යල මහ කන්න අතරමැද අතිරේක වගාවත් හරිහරියට කරන අම්පාර ගොවියෝ | Page 2 | සිළුමිණ

යල මහ කන්න අතරමැද අතිරේක වගාවත් හරිහරියට කරන අම්පාර ගොවියෝ

 

විදේශීය රටවල ගොවීන් පෝසත් කරමින් රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වීම සීමා කර විදේශීය වත්කම් රැකගනිමින් ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවගේ ආදායම ඉහළ නැංවීමේ අරමුණ ඉටු කර ගැනීමට රජය දරන උත්සාහයට ලබා දෙන සහයෝගය නැගෙනහිර පළාත් සභාවේ අම්පාර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා විසින් ආරම්භ කර ඇත. කෝටි ගණන් විදේශ විනිමය වැඩ කරමින් මෙරටට ගෙන්වන කව්පි, මුං ඇට, රටකජු, බඩඉරිගු මෙම ප්‍ර දේශයේ ජනතාව ලවා නිපදවා ගැනීමට නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා විසින් මූලික පියවර ගෙන ඇත. මෙම වැඩ පිළිවෙල යටතේ ඉදිරි මහ කන්නයට පසු අතරමැදි කන්නයේ දී වගා කිරීම සඳහා කව්පි බීජ නිෂ්පාදනය කරනු ලැබූ ලාහුගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගොවීන් විසින් රු. ලක්ෂ 150කට වැඩි මුදලක් උපයා ගෙන ඇත.

ඉගිනියාගල සේනානායක සමුද්‍රය ඇතුළු ලොකු කුඩා ජලාශ, මහවැලි ජලාශ, ගල්ඔය ගග සහ ඇල දොළවල් මගින් දියවර ලබමින් ලක්ෂ 02ක පමණ භූමි ප්‍රමාණය ද යල මහ කන්න දෙක වාරිමාර්ග පහසුකම් ඇති ප්‍රදේශවල ගොවීහු වී වගා කරති. මීට අමතරව තුන්වන කන්නය මුං, කව්පි, බඩඉරිගු සහ එළවළු වගාවට යොමු වන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන් යොමු කර ඇතත් එය අසාර්ථක මට්ටමක පවතී. ප්‍රධාන ජලාශවල ජලය අඩු වැඩි වීම ද තුන්වන කන්නය සාර්ථක වීමට බලපා ඇති හේතුවක් වෙයි.

කොරෝනා වසංගතයට මුහු‍ණ දෙමින් නොයෙක් බාධක මැද රටට අවශ්‍ය කව්පි බීජ කිලෝ 50000ක් නිපදවා ගැනීමේ කටයුතුවලට අතගැසුවේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක (නැගෙනහිර පළාත්) ඩී.එම්.එස්.බී. දිසානායක ය. කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයාගේ අනුග්‍රහය හා සහයෝගය පළාත් අධ්‍යක්ෂකවරයාට ලැබිණි. නැගෙනහිර පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක ඩී.එම්.එස්.බී. දිසානායකගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ මෙවැන්නකි. ‘‘දැනට වගා කර ඇති කුඹුරුවල නියර වගා සඳහා අම්පාර මහ දිසාපතිතුමාගේ උපදෙස් අනුව බණ්ඩක්කා, බුෂිටා, හවරි මෑ, තම්පලා, නිවිති, ග්රෑම් 10 ඇට පැකට් 5000ක් ද සෞභාග්‍යා වැඩසටහන යටතේ මිරිස් මාළුමිරිස්, බටු පැළ වර්ග 20000ක් ද ගෙවතු වගාව සදහා නොමිලේ බෙදා දෙනු ලැබුවා.

ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බීජ නිෂ්පාදන සමිති 03ක් ආරම්භ කර මෙම කටයුත්ත සඳහා මුල පිරුවා. කාවන්තිස්ස කව්පි බීජ නිෂ්පාදන සමිතියේ සභාපති කේ.පී. නදුන් සුරේෂ් මෙසේ පවසයි ‘‘මෙම ප්‍රදේශයේ අපට වගා කිරීමට ඉඩකඩ ඇතත් වතුර නැහැ. යල කන්නයේ දී ගම හරහා මුහුදට ගලා එන වතුර ලබා ගනිමින් අතිරේක බෝග වගාව සහ එළවළු වගාව මහ කන්නයේ දී පමණක් සුළු වශයෙන් වී වගාව සිදු කරනවා. පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක තුමා විසින් කව්පි බීජ නිෂ්පාදන සමිති ආරම්භ කිරීමෙන් පසු ගමේ ගොවියන් විසින් අක්කර 600ක පමණ භූමියක කව්පි වගාව සිදු කරනු ලැබ්වා. සමිති සාමාජිකයන් 80ක් 90ක් මෙන්ම ගමේ අනෙකුත් අය ද මෙම වගාවට යොමු වී සිටිනවා.

