ලේ රහට බිලිවුණු ලෝකයේ ලොකුම කබල්ලෑවා | සිළුමිණ

ලේ රහට බිලිවුණු ලෝකයේ ලොකුම කබල්ලෑවා

ලෝකයේ ලොකුම කබල්ලෑවා හමු විය. ඒ මන්නාරෙමිනි. ඒත් ඒ ගැන ලෝකයට කියමින් ආඩම්බර වෙන්නට දෙයක් ඉතිරිව තිබුණේ නැත. ලෝකයේ ලොකුම කබල්ලෑවා හමුවුණේ දඩයක්කාරයෙකුගේ මන්දකට හසුවී සිටිය දී ය. හමුවෙනවිටම ඌ මියගොස් සිටියේය.

මේ වාර්තා වන්නේ ලෝකයේ ලොකුම කබල්ලෑවාගේ තොරතුරු බව දැනගන්නේ නඩු භාණ්ඩයක් ලෙස වනජීවී නිලධාරීන් අතට පත් මේ කබල්ලෑ මලකුණ කිරා බලද්දීය. අනතුරුව කබල්ලෑවන් ගැන පුරා පස් වසරක් තිස්සේ පරීක්ෂණ පවත්වන ජයවර්ධනපුර සරසවියේ වන හා පාරසරික විද්‍යා අංශයේ ආචාර්ය ප්‍රියාන් පෙරේරා මේ මරා දැමූ කබල්ලෑවා ගැන විශේෂ අධ්‍යයනයක් කළේය. මේ සත්වයාගේ ජීව විද්‍යාත්මක පැවැත්ම සම්බන්ධව විධිමත් විද්‍යානුකූල පරීක්ෂණයට අවශ්‍ය ජාන විද්‍යාත්මක දතත් එකතු කරගත්තේය. ලෝකයේ ලොකුම කබල්ලෑවා සම්බන්ධ විද්‍යාත්මක පරීක්ෂණ දත්ත සහිත විශේෂ පර්යේෂණ වාර්තාව තව දෙසතියකින් නිකුත් වීමට නියමිතය. මේ ඒ විශේෂ විද්‍යාත්මක හෙළිදරව්ව කිරීමට පෙර කෙරෙන පසු සටහනකි.

ලංකාවේ කබල්ලෑවා

කබල්ලෑවා යනු අපි පුංචි සන්දියේ ඉගනගත් ඈයා ය. ලොව පුරා කබල්ලෑවන් විශේෂ අටක් වෙති. ඉන් විශේෂ හතරක් වාසය කරන්නේ ආසියාවේය. ඉතිරි හතර අප්‍රිකාවේය. ආසියානු කලාපයේ වෙසෙන කබල්ලෑ වර්ග හතරම ජීවත්වෙන්නේ දැඩිලෙස තර්ජිත අවස්ථාවේය. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ 'ඉන්දියානු කබල්ලෑවා' [Indian Pangolin] නමැති විශේෂයය. ඉන්දියානු කබල්ලෑවා හෙවත් සත්ත්ව විද්‍යාත්මකව Manis crassicaudata ලෙස හඳුන්වන විශේෂය පකිස්ථානය, ඉන්දියාව සහ නේපාලය වැනි රටවල ව්‍යාප්තව සිටිති. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ “වන හා පාරිසරික විද්‍යා අධ්‍යන අංශයේ“ ආචාර්ය ප්‍රියාන් පෙරේරාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ කබල්ලෑවන් පිළිබඳව වසර පහක් පුරා විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කෙරෙමින් තිබේ.

“මේ සත්වයා හරිම ලජ්ජා ශීලී නිශාචර සත්වයෙක්. ඒ සත්වයන් ගේ චර්යා ස්වරූපය නිසාම අපට ඔවුන්ගේ ගහණය ගැන නිශ්චිත අදහසක් දෙන්න බෑ. ඌ වැඩිපුරම සක්‍රීය වන බව අප දැක්කේ රාත්‍රී 11 සිට පාන්දර 4 දක්වා කාලය තුළ. ඒත් මේ සත්වයා ගෝලීය වශයෙන් තර්ජනයට ලක් වෙලා තියනවා. ඌ නීති විරෝධී වෙළෙඳාමට ලක්වන ප්‍රධානම ක්ෂීරපායි සත්ත්ව විශේෂයක්.“ ආචාර්ය ප්‍රියාන් පෙරේරා කබල්ලෑවා ගැන අපට එසේ කීවේය.

