රටම වනසන “ නාකො­ටික් ” කුඩු සෙල්ලම් | සිළුමිණ

රටම වනසන “ නාකො­ටික් ” කුඩු සෙල්ලම්

             වමතින් කුඩු අල්ලා දකු­ණ­තින් කුඩු වික්ක නාෙකා­ටික් කණ්ඩායම
වමතින් කුඩු අල්ලා දකු­ණ­තින් කුඩු වික්ක නාෙකා­ටික් කණ්ඩායම

සු­ගිය අඟ­හ­රු­වාදා (07) පෙර­වරු 6.30ට පොලිස් මාධ්‍ය කොට්ඨා­සය මඟින් ඡායා­රූ­ප­යක් සමඟ මාධ්‍ය නිවේ­ද­න­යක් නිකුත් කෙරිණි. එහි සඳ­හන් වූයේ මේ වන විට සැවොම දන්නා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශයේ සිදුව ඇති මත් ජාවා­රම් සම්බ­න්ධ­යෙන් එම කාර්යාං­ශයේ රාජ­කාරි කරනු ලැබ සැඟව සිටින පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යකු අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විම­ර්ශන කරන බවත් ඊට මහ­ජන සහාය පතන බවයි. 49 හැවි­රිදි වෙහෙ­ර­වත්ත කංකා­න­ම­ලාගේ සමන් වසන්ත කුමාර නමැති අංක 189, කිරි­කත්ත, වැලි­වේ­රිය ලිපි­නයේ පදිංචි සැක­කාර පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා පිළි­බ­ඳව යම් තොර­තු­රක් වෙතොත් සඳ­හන් කර තිබූ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ දුර­ක­ථන අංක කීප­ය­කට දන්වන ලෙසද මහ­ජ­න­තා­ව­ගෙන් ඉල්ලී­මක් කෙරිණි.

 

එම මාධ්‍ය නිවේ­ද­නය සමාජ මාධ්‍ය ඇතුළු වෙබ් අඩවි ඔස්සෙ පළවී ගත­වූයේ සුළු වේලා­වකි. මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශයේ මත් ජාවා­ර­ම්ක­රු­වන් පිළි­බ­ඳව විම­ර්ශ­නය සිදු­ක­රන සහ­කාර පොලිස් අධි­කාරි මෙරිල් රන්ජන් ළමා­හේ­වාට දුර­ක­ථන ඇමැ­තු­මක් ලැබී තිබිණි. ඒ පොලිස් පරී­ක්ෂක සමන් වසන්ත කුමාර නමැති අදාළ සැක­ක­රු­වා­ගෙනි. ඔහු පවසා ඇත්තෙ අදාළ විම­ර්ශන සඳහා තමා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැමිණ බාර වන බවයි.

ඒ අනුව පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා විසින් කුරු­ණෑ­ගල ප්‍රදේ­ශයේ තම­නට අයත් නිවෙ­සක දින කීප­යක් සැඟව සිට පසු­ගිය 07 වැනිදා අලු­යම මඟී ප්‍රවා­හන බස් රථ­ය­කින් පැමිණ තිබුණේ කොළඹ 01 නව මහ­ලේ­කම් ගොඩ­නැ­ඟිල්ලෙ සිවු­වන මහලේ පිහිටි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව කරා පැමි­ණීමේ අර­මු­ණෙනි.එහෙත් ඔහු කඩ­ව­තදී බස­යෙන් බැස තිබිණි. අන­තු­රුව කඩ­වත නුවර පාරේ ඇල්දෙ­නිය ප්‍රදේ­ශයේ සිටි­යදී ඔහු හමුවී ඇත්තෙ කඩ­වත පොලි­සියේ ජංගම රථ­ය­ටයි. එකී නිල­ධා­රින් ඔහු පිළි­බ­ඳව සුප­රී­ක්ෂා­කාරි වී ඇත්තෙ විශාල ගම­න්මලු දෙකක්ද අතැ­තිව සිටින එම පුද්ග­ල­යාගේ හැසි­රීමේ අස­මා­න­තාව නිසා­වෙනි. කඳුළු සල­මින් දුක්මු­සුව සිටි සමන් පොලි­සි­යට පවසා තිබුණේ තමා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශයේ චෝදනා එල්ලවී සිටින පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා බවයි.

එසැ­ණින් පොලිස් නිල­ධා­රින් විසින් ඔහුව කඩ­වත පොලි­සි­යට රැගෙන යෑමෙන් පසු අත්අ­ඩං­ගු­වට ගැනිණි. අන­තු­රුව කඩ­වත පොලි­සිය විසින් පොලිස් පරී­ක්ෂක සමන්ව පෑලි­ය­ගොඩ නියෝජ්‍ය පොලි­ස්පති කාර්යා­ල­යට රැගෙන ගොස් එහිදී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට බාර දීමට කට­යුතු කෙරිණි. ඒ අනුව සහ­කාර පොලිස් අධි­කාරි මෙරිල් රංජන් ළමා­හේවා ඇතුළු කණ්ඩා­යම නියෝජ්‍ය පොලි­ස්පති කාර්යා­ල­යට පැමිණ සමන්ව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු බාර­යට ගෙන රැගෙන ගොස් තිබු­ණේය.

