සතියේ කලදවස | සිළුමිණ

සතියේ කලදවස

මේෂ ලග්නය

ශාරීරික හා ආර්ථික ආපදා

මේෂ ලග්නය හිමි ඔබගේ ක්ෂේත්‍රයේ මෙම සතියේ චන්ද්‍රයා 12-01-02 යන ස්ථානවල ගමන් කරමින් සතියේ මුල හා අගභාගය විවිධ මානසික කායික ගැටලු රැසකට මුහුණ දෙන අතර සතිය මැද භාගය ඉතා සතුටුවිය හැකි කරුණක් උදාවන බව පෙනේ. විශේෂයෙන් ඔබට සතියේ ආරම්භයේ කිසියම් ශාරීරික උපද්‍රවයකට මුහුණ දීමට බොහෝ දුරට ඉඩ ඇති අතර සතිය අවසානයේ ආර්ථික පීඩනයකට මුහුණ දීමට බොහෝ දුරට ඉඩකඩ තිබේ. කෙසේ නමුත් ඔබ සතිය මුල පටන් ගන්නා තීන්දු තීරණ ඉතා සුපරික්ෂාකාරී ලෙස සොයා බලා සිදු කළයුතු බව සිතට ගත යුතුවේ.

 

වෘෂභ ලග්නය

වාසනාවන්ත දරු උපත්

වෘෂභ ලග්නය හිමි ඔබගේ ක්ෂේත්‍රයේ චන්ද්‍රයා මේ සතිය තුළ ක්ෂේත්‍රයේ 11-12-01 යන ස්ථාන පසුකරමින් ගමන් ගන්නා නිසා ඔබ කිසියම් ආයෝජනයකට යොමුවන බව පෙනේ. එසේ වන්නේ නම් එය ඉතා යහපත් ආයෝනජනයක් වනසා සේම ආර්ථික වශයෙන් ද ප්‍රතිලාභ හිමි වනු ඇත. ඔබට පිටරටක සිටින අයකු වෙතින් කිසියම් ප්‍රතිලාභයක් ද හිමිවේ. විශේෂයෙන් ශරීර සෞඛ්‍යයට තර්ජනයක් වෙමින් අධික සෙම හතිය මතු කරමින් ඔබට අපහසුතාවට ලක්වීමට ද සිදුවේ. මෙම සතිය ආරම්භයේ උපදින දූ පුතුනට යහපත් ග්‍රහ තත්ත්වයක් හිමි වන අතර දරු සම්පත් බලාපොරොත්තු වන අයට වාසනාවන්ත දරු සම්පත් ද හිමි වනු ඇත.

 

මිථුන ලග්නය

යහපත් ආයෝජනයක්

මිථුන ලග්නය හිමි ඔබගේ ක්ෂේත්‍රයේ මෙම සතිය තුළ චන්ද්‍රයා 10-11-12 යන ස්ථානවල ගමන් කරන නිසා විශේෂයෙන් රැකියා අපේක්ෂිත ඔබට වාසනාවන්ත රැකියා ඵලයකට හේතු වෙයි. කරමින් සිටි රැකියාවක් වෙත් නම් එහි උසස්වීම් හා පැවතුණු සතුරු කරදරයකින් මිදීමට ඔබට හැකි වෙයි. පපුව හිස ආශ්‍රිත සීත ගතිය නිසා සෙම් අධික බවකින් පෙළීමට ඔබට සිදුවෙයි. කෙසේ නමුදු වාහනයක් ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමට සිටින ඔබගේ බලාපොරොත්තු සඵලවේ. තම මවු පාර්ශ්වයෙන් ලැබෙන ඇප උපකාර තුළින් අනාගතයට යහපත් ආයෝජනයකට යොමු වීමට ඔබට හැකිවේ.

 

කටක ලග්නය

නීතිමය ගැටලුවකින් සහනය

කටක ලග්නය හිමි ඔබගේ ක්ෂේත්‍රයේ චන්ද්‍රයා මේ සතියේ 9-10-11 යන ස්ථානවල ගමන් කරමින් සතිය පුරාවටම යහපත් ප්‍රතිඵල උදා කරදීමට සමත් වෙයි. සිතට සතුට දැනෙන අන්දමේ සිදුවීම් රැසකට මුහුණ දීමට හැකිවේ. පෙර පින් මහිමය ඵ‍ලදෙන සතියකි. තමාට හිමිව තිබී තමා වෙතින් දුරස්වූ දේපළකට යළි හිමිකම් කීමට ඔබට හැකිවෙයි. පැවති නීතිමය ගැටලුවකින් මිදීමට ද ඔබට හැකිවේ. දරුවන්ගේ කටයුත්තකදී වෙහෙස වීමට සිදුවන මේ සතිය විශේෂයෙන් ආගමික කටයුතු කෙරේද ඔබ යොමු කරන සතියකි.

