රුසි­යන් තරු­ණි­යට අත­වර කර­න්නට ගිය තරු­ණ­යන්ට පොලි­සි­යෙන් පාඩ­මක් | සිළුමිණ

රුසි­යන් තරු­ණි­යට අත­වර කර­න්නට ගිය තරු­ණ­යන්ට පොලි­සි­යෙන් පාඩ­මක්

ලොව ජන­ප්‍රි­යම සංචා­රක මාර්ගෝ­ප­දේ­ශක සඟ­රාව ලෙස සැල­කෙන 'ලෝන්ලි ප්ලැනට්' සඟ­රාව 2019 වස­රේදී ලොව සංචා­රය කිරී­මට හොඳම රට ලෙස නම් කළේ ශ්‍රී ලංකා­වයි. ඉන් සති කිහි­ප­ය­කට පසුව ට්‍රැව­ලෙ­මින්ග් (travel lemming.com) නම් ජන­ප්‍රිය වෙබ් අඩ­විය විසින් කරන ලද ඡන්ද විම­සී­ම­කදී ශ්‍රී ලංකාව හොඳම සංචා­රක ගම­නා­න්තය බවට පත් විය. උතුරු ඇමෙ­රි­කාව, පැසි­ෆික් කලා­පය, දකුණු ඇමෙ­රි­කාව, ඕස්ට්‍රේ­ලි­යාව, යුරෝ­පය, අප්‍රි­කාව, ආසි­යාව පාදක කර ගනි­මින් කළ එම මත විම­සු­මේදී ආසි­යාවේ හොඳම සංචා­රක ගම­නා­න්තය ලෙස ශ්‍රී ලංකාව තේරා ගැනී­මට කරුණු රැසක් ඉව­හල් වී තිබිණ. වන­ජී­වීන්, සුන්දර සහ ආක­ර්ෂ­ණීය වෙරළ තීර, සංස්කෘ­තිය, ඓති­හා­සික වටි­නා­කම, ස්වාභා­වික සුන්ද­ර­ත්වය යන කරු­ණු­ව­ලට අම­ත­රව මෙරට වැසි­යන් විදේ­ශි­ක­යන් කෙරෙහි දක්වන මිත්‍ර­ශී­ලී­ත්වය ද එහිදී සැල­කි­ල්ලට ගෙන තිබිණ.

ශ්‍රී ලාංකි­ක­යන්ගේ ආග­න්තුක සත්කා­රයේ අපූ­ර්ව­ත්වය ගැන ලොව පුරා එසේ ප්‍රච­ලිත වුවද විටින් විට ඊට හාත්ප­සින්ම වෙනස් පුවත් ද වාර්තා වේ. ඉකුත් සතියේ ද එවැනි පුව­තක් වාර්තා විය. ඒ, සිය මිතු­රන් සමඟ ගාලු­මු­ව­දොර පිටියේ ඇවි­දි­න්නට ආ රුසි­යානු ජාතික තරු­ණි­ය­කට ශ්‍රී ලාංකික තරු­ණ­යන් පිරි­සක් විසින් ලිංගික අඩ­න්තේ­ට්ටම් කිරී­මට උත්සාහ දැරී­මක් පිළි­බ­ඳ­වය. එහෙත් පොලි­සිය වහා ක්‍රියා­ත්මක වීම නිසා එම සිදු­වීමේ සැක­ක­රු­වන් නීතියේ රැහැ­නට හසු කර ගැනී­මට හැකි­යාව ලැබිණ.