කුඩු ජාවා­රම් කළ නාකො­ටික් කණ්ඩායමේ ප්‍රධානියා
පොලිස් පරී­ක්‍ෂක  සමන් වසන්ත කුමාර

කලෙක සිටම මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශයේ ගුවන් තොටු­පොළ ඒක­කයේ ස්ථානා­ධි­ප­ති­ව­රයා ලෙස කට­යුතු කළ වැලි­වේ­රියේ පදිං­චි­ක­රු­වකු වන සමන් දෙදරු පියෙකි. දැනට අනා­ව­ර­ණය වන පරිදි සමන්ට මෑත කාලයේ බොහෝ සේ ජාවා­ර­ම්කාර අප­රා­ධ­ක­රු­වන් සමඟ සබ­ඳතා තිබී ඇති බවයි. ඒ අනුව ඔහුට සිය තොර­තු­රු­ක­රු­ව­කු­ගෙන් ලැබුණු තොර­තු­රක් මත පසු­ගිය අප්‍රේල් මාසයේ මත්ද්‍රව්‍ය වැට­ලී­ම­කට සූදා­නම් වී තිබේ. ඒ කොරෝනා වසං­ග­තය උත්ස­න්න­වම තිබූ මොහො­තක මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශයේ ප්‍රධාන කාර්යා­ලයේ විම­ර්ශන ඒක­කයේ උප­පො­ලිස් පරී­ක්ෂක උදාර චතු­රංග ඇතුළු නිල­ධා­රින් සම­ඟිනි. වැට­ලීම කර ඇත්තෙ දකුණු මුහුදු කලා­පයේ ජාත්‍ය­න්තර මුහුදු සීමා­වේදී බවට අනා­ව­ර­ණය වේ. එකී වැට­ලී­මෙන් අත්අ­ඩං­ගු­වට පත් හෙරො­යින් කිලෝ­ග්‍රෑම් 243ක්

සමඟ ගිනි අවි හයක්ද අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. පසුව ඉන් හෙරොයින් කිලෝ­ග්‍රෑම් 43ක ප්‍රමා­ණ­යක් ඇතු­ළුව ගිනි­අවි පහක් නැව­තත් ජාවා­ර­ම්ක­රු­ව­න්ටම විකි­ණීමේ සියලු සැලැ­සුම් සකස් කළ ප්‍රධාන පුද්ග­ලයා සමන් බවට සැලවේ. මාක­ඳුරේ මධුෂ්ගේ හිත­ව­තෙක් වන දැනට ඩුබා­යිහි වෙසෙන ගිහාන් ෆොන්සේකා සමඟ මෙන්ම විදේ­ශ­යන්හි සිටින මෙරට ප්‍රධාන පෙළේ මත් ජාවා­ර­ම්ක­රු­වන් රැසක් සම­ඟද මෙකී පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යාට කලෙක සිටම සබ­ඳතා තිබී ඇති බවද අනා­ව­ර­ණය වේ.

එලෙස සමන්ට තොර­තු­රු­ක­රු­ව­කු­ගෙන් ලැබුණු තොර­තු­රක් මත අප්‍රේල් මාස­යේදී ගැඹුරු මුහු­දට ගොස් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තෙ මර­ණීය දණ්ඩ­නය හිමිව සිටින වෙලේ සුදාගේ මෙහෙ­ය­වීම මත තවත් මරණ දණ්ඩ­නය හිමිව සිටින වෙලේ සුදාගේ සමී­ප­ත­ම­යෙක් වන කැමි­ලස් පිල්ලෙ නමැති ජාවා­ර­ම්ක­රුවා විසින් මෙර­ටට ගෙන්වූ මත්ද්‍රව්‍ය තොග­යක් බවට සැල වේ. එම මත්ද්‍රව්‍ය තොගය අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තෙ ගිහාන් ෆොන්සේ­කා­ගේද මෙහෙ­ය­වීම මතයි. පසුව මාතර සහ බළ­පි­ටියේ ආර­ක්ෂක නිව­ස්න­වල මාස­යක පමණ කාල­යක් එම මත්ද්‍රව්‍ය තොගය තබා­ගෙන සහල් උර­ව­ලට පැකට් කර පසුව ගිහාන් පොන්සේ­කාගේ මෙරට සිටින මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන්ට කිලෝ­ග්‍රෑම් 43ක ප්‍රමා­ණ­යක් ප්‍රවා­හ­නය කර­මින් බෙදා­හැර ඇත්තේද මෙකී ජාවා­ර­ම්ක­රු­වන් විසින්ම බවට සැල වේ. ඔවුහු මෙකී ජාවා­රමේ උපයා ගත් මුදල කෝටි ගණ­නක් බවට හෙළි වේ. අන­තු­රුව ඉතිරි මත්ද්‍රව්‍ය තොගය රාගම, නුග­ග­හ­වත්ත ප්‍රදේ­ශ­යේදී අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණේ තවත් මෙරට ප්‍රධාන පෙලේ මත් ජාවා­ර­ම්ක­රු­වකු වන සිද්දික් විසින් මෙර­ටට ගෙන්වා කොස්ගොඩ තාර­කට ලබා­දුන් මත්ද්‍රව්‍ය තොග­යක් ලෙසිනි. එම කතා­න්ද­රය මාධ්‍ය ඔස්සෙ ඒ දින­වල පතුරු ගසද්දී සැබෑ කතා­න්ද­රය එළි­යට ආවේ ටයිල් චමින්ද අත්අ­ඩං­ගු­වට ගැනී­මත් සමඟ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිල­ධා­රින්ගේ හෙළුව අනා­ව­ර­ණය වීමත් සම­ඟිනි.

