ලන්ඩනය මළගෙයක් කරන්නට ගිය හු‍ෙදකලා වෘක ධේනුව කොටුවුණු හැටි | සිළුමිණ

ලන්ඩනය මළගෙයක් කරන්නට ගිය හු‍ෙදකලා වෘක ධේනුව කොටුවුණු හැටි

ලන්ඩන් නුවර මලගෙයක් කරන්නට ගිය හුදකලා වෘක ධේනුව මේ වන විට බන්ධනාගාරගතවය. පසුගිය සිකුරාදා (3) ලන්ඩන් නුවර ඔලිඩ්ඩේල් අපරාධ අධිකරණ විනිසුරු ජස්ටින් ස්වීනි ඇයව පුරා 14 වසරකට බන්ධනාගාර ගත කරන්නට තීන්දු කළේය.

ඇය සාෆියා අමීරා ෂායික්ය. ලන්ඩනයේ ජීවත් වෙමින් සිටි අයි.එස්. සංවිධානයේ ප්‍රභලම කාන්තා නියෝජනය වූයේ ඇයය. අයි.එස්.සංවිධානය සමග ඍජුවම ගණු දෙණු නොකර සංවිධානයේ මතවාද දරමින් ප්‍රහාරයක් සඳහා හුදකලාව ගොදුරු සොයමින් හැසිරෙන අයි.එස් අන්තවාදීන් හඳුන්වන්නේ හුදකලා වෘකයින් නමිනි. ලන්ඩනය හඳුනාගත් බිහිසුණුම හුදකලා වෘක ධේනුව වූයේ ඇයය. අවසානයේ දී එංගලන්තයේ MI5 බුද්ධි සේවය ඇය සිය දැලේ පටලා ගත්තේය.

සාෆියා අමීරා ෂායික්

සාෆියා උපතින් ඉස්ලාමීය කාන්තාවක් නොවේ. ඇය බටහිර ලන්ඩනයේ හොන්සිලොව්හි පදිංචිව සිටි කතෝලික පවුලක උපත ලද තැනැත්තියකි. නමින් මිෂෙල් රැම්ස්ඩන්ය. පවුලේ එකම දියණියය. අප්‍රසන්න ළමා කාලයක් ගත කළ මිෂෙල් තරුණ වියේ දී වාහන අලුත්වැඩියා ස්ථානයක කලමනාකාරිණිය ලෙස කටයුතු කර තිබිණි. 2007 දී ඇයට වයස අවුරුදු විස්සකි. ඒ වනවිට ඇය සිටියේ ජීවිතය මුලුමනින්ම වැරදී ගිය තරුණ කාන්තාවක් ලෙසය. දරුවෙක් සමග ඇය හුදකලා වූවාය. යළි යළිත් ගත් වැරදි තීන්දු මුලුමනින්ම මේ තරුණ කාන්තාව සමාජයෙන් පලවා හැර තිබිණි. ඇයගේ මව පියා මෙන්ම සොයුරාත් ඇය අත්හැරියහ. අවසානයේ ඇය දරුණු ලෙස හෙරොයින් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවාය.

සමාජයෙන් පලවාහල මේ කුඩුකාර තරුණ ගැහැනියට ඉන් පසු සමීප වූයේ ප්‍රදේශයේ මුස්ලිම් පවුලකි. ඇය ඒ සෙනෙහසට, මිත්‍රත්වයට මොනතරම් නතු වී දැයි කිවහොත් කතෝලික දහම හැර දමා මුස්ලිම් ආගම වැළඳ ගත්තාය. අනතුරුව සිය නම වූ මෂෙල් රැම්ස්ඩන් අත්හැර සාෆියා අමීරා ෂායික් ලෙස නම වෙනස් කර ගත්තාය.

සාම්ප්‍රදායික මුස්ලිම පවුලක ආභාසයෙන් මුස්ලිම් ආගම වැළඳගත් මේ තරුණ ගැහැණිය ජිහාඩ් අන්තවාදී හුදකලා වෘකයෙක් බවට පත් වන්නේ වර්ෂ 2015 හා 2016 අතර කාලයේය. මේ සම්බන්ධය ගොඩනගා ගැනීමත් සමග අයි.එස්.සංවිධානය සමග අදහස් හුවමාරු කරගැනීට ඇය කටයුතු කළාය. අයි.එස්. ත්‍රස්තයෝ ඇය මුලුමනින්ම සිය ගොදුරක් බවට පරිවර්තනය කර ගත්හ.