ලාහුගල ප්‍රා දේශීය ලේකම් සදරුවන් අනුරුද්ධ පියදාස පැවසුවේ මෙවැන්නකි. "පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කව්පි බීජ නිපදවීමේ වැඩසටහනට අමතරව බුෂිටා බීජ කිලෝ 50000ක් රතු ළූණු, බී ළූණූ නිෂ්පාදන වැඩසටහනක් ආරම්භ කිරීමට සූදානම්ව සිටිනවා. බුෂිටා බීජ නිපදවීමට ඉදිරි දිනවල දී කටයුතු කරන අතර රතු ළූණු සහ බී ළූණූ වගාවන් ඊළඟ කන්නයේ දි ආරම්භ කිරීමට කටයුතු පිළියෙල කරගෙන යනවා. රජයේ සෞභාග්‍යා වැඩසටහන යටතේ මෙම කටයුතු ආරම්භ කර රටට අවශ්‍ය අතිරේක ආහාර ද්‍රව්‍ය නිපදවා ගැනීමට මෙම ප්‍රදේශයෙන් ගොවීන්ට අවස්ථාව ඇතැයි අපේ විශ්වාසයයි. වී වගාවට අවශ්‍ය තරම් ජලය නැතත් අතුරු බෝග වගාවන් සඳහා ප්‍රයෝජනයට ගැනීමට තරම් ජල ප්‍රමාණයක් දැනට ගොවීන් විසින් වතුර පොම්ප යොදා ලබා ගනිමින් වගා කටයුතු සිදු කරනවා.

අම්පාර මහ දිසාපති ඩී.එම්.එල්. බණ්ඩාරනායක අප හා මෙසේ පැවසීය." ශ්‍රී ලංකාවේ වී අස්වැන්නෙන් පහෙන් පංගුවක් සපයා රටට බත සපයන අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් විසින් රටට අවශ්‍ය මුං, කව්පි, බඩඉරිගු, රටකජු වැනි අතිරේක බෝග නිෂ්පාදනය කිරීමටද රජයේ උපදෙස් අනුව අප විසින් කටයුතු කරගෙන යනු ලබනවා. මෙම නිෂ්පාදන විදේශීය රටවලින් ගෙන ඒමේදී එම රටවලට ඇදී එන විශාල ධනස්කන්දයක් මෙරට ගොවීන්ට ලබා දීමට සහ ශ්‍රී ලංකාවේ විදේශීය වත්කම් ඉතිරි කර ගැනීමටත් මේ නිසා හැකියාව ලැබෙනවා. පානම්පත්තුව තුළ දැනට සිදු කරෙගන යන කව්පි බීජ නිෂ්පාදනයට අමතරව දැනට මෙම දිස්ත්‍රික්කය තුළ වී වගා කර ඇති කුඹුරු නියර වල අතිරේක බෝග වගාව, කළුගල්ඔය ජලාශයට යාබදව ඇති වාරි පහසුකම් නැති ඉඩම් සඳහා යොදා ගැනීම ගොවි කණ්ඩායම් 30 ක් සම්බන්ධ කර සමූහ ගොවිපළක් වශයෙන් අතිරේක බෝග වගාවක් සිදු කිරීමටත් ගල්ඔය වැවිලි සමාගමේ අලුතින් උක් වගා කරන ඉඩම් වල පරතරය තුළ අතිරේක බෝග වගා කිරීමට ද කටයුතු කර ඇත.

දැනට වී වගාවන් සිදු කර ඇති යල කන්නයේ අවසානයේ දී මහ කන්නය ආරම්භ කරන අතරතුර කාල සීමාවේ දී කුඹුරු වල මුං වගා කිරීම සඳහා දැනට කටයුතු සූදානම් කර සිටිනවා. නිෂ්පාදනය කරනු ලබන ධාන්‍ය ගබඩා කිරීම සදහා ගබඩා පහසුකම් සහ ඒවා යොදාගෙන කර්මාන්ත ආරම්භ කිරීමේ අවශ්‍යතාව පවතිනවා. ධාන්‍ය ගබඩා කිරීම සඳහා ගබඩාවක් ඉදි කර දීමට ආධාර දෙන විදේශීය කණ්ඩායමක් සූදානම්ව සිටිනවා. මේ අතර තුර ආයෝජකයකු මගින් ධාන්‍ය පිටිකර නිෂ්පාදනයක් ආරම්භ කිරීමට කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට සූදානම් කර තිබෙනවා. නිෂ්පාදනය කරනු ලබන අතිරේක ‍බෝග අලෙවි කර ගැනීමට සිදු වන අපහසුතා වළවක්වා ගොවීන් තව තවත් අතිරේක බෝග වගාවලට උනන්දු කරවීමට හැකියාව මේ නිසා ලැබෙනවා යැයිද මහ දිසාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

 

Comments