මේ වන විට මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ 300ක් පමණ වන නිල­ධා­රින් අතු­රින් කිහිප දෙනෙක් වන මෙකී පිරිස පොලිස් අර­මු­ද­ලෙන් ලක්ෂ ගණ­නින් මුදල් ඇතුළු සියලු වර­දාන වර­ප්‍ර­සාද ගරු සම්මාන ලබ­මින් කර ඇති ජාවා­රම්හි තොර­තුරු මේ වන විට එකි­නෙක එළි­යට එමින් තිබේ. ඒ අනුව දැනට මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ පොලිස් පරී­ක්ෂ­ක­ව­රුන් දෙදෙ­නෙක් වන රාගම පදිංචි විම­ල­සේ­නගේ ලය­නල්, වැලි­වේ­රියේ පදිංචි සමන් වසන්ත කුමාර ඇතුළු උප­පො­ලිස් පරි­ක්ෂ­ක­ව­රුන් තිදෙ­නෙක් වන මිනු­ව­න්ගොඩ උදාර චතු­රංග, කළු­තර නාගොඩ ගයාන් තරංග, ගන්තුන වෙසෙන අතුල ජයන්ත සමඟ සැර­ය­න්ව­රුන් පස්දෙ­නෙක් වන මාලබේ චමින්ද ලක්ෂාන්, කෑගල්ලෙ සමන් කුමාර, පාදුක්කෙ විමල ප්‍රසාද්, මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ නඩු භාණ්ඩ ගබ­ඩාව බාරව සිටි මහව දළ­දා­ගම ධනුෂ්ක, කර­න්දෙ­ණියෙ විසූ වීර­සිංහ යන නිල­ධා­රින් සමඟ පොලිස් කොස්තා­ප­ල්ව­රුන් අට දෙනෙක් වන අත්අ­ඩං­ගු­වට පත්ව සිටී. එලෙස අත්අ­ඩං­ගුවේ පසු­වන පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වන්න පාණ­දුර අළු­බෝ­මුල්ලෙ රත්නා­යක, දිවු­ල­පි­ටියෙ ප්‍රියං­කර ජය­සේන, පන්නි­පි­ටියෙ වෙසෙන රුවන් පුෂ්ප­කු­මාර, බිංගි­රියෙ අසංක රතු­ගම, තිර­ප්පනේ සමීර ප්‍රදීප්, කිරි­ඳි­වැල ලක්ෂාන් සමීර, ගැට­ලාව, කොත­වැව ලලිත් ජය­ව­ර්ධන සහ පසු­ගිය අඟ­හ­රු­වාදා රාග­මදී අත්අ­ඩං­ගු­වට පත් දිනේෂ් නිර්ම­ලයි. ඒ අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිල­ධා­රින් 18 දෙනෙක් ඇතු­ළුව මෙකී ජාවා­ර­ම්ව­ලට සම්බන්ධ තවත් සිවිල් වැසි­යන් තිදෙ­නෙක් සමඟ 21ක් දෙනෙක් මේ වන විට අත්අ­ඩං­ගුවේ පසුවේ. එම සිවිල් වැසි­යන් අතර සැර­යන් වීර­සිං­හගේ ඥාති සහෝ­ද­රයා වන මත්ද්‍රව්‍ය කාර්යාං­ශ­යට කුලී පද­නම මත වෑන් රථ­යක් යොද­ව­මින් එම රථ­යෙන් ජාවා­ර­ම්ක­රු­වන් සමඟ මත්ද්‍රව්‍ය ප්‍රවා­හ­නය කළ කර­න්දෙ­ණියේ පුද්ග­ලයා මෙන්ම දකුණු මුහුදු කලා­ප­යේදී මත්ද්‍රව්‍ය පිළි­බ­ඳව ඔත්තුව දුන් පුද්ග­ලයා සහ සමන් ඇතුළු කණ්ඩා­යම මහ මුහු­දට ගිය බෝට්ටු­කරු වේ. එම බෝට්ටු­ක­රු­ටද මෙකී ජාවා­ර­ම්ක­රු­වන් විසින් රුපි­යල් කෝටි ගණ­නක මුද­ලක් දී ඇති බව­ටද වාර්තා වේ.