 

සිංහ ලග්නය

ජලාශ්‍රිත උවදුරු

සිංහ ලග්නය හිමි ඔබගේ ක්ෂේත්‍රයේ චන්ද්‍රයා 08-09-10 යන ස්ථානවල ගමන් කර අතර සතිය ආරම්භය ඒ තරම් සතුටුදායක නොවේ. ඒ අනුව තුනටියේ ආබාධයකට හේතු වන අතර ජලාශ්‍රිත උවදුරකට බොහෝ දුරට ඉඩ ඇති නිසා නුහුරු නුපුරුදු ජලාශ, වැව්, අමුණු ආශ්‍රිත ස්නානය කිරීම් සුබ නොවනු ඇත. නමුත් සතිය මැද භාගය හා අවසන් භාගය සතුටුදායක තත්ත්වයකට මුහුණ දීමට ඔබට වාසනාව පෑදේ. ලොතරැයි දිනුම් හදිසි ධන ලාබ හිමිවෙයි. විශේෂයෙන් තම පිය පාර්ශ්වයෙන් ලැබෙන ඇප උපකාර නිසා ආර්ථික වශයෙන් ඔබට වාසි සහගත වෙයි. දුර ගමන්වලින් වැළකී සිටීම යහපත් වනු ඇත.

 

කන්‍යා ලග්නය

විවිධ අපවාද චෝදනා

කන්‍යා ලග්නය හිමි ඔබගේ ක්ෂේත්‍රයේ චන්ද්‍රයා මේ සතියේ 07-08-09 යන ස්ථානවල ගමන් කරමින් අවිවාහක නම් මංගල යෝජනා ද විවාහක නම් මංගල උත්සවාදියට සහභාගි වීමට ද ඔබට හැකි වෙයි. කිසියම් අයුරකින් ඔබ පෙම්වතුන් ලෙස කටයුතු කරන අය ඉතා ප්‍රවේශම් විය යුතු අතර නොසැලකිලිමත් ලෙස හිතුවක්කාරී ලෙස කටයුතු කිරීම නිසා විවිධ අපවාද චෝදනාවලට ද මුහුණ දීමට ඔබට සිදුවිය හැකි නිසා කල්පනාකාරී වන්න. ඔබ කිසියම් ශාස්ත්‍රීය කටයුත්තකට අත ගසන්නේ නම් සතිය ආරම්භය ඒ සඳහා ඉතා සුදුසු වන අතර එය ඉතා ඉක්මණින් සාර්ථකව සිදු කර ගැනමට ඔබට හැකි‍ වෙයි.

 

තුලා ලග්නය

යටි බඩ ආශ්‍රිත අසාත්මිකතා

තුලා ලග්නය හිමි ඔබගේ ක්ෂේත්‍රයේ චන්ද්‍රයා මේ සතියේ 06-07-08 යන ස්ථානවල ගමන් කරමින් යටි බඩේ මුත්‍රාශයේ ආබාධයක් මතු කරමින් අපහසුතා විඳීමට ඔබට සිදු වෙයි. කිසියම් ආහාර පානයක් නිසා ශරීරයේ අසාත්මිකතාවකට මුහුණ දීමට සිදුවේ. අජීර්ණ ආහාර නොදිරවීම නිසා මතු කෙරෙන රෝගයක් හෝ වස විස ශරීරගත වීමට පවා බොහෝ දුරට ඉඩ ඇති නිසා කල්පනාකාරී වන්න. සතිය මැද සුබ වුවත් සතිය ආරම්භය සහ අවසාන භාගය ඔබට සුබ නොවේ. උපරිම වතුර පානය සුදුසු වෙයි. නැතහොත් වකුගඩු ආශ්‍රිතව හා ආමාශගත උෂ්ණය උත්සන්නවීමට ඉඩ තිබෙන නිසාය.

 

වෘශ්චික ලග්නය

හදිසි අනතුරු සහිතයි

වෘශ්චික ලග්නය හිමි ඔබගේ ක‍්ෂේත්‍රයේ චන්ද්‍රයා මේ සතියේ 05-06-07 යන ස්ථානවල ගමන් කරමින් යහපත උදා කරන සතියක් වනු ඇත. විශේෂයෙන් දරු සම්පත් බලාපොරොත්තු වන අයට වාසනාවන්ත දරු සම්පත් ද උදා කෙරෙන මේ සතිය ආර්ථික අතින් ද යහපත පිණිස වෙයි. සීතල ආහාරපාන අවම කළ යුතුය. නැතහොත් ශාරීරික තෙත් ගතිය මතු කර විවිධ සීතාධික රෝග මතු කිරීමට ද ඉඩ ඇති නිසාය. තම මවට කිසියම් හදිසි අනතුරකට මුහුණ දීමට බොහෝ දුරට ඉඩ ඇති නිසා ඒ පිළිබඳව මවගේ ආරක්ෂාව තහවුරු වන විලස කටයුතු කිරීම නුවණට හුරුවෙයි. තම දුවා දරුවා තම සිතැඟියාව අනුව කටයුතු කළහොත් ඒ අයට උවදුරු කරදර උදාවිය හැකි නිසා කල්පනාකාරීවන්න.