රුසි­යානු ජාතික ඇන­ස්ටා­සියා ලතින්, සල්සා ඇතුළු නර්තන කලා­වන් ප්‍රගුණ කළ නිද­හස් නර්තන ශිල්පි­නි­යක ලෙස කට­යුතු කරන විසි­පස් හැවි­රිදි රූමත් තරු­ණි­යකි. ඇගේ පෙම්වතා සාරංග කසුන් ඩයස් නමැති ශ්‍රී ලාංකික තරු­ණයා ද නර්ත­න­වේ­දි­යකු සහ නර්තන පුහු­ණු­ක­රු­වකු ලෙස කට­යුතු කර­න්නෙකි. ඉකුත් ඉරිදා (5දා) හව­ස්ව­රුවේ ඇන­ස්ටා­සියා තම පෙම්වතා සහ තවත් මිතු­රන් කිහිප දෙනකු සමඟ ගාලු මුව­දො­රට පැමි­ණියේ කාර්ය බහුල ජිවිත රටා­වෙන් මඳ­කට මිදී විවේක සුව­යෙන් ගත කිරී­ම­ටය. එහෙත් ඔවු­නට මුහුණ දීමට සිදු­වූයේ නොසිතූ විරූ සිදු­වී­ම­ක­ටය. ඒ සිදු­වීම පිළි­බ­ඳව ඇන­ස්ටා­සි­යාගේ පෙම්වතා සාරංග කසුන් මෙසේ පැව­සීය.

“එදා හවස මම ඇන­ස්ටා­සි­යයි අපේ යාළුවෝ දෙන්නෙ­කුයි එක්ක හවස ගෝල්ෆේස් එකට ආවේ ටිකක් ඇවි­දි­න්නයි. අපි ගෝල්ෆේස් එකෙන් අයි­ස්ක්‍රීම් අර­ගෙන පහ­ළට ඇවි­ද­ගෙන ආවා. එත­කොට තර­මක් බීම­තින් හිටපු තරු­ණයෝ කිහිප දෙනෙක් ඇවිත් ඇන­ස්ටා­සි­යාගේ දේවල් ගැන එක එක දේවල් කියන්න ගත්තා. එයාට අත­වර කර­නවා, බල­හ­ත්කා­ර­කම් කර­නවා කියලා අසභ්‍ය විදි­හට විවිධ දේවල් කිය­මින් මට තර්ජ­නය කළා.” බීමත් තරු­ණ­යන්ගේ ඒ නොහි­ක්මුණු හැසි­රීම නොරිසි වූ කසුන් සිය පෙම්ව­තිය ද සමග ඔවුන් මඟ­හැර ඉදි­රි­යට ඇවිද ආවද තරු­ණයෝ ද දිගින් දිග­ටම ඔවුන් පසු­ප­සින් පැමි­ණි­යහ. ඉන් පසු මුහුණ දීමට සිදුවූ සිදු­වීම ඇන­ස්ටා­සියා සිහි­පත් කළේ තව­මත් පහ නොවූ තැති­ගැ­න්මෙනි.

“අපි ඔවුන්ව මඟ­හැ­රලා ආවත් ඔවුන් අපේ පස්සෙන්ම ආවා. ඔවුන් එක එක දේවල් කිව්වට ඒ මොන­වද කියලා මට තේරුණේ නැහැ. අවා­ස­නා­ව­කට මම සිංහල දන්නෙ නැහැ. ඒත් මගේ යාළු­වන්ගේ ප්‍රති­චා­ර­ව­ලින් මට තේරුණා ඔවුන් ඒ කියන්නෙ මං ගැන කියලා. ඔවුන් එහෙම එක එක දේවල් කිය කිය අපි පස්සෙන්ම ඇවිත් අපිත් එක්ක ගැටු­මක් ඇති­කර ගත්තා. මම හොඳ­ටම බය වුණා. ඔවුන් මගේ මිතු­රාට පහර දුන්නා. නමුත් කවු­රු­වත් අපේ උද­ව්වට ආවේ නැහැ. මොන­වද කරන්නේ කියලා මට හිතා­ගන්න බැරි­වුණා. එක­පා­ර­ටම තමයි මට මතක් වුණේ ඒක වීඩියෝ කරන්න.”