මෙකී ජාවා­රම්හි ප්‍රධා­න­තම පුද්ග­ලයා වන සමන් ඇතුළු පස්දෙ­නා­ගෙන් පසු­ගිය 27 වැනිදා මුලින්ම අත්අ­ඩං­ගු­වට ගත් සිවු­දෙනා ගෙන් අනා­ව­ර­ණය වූ කරුණු අනුව අත්අ­ඩං­ගු­වට පත් 12 දෙනා පසු­ගිය අට වැනිදා කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් ලංකා ජය­රත්න ඉදි­රි­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් මෙකී ජාවා­ර­ම්ක­රු­වන්ගේ බොහෝ තොර­තුරු මහේ­ස්ත්‍රා­ත්ව­රිය ඉදි­රියේ අනා­ව­ර­ණය කළේය.

ඒ අනුව අට­වැ­නිදා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ සැක­ක­රු­ව­න්ගෙන් හත්වන සැක­කරු වන පොලිස් කොස්තා­පල් රුවන් පුෂ්ප­කු­මාර කොට්ටාව අධි­වේගී මාර්ග පිවි­සුම ආස­න්න­යෙන් රුපි­යල් ලක්ෂ සිය­යක මුද­ල­කට මිලදී ගත් දේප­ළක් පිළි­බ­ඳව මෙන්ම තවත් සැක­ක­රු­වකු ඒ ආස­න්න­යෙන්ම ලක්ෂ හැත්තෑ­වක මුද­ල­කට මිලදී ගත් ඉඩ­මක් පිළි­බ­ඳ­වද හෙළි­ද­රව් විණි.

ඊට අම­ත­රව මෙකී ජාවා­ර­ම්කාර නිල­ධා­රින් විසින් සිදු­කර ඇති මත්ද්‍රව්‍ය ජාවා­ර­මට අම­තර තවත් ජාවා­ර­මක් පිළි­බ­ඳ­වද අනා­ව­ර­ණය විණි. ඒ ව්‍යාජ මුදල් නෝට්ටු ජාවා­ර­මක් පිළි­බ­ඳ­වයි. ඒ, එදින දහ­වැනි සැක­කරු වූ ලක්ෂාන් සමීර සන්ත­කයේ තිබී ව්‍යාජ රුපි­යල් පන්ද­හසේ නෝට්ටු 31ක් සහ එකො­ළො­ස්වන සැක­කරු වූ ලලිත් ජය­ව­ර්ධන සන්ත­කයේ තිබී තවත් ව්‍යාජ පන්ද­හසේ නෝට්ටු­වක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශන නිල­ධා­රින්ට හමු­වී­මත් සම­ඟිනි. තවද මෙකී ජාවා­ර­ම්ක­රු­වන් සන්ත­කයේ තිබී දරුණු ගණයේ මත්ද්‍රව්‍ය වන කොකේන් සහ හෙරො­යින් ඇතුළු ටී 56 ජීව උණ්ඩද හමුවී තිබේ.

මෙකී ජාවා­ර­ම්ක­රු­ව­න්ගෙන් දැනට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ රඳ­වා­ගෙන ප්‍රශ්න කරන උප­පො­ලිස් පරී­ක්ෂක උදාර චතු­රංග සහ සිවිල් පුද්ග­ල­යන් තිදෙනා ඇතුළු ජාවා­ර­ම්ක­රු­වන් 16 දෙනෙ­කුට අයත් ලක්ෂ 46ක පමණ මුදල් කන්ද­රා­වක් සහිත බැංකු ගිණුම් 43ක මුදල් ගනු­දෙනු කිරීම අත්හි­ටු­වී­ම­ටද අධි­ක­ර­ණය නියෝග කර තිබිණි. එසේම අත්අඩංගුවේ පසුවන උදාරට සහ නිලධාරියකුට අයත් ලොරි රථ ඇතුළු වාහන හතක්ද පසුගිය බ්‍රහස්පතින්දා මීරිගම ස්ථාන කීපයක තිබී ලැබුණු තොරතුරක් මත සොයා ගැනීමට පොලිසියට හැකිවිය.

Comments