ධනු ලග්නය

නව නිර්මාණවලට ශක්තිය

ධනු ලග්නය හිමි ඔබගේ ක්ෂේත්‍රයේ චන්ද්‍රයා මෙම සතියේ 04-05-06 යන ස්ථානවල ගමන් කරමින් ඔබට යහපත්කම් රැසක් උදාකර දීමට සමත් වෙයි. වාහන ලාභ - නිවාස හා ඉඩම් ලාබ පෙන්වනු ඇත. අඩුම තරමින් තම නිවෙස අලුත්වැඩියාවක් කර ගැනීමට හැකිවෙයි. විශේෂයෙන් පසුගිය 30 වැනිදා සිට ගුරු ග්‍රහයා ධනු ලග්නගත වීමෙන් සිදුවූ යහපත්කම් අතර සුබවාදී මානසික සුවය අධිෂ්ඨානශීලී බව හා ඉදිරියට යාමට ඇති උනන්දුව යන කරුණු නිසා ඔබට මෙම සතිය කිසියම් ශාස්ත්‍රීය කටයුත්තකට එසේත් නැතිනම් නව නිර්මාණශීලී කටයුත්තකට අත ගැසීම ඉතා සුබවෙයි. තමාගේ ළඟ ඥාතියකුට සිදුවිය හැකි හදිසි අනතුරක් නිසා වෙහෙසකර තත්ත්වයකට මුහුණ දීමට ඔබට සිදුවෙයි.

 

මකර ලග්නය

ගෙදර දොරේ පින්දහම් කටයුතු

මකර ලග්නය හිමි ඔබගේ ක්ෂේත්‍රයේ චන්ද්‍රයා 03-04-05 යන ස්ථානවල හැසිරෙමින් ඉතා යහපත් ජීවිතයක ආරම්භයක් සනිටුහන් කිරීමට ඔබට හැකි වෙයි. ඔබට මෙම සතිය ආරම්භයේ සිට කිසියම් ආගමික කටයුත්තක නියැලීමට හැකි වනු ඇත. ගෙදර දොර පිං දහම් කටයුතු රැසක නියැලේ. පෙර පින් මහිමය නිසා ඔබගේ ඉදිරි ගමන සඵල කෙරෙන ආර්ථික ප්‍රතිලාභයකට හේතුවේ. කෙසේ නමුදු ඔබට යන එන තැන කැපී පෙනෙන තත්ත්වයකට පත්වීමේ වාසනාව ඇත. රැකියාගතව පැවති බාධා මඟ හැරෙන අතර ව්‍යාපාරයකට අත ගසනවා නම් උසස් ආදායම් උදාකර ගත හැක. නිවසට පැමිණෙන අමුත්තකු නිසාද වාසි සහගත තත්ත්වයක් උදාවීමට පුළුවන.

 

කුම්භ ලග්නය

සොර සතුරු උවදුරක්

කුම්භ ලග්නය හිමි ඔබට මෙම සතියේ ඔබගේ ක්ෂේත්‍රයේ 02-03-04 යන ස්ථානවල හැසිරෙමින් සතිය ආරම්භයේ ඇති කරන උගුරේ අසාත්මිකතාවක් නිසා වෛද්‍ය ප්‍රතිකාර පවා ලබා ගැනීමට සිදුවේ. පපුවේ සෙම ගතිය දැඩි වන වකවානුවකි. සීතල ආහාරපාන අවම කිරීම - රාත්‍රියේ ස්නානය කිරීම ආදි ක්‍රියා අත්හළ යුතු සතියකි. නිදිමැරීම පිනිබෑම යන ශාරීරික ආපදා විය හැකි කටයුතු තුළින් ඈත්වීම සුබයි. සතිය ආරම්භයේ සොර සතුරු උවදුරකට ගොදුරු වීමට බොහෝවිට ඉඩ ඇති අතර නීති ප්‍රශ්න යනාදියට මුහුණ දීමට සිදු වීමෙන් සතිය පුරාම කාර්ය බහුල වන බවක්ද පෙනෙන්නට තිබේ.

 

මීන ලග්නය

සුබ කටයුතු කල්දමන සතියකි

මීන ලග්නය හිමි ඔබගේ ක්ෂේත්‍රයේ චන්ද්‍රයා 01-02-03 යන ස්ථානවල හැසිරෙමින් සුබවාදි සතියකට වාසනාව පාදයි. නමුත් හිසට විය හැකි සෙම් බහුල රෝග - ස්නායු තෙරපීම ආදි ආබාධ නිසා කටයුතු කල්දමා සිටීමට සිදු වෙයි. කෙසේ නමුදු උරහිස ආශ්‍රිත උවදුරු කරදරද පෙන්වයි. ඔබ කිසියම් ශාස්ත්‍රීය කටයුත්තක්. ග්‍රන්ථකරණයකට යොමු වීමට සිතනවා නම් ඒ සඳහා ඔබට මේ සතිය ආරම්භය සුදුසු කාලය වෙයි. කල්දමා තිබූ වැඩකටයුතු නැවත ආරම්භයට සුදුසුයි. විනෝදගමන් වන්දනාගමන් අධික වන සතියකි. කෙසේ නමුදු ඔබ වෙතින් දුරස්වූ අයකුගේ නැවත පැමිණීමක් නිසා අධිෂ්ඨානය ඉහළ යන සතියකි.

Comments