙකක් වගේ සුන්දර සහෝදරියන් දෙන්නෙක් ගැන. ඒ, වත්සලා දියලගොඩ සහ බුවිනි දියලගොඩ. පුංචි තිරය ජයගත් ජනප්‍රිය රංගන ශිල්පිනියන් වන ඔවුන් සහෝදරකමේ සොඳුරු මතක සටහන් දිග හැරියේ මේ විදිහටයි.

“අපේ පවුලේ තුන්දෙනයි. නංගියි මමයි අතර වයස පරතරය අවුරුදු 6ක්. මල්ලි අපි දෙන්නට වැඩිය ගොඩක් බාලයි. ඒ නිසා නංගියි මායි තමයි එකටම හිටියේ. පොඩි කාලේ නංගි ටිකක් සැරයි. කරන තරමක් දඟ වැඩමයි කළේ.” වත්සලා කතාව ආරම්භ කළේ එහෙමයි. බුවිනි ඒ මතක සිහි කළේ හිනැහෙමින්.

“ අක්කා වූටි කාලේ හරි අහිංසකයි. ගොඩක් සංවේදියි. පොඩ්ඩ ඇත්නම් ඇස්වල කඳුළු පුරව ගන්නවා. හැබැයි මම වසයි. මට ඕන දේ හොඳින් හරි නරකින් හරි ගන්නවා. ඒ හින්දම ඒ කාලේ අපි අතර රණ්ඩු අඩුවක් නැහැ. ”

එහෙම සමහර රණ්ඩු කෙළවර වෙන්නෙ අක්ක නගෝට දඬුවම් ලැබිලා. අම්මා තාත්තාගෙන් වැඩිපුරම දඬුවම් ලැබුවේ අක්කද? නංගිද? අපි බුවිනිගෙන් ඇහුවා.

“චූටිම කාලේ නම් කවුරුත් මට දඬුවම් දෙන්නෙ නැහැ. වැරැද්ද කළේ මම වුණත් අක්කට තමයි දඬුවම් ලැබෙන්නෙ. හැබැයි ටික ටික ලොකු වෙද්දි අක්කා සේරටම කලින් ඇස්වල කඳුළු පුරවගන්න නිසා මට දඬුවම් ලැබුණු වෙලාවලුත් තිබුණා. ”එහෙම රණ්ඩු වුණත් දෙන්නා හරි ඉක්මනට ආයේ යාළු වෙන බවත් වත්සලා කිව්වා. ඒ වගේම අක්කා ඉස්කෝලෙ ගියෙ නැති දවසට තමන් අඬ අඬා ඉස්කෝලෙ ගිය හැටි බුවිනි මතක් කළේ සිනාසෙමින්.

“ඒ කාලේ අක්කා ඉස්කෝලෙ ගියේ මට කලින්. එයාව ලෑස්ති කරලා ඉස්කෝලෙ පිටත් කළාට පස්සේ තමයි අම්මා මාව ඇහැරවන්නේ. ඒ දවස්වල මාව ඉස්කොලෙ ගෙනියන්නේ තාත්තා. ඉතින් මම නැඟිටිද්දි අක්කා ගෙදර හිටියොත් මමත් එදාට ඉස්කෝලෙ යන්නෙ නැහැ. සමහර දවස්වලට මම නැඟිටිද්දි අක්කා පේන්න නැහැ. ඒත් මම ලෑස්ති වෙලා වාහනේ ගේට් එකෙන් එළියට යද්දිම අක්කා කොහේ හරි ඉඳන් මට අත වනනවා. ඉතින් මම එදාට අඬ අඬා තමයි ඉස්කෝලෙ යන්නේ. අක්කා ගෙදර ඉන්නවා නම් මටත් ගෙදර ඉන්නෝනි. ”

මේ අක්ක-නගෝ ගෙන් ඉස්සෙල්ලම රංගනයට එකතු වෙන්නෙ වත්සලා. ඒ ගැන මතක අවදි කරද්දි බුවිනි ඒ ගැනත් හරි අපූරු කතාවක් අපිට කිව්වා.