ආචාර්ය ප්‍රියාන් පෙරේරාට ප්‍රථම කිසිවෙක් ශ්‍රී ලංකාවේ කබල්ලෑවන් ගැන විද්‍යාත්මක අධ්‍යනයක් කර තිබුණේ නැත.

මේ පර්යේෂණයේ දී ලංකාවේ කබල්ලෑවා මුහුදු මට්ටමේ සිට අඩි 1850 තෙක් ව්‍යාප්තව සිටින බව හෙළිදරව් විය. ඔවුන් පරිසර පද්ධති රැසකට අනුවර්තනය වී ඇති අයුරුත් නුවරඑළි දිස්ත්‍රික්යේ මෙන්ම නොව මීගමුව පුත්තලම තීරුවේ කඩොලාන ආශ්‍රිතවත් කබල්ලෑවන් හමුවන අයුරුත් පරීක්ෂකයෝ නිරීක්ෂණය කළහ.

එහෙත් මේ සතුන් ජීවත්වෙන්නට ප්‍රිය කළ පරිසර තත්වයන් තිබුණේ පහතරට නිවර්තන තෙත් කලාපය තුළ බව පර්යේක්ෂකයෝ කීහ. එහෙත් වේයන්, කෘමීන්, කුහුඹුවන් ආහාරයට ගන්නා කබල්ලෑවෝ තම ආහාර සොයා රබර් වතු, කටුපොල් වතු, වෙනත් කෘෂිකාර්මික වගාවන් සහිත ගම්මාන ආශ්‍රිතව සැරි සැරූහ.

ලොකුම කබල්ලෑවා මන්නාරමෙන් හමු වූ හැටි

ලෝකයේ විශාලම කබල්ලෑවන් ජීවත් වන්නේ අප්‍රිකාවේය. ඌ යෝධ කබල්ලෑවා [Gaint Pangolin] ය. එම විශේෂයේ දැනට වාර්තා වී ඇති උපරිම දේහ බර ඇති සත්වයන් පිළිබඳ දත්ත වාර්තා වී තිබුණේය. අප්‍රිකානු යෝධ කබල්ලෑවෙකු කිලෝග්‍රෑම් 33-36 අතර බරකින් යුක්තය. දැනට වාර්තා වී ඇති විද්‍යාත්මක තොරතුරුවලට අනුව ලෝකයේ විශාලතම ඉන්දියානු කබල්ලෑවාගේ බර කිලෝග්‍රෑම් 32.2 කි. ලංකාවෙන් හමුවන කබල්ලෑවෙක් සාමාන්‍යයෙන් කිලෝ 15-20ක බරින් යුතුය. එහෙත් මන්නාරමින් වාර්තා වූයේ කිලෝ 36කට වඩා වැඩි දේහබරින් යුතු කබල්ලෑවෙකි.

එහෙත් මුලින් කී ලෙස සතා හමුවන්නේ මලකුණක් ලෙසය. දඩයක්කාරයෙකුගේ ගොදුරක් ලෙසය. මේ ම්ලේච්ඡ හැසිරීම මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වන්නේ නම් සිදුවිය නොහැකිය.