පාස්කු ප්‍රහාරයේ උත්තේජනය

එංගලන්තයේ අන්තර් බුද්ධි ඒජන්සිය වන MI5 රහස් ඔත්තු සේවය ත්‍රස්තයන් ලෙස කොයි මොහොතක හෝ ක්‍රියාත්මක විය හැකි 'අන්තවාදී මත දරන්නන්' පිළිබඳ පූර්ණ අධීක්ෂණයක නිරත වන්නේය. වසර කීපයක සිටි සිය සුපුරුදු රිද්මය වෙනස් කර අන්තවාදී ප්‍රවේශයකට පිළිපන් සාෆියාව ඔවුන්ගේ විස්තීරණ බුද්ධි තොරතුරු ජාලයට හසුවන්නේ මේ අතරය. ඔවුන් ඇයගේ හැසිරීම්හි විකෘතිය කාලයක සිට රහසින් අධ්‍යයනය කරමින් සිටියේය.

ලංකාවේ පාස්කු ප්‍රහාරය දියත් වන්නේ මේ අතරය. ඒ ම්ලේච්ච ප්‍රහාරය මෙවැනි සැඟවුණු අයි.එස්. පිල්ලි උත්තේජනය කරන්න සමත්ය. මේ ප්‍රහාරයත් සමග සාෆියාට ලන්ඩන් නුවරත් ලංකාවේ පාස්කු ප්‍රහාරය හා සමානම ප්‍රහාරයක් දියත් කිරීමට අවශ්‍ය විය. පාස්කු ප්‍රහාරයෙන් වූ ව්‍යසනය, ඉන් අයි.එස් ත්‍රස්තයන් ලැබූ ප්‍රමෝදය, අබුබකර් බැග්ඩෑගි ගේ ඇගයීම, නිසා ප්‍රහර්ෂයට පත් සාෆියා එවැනිම ව්‍යසනයක් කරගනිමින් අල්ලාහ් දෙවියන් වෙත යෑමට අවශ්‍ය බව අයි.එස්. සංවිධානයට කියා සිටියාය. ඇයට ඇගේ පාක්ෂික භාවය සනාථ කරමින් එම ප්‍රහාරය අගෝස්තු හා ඔක්තොම්බරය තුළ සිදු කිරීමට අවශ්‍ය වී තිබිණි.

කොටු කරගැනීමේ මෙහෙයුම

මේ අතර ඇයව කොටු කරගැනීමේ මෙහෙයුම MI5 විසින් ක්‍රියාත්මක කළේය. වර්ෂ 2019 අගෝස්තු මස 19 දා නෙදර්ලන්තයේ ඇම්ස්ටඩ්‍රෑම් වෙත පිටත් වීමට පැමිණි සාෆියා එංගන්තයේ ලූටොන් ගුවන් තොටුපලේ දී ආරක්ෂක අංශවල ඉතා සාමාන්‍ය ප්‍රශ්න කිරීමකට ලක් විය. අනතුරුව කිසිම සැකයක් ඇති නොවන ආකාරයට ඇයව මුදා හැරිනි. ඒ වනවිට ඇය රහස් ඛේත මගින් අයි.එස්. ත්‍රස්තවාදීන් සමග සංවාදයන්හි නිරත වෙමින් සිටියාය.