“මේක අම්මා කියපු කතාවක්. අක්කා චූටි කාලේ ඉඳන් කලාවට හරිම කැමැතිලු. ඉස්කෝලෙ කොන්සට් එකේ අයිටම් දහයක් තිබුණොත් අක්කා ඒ දහයටම ඉන්නවලු. ඒ වගේම චූටි කාලේ අක්කා හරි ආසයිලු සිඟිති කුමාරිට ඉන්න. සමහර වෙලාවට එයා දිනන්නෙත් නෑලු. හැබැයි එයාට තෑග්ගක් දුන්නෙ නැත්තම් එයා ස්ටේජ් එකෙන් බහින්නෙ නෑලු. ඒ හින්දම අම්මා සිඟිති කුමාරි තරගෙට යනකොට තෑග්ගකුත් අරගෙන යනවලු. දිනුවේ නැත්තම් ඒ තෑග්ග දීලා අක්කව ස්ටේජ් එකෙන් බස්සගන්නවලු”

බුවිනිගෙ කතාව වත්සලා අහගෙන හිටියෙ හිනාවෙවී. අපි වත්සලාගෙන් ඇහුවෙ බුවිනි ක්ෂේත්‍රයට එන්න ඇයගෙන් ලැබුණු අත්වැල ගැනයි.

“නංගි ෆීල්ඩ් එකට එන්නෙ මම ඇවිත් සෑහෙන කාලෙකට පස්සේ. ඒ වෙද්දි මම ක්ෂේත්‍රයේ හොඳ ගමනක් ඇවිත් තිබුණ නිසා නංගි ක්ෂේත්‍රයට එන එක ගැන මට දෙපාරක් හිතන්න අවශ්‍ය වුණේ නැහැ. ඒ වගේම මගෙ අඩි පාර දිගේ නංගිටත් සාර්ථක ගමනක් එන්න පුළුවන් වුණා. ඒ ගැන මට ගොඩක් සතුටුයි”

“අක්කා නිසා තමයි මටත් රඟපෑමට ආසාවක් ඇතිවුණේ. ඒ වගේම අක්කා නිසා මගේ ගමන ගොඩක් පහසු වුණා” බුවිනි එහෙම කිව්වේ අක්කා ගැන ආදරෙන්. වත්සලා සහ බුවිනි රූපයෙන් එක සමානයි වගේම ඔවුන් දෙන්නගේ කටහඬත් ගොඩක් සමානයි. ඒ හින්දා සමහර වෙලාවට රසවත් සිදුවීම්වලට මුහුණ දෙන්න වුණු බවත් වත්සලා කිව්වෙ සිනාසෙමින්.

“අපි දෙන්නගේ කටහඬවල් වෙලාවකට අපි දෙන්නගෙ හස්බන්ඩ්ලටත් අඳුරගන්න අමාරුයි. ඉතින් අපි විහිළුවට එයාලව රවටපු වෙලාවලුත් තියෙනවා”

වත්සලා විවාහ වෙලා දැන් එකළොස් වසරක්. බුවිනි විවාහ වුණේ මීට වසරකට පෙරයි. දෙතැනක පදිංචිව සිටියත් තවම ඔවුන්ගේ බැඳීම එදා වගේම සමීප බව මේ අක්ක- නගෝ කිව්වා.

“අපි නිතරම කතා කරනවා, හමුවෙනවා. දෙන්නා එකතු වුණාම වැඩිපුරම කරන්නෙ ඇඳක් උඩට වෙලා කියව කියව ඉන්නෙක යි. ”වත්සලා එහෙම කියද්දි බුවිනිත් ඒ කතාවට තවත් දේවල් එකතු කළා.

“ඉස්සර ඉස්කෝලෙ යන කාලේ අක්කගෙ යාළුවෝ අපේ ගෙදර එනවා, පාටි දානවා. එයාලා මාව එයාලගේ සමාජෙට ගන්නෙ නැහැ. ඒත් දැන් අපි දෙන්නගේ වයස් පරතරය දැනෙන්නෙම නැති තරම්. අපි දෙන්නා හොඳම යාළුවො වගේ ඉන්නෙ. ඕනම දෙයක් ගැන කතා කරනවා. අපි දෙන්නගෙන් කාට හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි හමුවෙලා ඒ ගැන කතා කරනවා.

හැබැයි අන්තිමට ඒ කතාව නතර වෙන්නෙ අපි හොඳටම හිනාවෙලා. අර ප්‍රශ්නෙ නිසා තිබුණු ස්ට්‍රෙස් නැති වෙලා ප්‍රශ්නෙත් හරිම නෝමල් දෙයක් වෙනවා. අනිත් එක අපි දෙන්නගේ අදහස් ගොඩක් දුරට සමානයි. එයා වගේ සහෝදරියක් ඉන්නෙක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ” බුවිනි ආදරණීයව එහෙම කියද්දි වත්සලා බුවිනි ගැන ඇයට දැනෙන හැඟීම කිව්වේ හැඟීම්බරවයි.

“එයා මට හොඳ සහෝදරියක්. ඕනම දේකට අපිට අපි ඉන්නවා කියන හැඟීම හිතට ලොකු හයියක්”

[email protected]

 

Comments