ඇන­ස්ටා­සියා ඔවුන්ගේ කල­හ­කාරී හැසි­රීම වීඩියෝ කරනු දුටු බීමත් තරු­ණයෝ එය ද වැළැ­ක්වී­මට උත්සාහ කළහ. ඇගේ මිතු­රන් සමඟ පොර බද­මින් නොස­රුප් වදන් පව­ස­මින් කල­හ­කාරී ලෙස හැසි­රුණු තරු­ණ­යන් පසුව එතැ­නින් පලා ගොස් තිබේ. එහෙත් තමා පත්වූ අප­හ­සු­තාව පිළි­බඳ ඇනෙ­ස්ටා­සියා සහ කසුන් එදි­නම කොටුව පොලිස් ස්ථාන­යට පැමි­ණි­ල්ලක් ද ඉදි­රි­පත් කළහ. තමා ඇතුළු මිතු­රන් මුහුණ දුන් සිදු­වීම පටි­ගත කළ වීඩියෝ පටය ඇන­ස්ටා­සියා අන්ත­ර්ජා­ල­යට මුදා හරින්නේ ඉන් අන­තු­රු­වය. ඒ, එම සිදු­වී­මට සම්බන්ධ වූවන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට සහාය වන ලෙස ඉල්ලී­මක් ද කර­මිනි.

සමාජ මාධ්‍ය තුළ සංස­ර­ණය වූ එම වීඩි­යෝව පොලිස් සංචා­රක කොට්ඨා­සයේ අධ්‍ය­ක්ෂ­ව­ර­යාගේ ඇස ගැටෙන්නේ ඒ් අනු­වය."අධ්‍ය­ක්ෂ­තුමා ඒ ගැන දැනුම් දුන් වහාම මම ඒ තරු­ණිය විසින් අන්ත­ර්ජා­ල­යට එක්කර තිබූ වීඩි­යෝවේ සඳ­හන් වූ ලින්ක් එක ඔස්සේ අදාළ තරු­ණි­යගේ ෆේස්බුක් ගිණු­මට පණි­වි­ඩ­යක් තබ­මින් ඉක්ම­නින් මා අම­තන ලෙස දැනුම් දුන්නා. ඒ අදාළ සිදු­වීම වූ දිනට පසු දිනයි. මගේ පණි­වි­ඩ­යෙන් විනාඩි 20ක් ඇතු­ළත එම තරු­ණිය මා ඇම­තුවා. මම ඇය සහ ඇගේ පෙම්වතා ඒ රාත්‍රි­යේ­දීම අපේ කාර්යා­ල­යට ගෙන්වා ගෙන සියලු තොර­තුරු ලබා ගත්තා. ඉන්පසු කොටුව පොලි­සිය මඟින් ඒ පිළි­බඳ විම­ර්ශන කඩි­න­මින් ආරම්භ කළා. "

එම විම­ර්ශ­න­වල ප්‍රති­ඵ­ල­යක් ලෙස සිද්ධිය සම්බ­න්ධ­යෙන් ඊට පසු දිනම (7දා) සැක­පිට පුද්ග­ල­යන් පස් දෙනකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට පොලි­සිය සමත් විය. එසේ අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් සියලු දෙනාම කොම්ප­ඤ්ඤ­වී­දිය ප්‍රදේ­ශයේ පදිංචි වයස අවු­රුදු 20ත් 25ත් අතර වයසේ පසු­වන පුද්ග­ල­යන් බව මූලික පරී­ක්ෂ­ණ­ව­ලදී අනා­ව­ර­ණය වී තිබේ. සැක­ක­රු­වන් එදි­නම කොළඹ කොටුව මහෙ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කළ අතර එහිදී ඔවුන් පස් දෙනා 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධ­නා­ගාර ගත කරන ලෙසත් හඳුනා ගැනීමේ පෙරෙ­ට්ටු­ව­කට ඉදි­රි­පත් කරන ලෙසත් කොළඹ කොටුව මහේ­ස්ත්‍රාත් රංග දිසා­නා­යක නියෝග කළේය. මුහුණ ආවා­රණ සහි­තව අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කර තිබූ සැක­ක­රු­වන් පස් දෙනා­ගෙන් කිහිප දෙනකු වෘත්ති­යෙන් පෙදෙ­රේ­රු­වන් බව ද පොලි­සිය විසින් අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර තිබිණ. එමෙන්ම සිද්ධිය වන අව­ස්ථාවේ ඔවුන් බීම­තින් සිටි බව ද හෙළි වී තිබේ. සිද්ධිය සම්බ­න්ධ­යෙන් තවත් සැක­ක­රු­වන් කිහිප දෙනකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට නිය­මිත අතර 10 වැනිදා එම නඩුව යළි කැඳ­විණ.

Comments