දිනය අගෝස්තු 20 දාය. ඇයට රහස් ඛේත හරහා පණිවුඩයක් ලැබිණි. ඒ ලන්ඩනය තුළ මෙවැනිම ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටි අයි.එස්. ත්‍රස්තයෙකුගෙනි. මේ පණිවුඩය ඇය තුළ බලාපොරොත්තු ඇති කළේය. ඔහු හා සංවාදය අරඹී දෙදිනකින් ඇය ඇය සිය අභිප්‍රාය අලුතින් හඳුනාගත් අයි.එස් සටන් කරුවාට කීවාය. ඇය එදා ඔහුට කීවේ ජීවිත රැසක් විනාශ කෙරෙන ප්‍රහාරයක් එල්ල කළ යුතු බවය. ඇයට අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමට සටන් කරු එකඟ වූයේය. දැන් අවශ්‍ය ප්‍රහාරය එල්ල කිරීමට ස්ථානයකි. ඒ සඳහා ඇය තෝරා ගත්තේ ලන්ඩනයේ ඓතිහාසික සලකුණ වන ශාන්ත පාවුලු දේවස්ථානයය. ලන්ඩන් නුවර උසම ස්ථානයේ පිහිටා ඇති මෙම දේවස්ථානය ක්‍රිස්තු වර්ෂ 7 සියවසේ සිට පැවත එන්නකි. එහි වත්මන් ඓතිහාසික වාස්තුවිද්‍යා සම්ප්‍රදාය 17වන සියවසට අයත්ය. චාල්ස් ඩයනා විවාහය සිදු වන්නේත් මේ දේවස්ථානයේ ය.

2019 සැප්තැම්බර් 8 දා ඇය ශාන්ත පාවුලු දේවස්ථානයට යන්නේ එහි ව්‍යසනයක් කළ හැකි අවකාශය සොයා බැලීම සඳහාය. ඇය බෝම්බය පිපිරවිය යුතු ස්ථානයත් තීන්දු කරන්නීය. ඒ චාල්ස් ඩයනා විවාහය සිහි කිරීම වෙනුවෙන් දේවස්ථානයේ තැනක තැන්පත් කර ඇති ඡායාරූපය අසලය. අනතුරුව ඇය ලන්ඩනයේ ප්‍රධානම හෝටලයක් වන ග්‍රෙට් සෙන්ට් හෙලන් හෝටලය වෙත ගොස් එහි ප්‍රහාර අවකාශය ගැන තක්සේරුවක් කරන්නීය. මේ සියලු දත්ත සී.සී.ටී.වී කැමරාවල සටහන් වී තිබුණේය.

අනතුරුව ඇගේ ප්‍රහාරයේ ඉදිරි සැලසුම සාර්ථක කරගැනීම සඳහා මේ අයි.එස්. සටන් කරුවා ඔහුගේ බිරිය වන ‘අස්රා‘ ඇය වෙත යොමු කළේය. ඒ සැප්තැම්බර් මස 24 දා බටහිර ලන්ඩනයේ දීය. එදින ඇය සිය ළමා කාලයේ අත්විඳි ඛේදවාචකය සම්බන්ධව සංවේදී වෙමින් දෙවියන් වෙත යෑමට මෙම ප්‍රහාරය එල්ල කළ යුතු ආකාරය අවධාරණය කළාය. එතැන්සිට වට්ස්ඇප් මාර්ගයෙන් ඇය අස්රා සමග නිරන්තර සංවාදයට එක් වූවාය.

ඇය කීවේ තමාට ඒක් අයකු ඝාතනය කිරීම සතුටු විය නොහැකි බවය. මේ ප්‍රහාරය එල්ල කිරීමේ අදහස ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයෙන් තමන් වෙත පැමිණි බවය. ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාර මාලාව සිදුකළ ආකාරයටම තමාට මෙම ප්‍රහාරය සැලසුම් කිරීමට අවශ්‍ය බවය. පාස්කු දිනය හෝ නත්තල් දින දේව මෙහෙයේදී පිපිරවීම සිදුකොට විශාල සංඛ්‍යාවක් ඝාතනය කළ යුතු බවය.