වඳවී යන වනජීවීන් පිළිබඳ අන්තර්ජාතික ප්‍රතිඥප්තිය (Cites) අනුව කබල්ලෑවාට ආරක්ෂාව සැලසේ. ශ්‍රී ලංකාව ද එම ප්‍රඥප්තියට අත්සන් තැබූ රටකි. එමෙන්ම කබල්ලෑවා හෙවත් ඈයා වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතේ 30(2) වගන්තියට අනුව දැඩි ලෙස ආරක්ශිත ක්‍ෂීරපායී සත්වයකි. කබල්ලෑවෙකු මරා දමන, හානියට පත් කරන හෝ පණ පිටින් හෝ මරා දමනු ලැබූ කබල්ලෑවකුගේ සිරුරක් හෝ ඕනෑම කොටසක් හෝ තම සන්තකයේ හෝ භාරයේ තබා ගැනීම රටේ නීතියට අනුව වරදකි. වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතේ 67 වගන්තිය ප්‍රකාරව එවන් වරදකරුවෙක් වරෙන්තුවක් රහිතව අත්අඩංගුවට ගත හැකිය. ,කබල්ලෑවකු හෝ කබල්ලෑ පොතු (ශරීරයේ පිටින් තිබෙන ඵලක) අපනයනය කරන හෝ අපනයනය කිරීමට තැත් කිරීම පනතේ 40 වගන්තිය අනුව වරදකි.

නමුත් මේ නීති හරහා මස්වැද්දන් හා ජාවාරම් කරුවන් වැළැක්වීමට රටට හැකි වී නැත.

මස් වැද්දෝ

ලෝකයේ ලොකුම කබල්ලෑවා මෙන්ම ලංකාවෙන් වඳ වී ගිය බව කියූ කලු දිවියා යළි හමුවන්නේ දඩයක්කාරයන්ගේ උගුල් වලිනි. එකෙක් හමුවන්නේ මල කඳක් ලෙසය. අනෙක් සතා පණපිටින් සිටියත් මිය ගියා සේය.

“දැනට අප සතුව ඇති වාර්තාවලට අනුව කබල්ලෑවා දැඩි සේ තර්ජනයට ලක් වෙලා සිටින සතෙක්. ඔවුන් ජීවත්වෙන ප්‍රදේශ වේගයෙන් විනාශ වෙමින් තිබෙනවා. මස් පිණිස, කොරපොතු පිණිස, මේ සතුන්ඉලක්ක කර මරා දමනවා. ඔබ දන්නව ද?. මේ රටේ කුඩා වනසතුන් 500ක් අවම වශයෙන් මේ දඩයක්කාරයන්ගෙ මදුවලට හසුවෙලා මිය යනවා. දිනපතා මියයනවා. කබල්ලෑවෝ, මීමින්නො, කඳුකර කොටි, මුවො, ඌරො, කොල දිවියො, වැනි සතුන් සිය ගණනක් මේ මරණ ඇතුළෙ ඉන්නවා. මේක රටක් වශයෙන් අප මුහුණ දෙන වේදනාත්මක අත්දැකීමක්. වනජීවි දෙපාර්තමේන්තුව බුද්ධි ඒකකයක් පිහිටුවලා, වරද කරුවන් අත්අඩංගුවට ගන්න කටයුතු කළොත්, අද පවතින නීතියට වඩා දැඩි නීති පද්ධතියක් තුළ වරදකරුවන්ට දඬුවම් දෙන්න කටයුතු කළොත්, නවීණ තාක්ෂණය යොදාගෙන මේ මදු ගසා ඇති ස්ථාන සොයාගෙන එවා ගලවා දමන්නට කටයුත කරන යාන්ත්‍රණයක් හැදුවොත් මේ තත්වයට වඩා සාර්ථකව රටක් විදිහට අපට මුහුණ දෙන්න පුළුවන්.“ ජ්‍යෙෂ්ඨ පරිසරවේදී නයක රන්වැල්ල අපට කියන්නේය.

නීතියෙන් ශික්ෂණය කරනවා නම් මේ මිනිසන් ශික්ෂණය කිරීමට පවතින නීති ප්‍රමාණවත්ය. අප ජීවත් වන්නේ නීතියේ සිදුරු තුළින් රිංගා යමින් සතුටක් ලබන මිනිසුන් සහිත සමාජයකය. මද්දකට හසුවී මිය ගිය ලෝකයේ විශාලම කබල්ලෑවා යළිත් ලෝකයට කියන්නේ ඒ අශිෂ්ට සංස්කෘතියේ ස්වරූපය ය.

Comments