ප්‍රහාරය සඳහා දේවස්ථානයේ හා හෝටලයේ බෝම්බ සවිකිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රහාරකයන් සේ ම ගමන් මලු දෙකක බෝබ්ම සවි කර ගැනීමට ඇයට අවශ්‍ය විය. එසේ කරදෙන්නැයි සාෆියා අයි.එස් මිතුරාගෙන් ඉල්ලා සිටියාය. ඒ සඳහා 'කාන්තා ගමන් මලු' මෙන් පෙනෙන ට්‍රැවලින් බෑගයක් හා පිටේ ඒල්ලාගෙන යන රෝස පැහැති බෑග් දෙකක් අස්රා අත අයි.එස් මිතුරා වෙත යැව්වාය. අස්රාගේ හා සාෆියාගේ නැවත හමුවීම සැලසුම් වන්නේ ඔක්තොම්බර් 10 දාය. එහෙත් කුමක් හෝ හේතුවක් නිසා සාෆියා ඔක්තොම්බර් 10 වැනිදා යළි අස්රා හමුවීමේ සැලසුම මගහැර තිබිණි.

සාෆියා නොදත් කතාව

මෙතෙක් ඇය සමග අයි.එස්.සටන් කරුවෙක් ලෙසත් ඔහුගේ බිරිය අස්රා ලෙසත් අපරාධකාරී සැලසුම බෙදාගෙන තිබුණේ විචක්ෂණ පුහුණුවක් ලැබූ MI5 බුද්ධි නිලධාරීන් දෙපළක් සමගය. පොලිසිය සාෆියාගේ නිවස වැටලුවේය. ඇයව අත්අඩංගුවට ගත්තේය. දීර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුව ඇය 2020 පෙබරවාරි 21 දා අධිකරණයට ඉදිරිපත් කළාය. ක්‍රමවත් නඩු විභාගයකින් අනතුරුව පසුගිය සිකුරාදා (03) අවසන් තීන්දුව ලබා දෙමින් අධිකරණය ඇයව ඔප්පු වූ අපරාධ සැලසුමකට වරද කාරිය කළේය. මෙතැන් සිට 14 වසරක් ඇය ගත කරන්නේ බන්ධනාගාරයක් තුළය.

“ මට අවශ්‍ය වුනේ ලංකාවෙ වගේ විශාල ප්‍රහාරයක් දියත් කරන්න. ඉන් පස්සෙ සුර ලොවට යන්න...“

ඇය පවසා තිබිණි. කලු හිජාබයකින් සැරසී අධිකරණය වෙත පැමිණි ඇය අධිකරණ තීන්දුව තිගැස්මකින් තොරව අසා සිටියාය. අනතුරුව දබර ඇඟිල්ල ඔසවමින් අයි.එස්. තර්ජන සංකේතවත් කළාය. සිනාසෙමින් අධිකරණ භූමියෙන් පිටත් වූවාය.

විමසිය යුත්තේ ඒ සිනහව සහරාන් අෂීම්ගේ වියරු සිනහව නොවීම ගැනය. වෘත්තිමය නිලධාරීන් හා වගකිවයුතු පාලකයින් සිටින රටක ජීවිත සුරක්ෂිත වන්නේ එසේය.

එහෙත් ගිය වසරේ පාස්කු දා අප කුඩුපට්ටම් වුණේය. ඒ දේශීය ආරක්ෂක බුද්ධි අංශ හා ඉන්දීය බුද්ධි අංශ යළි යළිත් තහවුරු කළ නිශ්චිත බුද්ධි තොරතුක් තිබිය දී එල්ල වූ ප්‍රහාරයකිනි. සේනා විධායකවූ ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා 9 වරක් දැනුවත් කර බේරාගන්නට බැරිවූ ප්‍රහාරයකිනි. සියලු තොරතුරු සහිත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ දැනුවත්ව සිට බේරා ගන්නට බැරි වූ ප්‍රහාරයකිනි. පොලිස්පතිවරයාට තේරුම් කර දී බේරාගන්නට බැරි වූ ප්‍රහාරයකිනි.

මේ වනවිට පාස්කු ප්‍රහාරය සෙවීම සඳහා ක්‍රියාත්මකවන ජනාධිපති කොමිසමේ දී හෙළි වෙමින් ඇත්තේ සියලුම වගකිවයුත්තන්ගේ ඇස් පනාපිට ගම් පිටින් වනසා මරා දැමූ රටක ජීවත්වන්නට සිදුවන අසරණ මිනිසුන්ගේ කතාවය.

 

Comments