මින්නේරිය වන උයනේ නිවුන් අලි සුර­තල් | සිළුමිණ

මින්නේරිය වන උයනේ නිවුන් අලි සුර­තල්

ති­හා­සයේ මුල්ම වරට කෙනෙ­රක් නිවුන් අලි දරු උප­තක් සිදු කර තිබේ. පසු­ගිය 06 වැනිදා මේ සොයා­ගැ­නීම කළ බව වාර්තා කළේ මින්නේ­රිය ජාතික වනෝ­ද්‍යා­නය බාර භාතිය මඩු­ගල්ල විසිනි. භාතිය මඩු­ගල්ල මේ විරල නිවුන් අලි පැට­වුන් ගැන අපට කියන්නේ මෙවැනි කතා­වකි.“මේ පැටවු දෙන්නා අපට වාර්තා වෙන්න පටන් ගන්නෙ පසු­ගිය මාසෙ 15 වැනිදා විතර ඉඳලා. මේ වෙන­කොට අප ඒ පැටවු දෙදෙනා දිග­ටම නිරී­ක්ෂ­ණය කර­නවා. තවම සති තුනක් ඇති ඔවුන්ට. එම පැටවු දෙදෙනා ගැන අලින්ගෙ චර්යා රටා සම්බ­න්ධව විද්‍යා­ත්මක අධ්‍ය­ය­න­යක යෙදෙන ආචාර්ය සුමිත් පිල­පි­ටිය ගෙ අව­ධා­න­යට යොමු වුණා. ඔහු හිටපු වන­ව­ජීවී අධ්‍යක්ෂ ජන­රාල් වර­යෙක්. මේ වන­විට එතුමා අදාළ මූලික විද්‍යා­ත්මක නිරී­ක්ෂණ කරලා තිය­නවා. ඒ නිරී­ක්ෂණ ප්‍රකා­ර­වයි කියැ­වෙන්නෙ මේ නිවුන් අලි උප­තක් කියලා.“ භාතිය මඩු­ගල්ල පැහැ­දිලි කරන්නේ එසේය. එසේ­නම් වාර්තා වන ආකා­ර­යට මේ ලංකාවේ වාර්තා වන මුල්ම නිවුන් අලි උපත විය හැකිය.

මේ විශිෂ්ට නිරී­ක්ෂ­ණය කළ ආචාර්ය සුමිත් පිල­පි­ටිය මේ නිවුන් අලි පැට­වුන් සම්බ­න්ධව නිග­ම­න­යට පැමිණි ආකා­රය විස්තර කළේය. “මම මේ අලි­ග­හ­ණය නිරී­ක්ෂ­ණය කර­නවා. ඔවුන්ගේ චර්යා අධ්‍ය­ය­නය කර­නවා. මට නිරී­ක්ෂ­ණය වුණා මේ අලි පැටවු දෙන්නව. ඔවුන් එකම වයස; එකම හැඩ­රුව. එකම ප්‍රමා­ණය. මුලින්ම නිරී­ක්ෂ­ණය වෙන­කොට මේ ළදරු පැටවු දෙන්නට වයස සති­යක් ඇති. මම දැක්කා ඔවුන් එකම අම්මා ළඟ හැසි­රෙ­නවා. එකම අම්ම­ගෙන් කිරි බොනවා.“

"සාමා­න්‍ය­යෙන් කෙනෙ­රක් තමන්ගෙ පැටි­යට හැර වෙන පැටි­ය­කුට කිරි දෙන්නෙ නෑ. ඒත් අති­ශ­යින් විර­ලව සම­හර අව­ස්ථා­ව­ලදි තමන්ගෙ සමී­ප­තම සබ­ඳතා තියන පැටි­ය­කුට කිරි ටිකක් දෙන්න පුළු­වන්. අපි පැටවු නිරී­ක්ෂ­ණය කරන්නෙ දුරින් ඉඳන්. ඉතින් මට අවශ්‍ය වුණා මේ කෙනෙර විසින් පැටවු දෙන්න­ටම කිරි දෙන­වද, කිරි දෙද්දි එක් පැටි­යෙක් වෙන් වෙන­වද කියලා බලන්න. තන පුඩු දෙකෙන් එක්ව­රම කිරි බොනවා නම් මගේ නිරී­ක්ෂ­ණය සෑහෙන දුරට නිවැ­රදි වෙනවා. ඉතින් එය නිරී­ක්ෂ­ණය කරන්න මා උත්සාහ කළා. මා දුටුවා ඒ පැටවු දෙන්නා එක්ව­රම මවගෙ තන පුඩු දෙකෙන් කිරි උරා බොනවා.“

මේ නිරී­ක්ෂ­ණත් එක්ක මා ලෝකයේ නිවුන් අලි උපත් සම්බ­න්ධව කර ඇති විද්‍යා­ත්මක පරී­ක්ෂණ පත්‍රිකා අධ්‍ය­ය­නය කළා. ඔවුන් බාහිර නිරී­ක්ෂණ අනුව නිවුන් අලි උපත් සාධ­නය කරන ආකා­රය විම­ර්ශ­නය කළා. ලෝකයේ හොඳම නිරී­ක්ෂිත අලි ගහ­ණය ඉන්නේ කෙන්යාවේ ඇන්ඩ්‍රියා ජාතික වනෝ­ද්‍යා­නයේ. අවු­රුදු 45ක් තිස්සෙ හය­සි­ය­ය­කට ආසන්න වූ ඒ අලි ගහ­ණයේ සෑම සතෙක්ම ඉතාම හොඳින් නිරී­ක්ෂ­ණය වෙනවා. ඔවුන් එකි­නෙ­කාව නම් කරලා තිය­නවා. උප­තක් සිදු­වුණ හැටියෙ වාර්තා වෙනවා. මෙම වනෝ­ද්‍යා­නයේ මේ වසර හත­ළිස් පහට නිවුන් අලි උපත් තුනක් සිදු­වෙලා තිය­නවා. මේ නිරී­ක්ෂණ එක්ක දශක තුනක් තිස්සේ එම වනෝ­ද්‍යා­නයේ වැඩ කරන ජ්‍යෙෂ්ඨම විද්‍යා­ඥ­යෙක් මගෙ සමීප මිත්‍ර­යෙක්... ඔවුන්ගේ වාර්තා නිරී­ක්ෂ­ණය කරන අතර මම මගේ මිත්‍රයා සමඟ මගේ නිරී­ක්ෂණ බෙදා ගත්තා. ඔවුන් තහ­වුරු කර­නවා මේ නිවුන් උප­තක් කියලා.“

“ හැබැයි මෙය පැහැ­දි­ලිව කිව යුතුයි. ලංකාවෙ මින් පෙර නිවුන් අලි උපත් සිදු­වෙලා තිබෙන්න පුළු­වන්. මට වුණත් මෙය වාර්තා වෙන්නෙ අලි ගහ­ණය ගැන දැඩි නිරී­ක්ෂ­ණ­ය­කින් යුතුව විද්‍යා­ත්මක අධ්‍ය­ය­න­යක නිරත වෙලා හිටිය නිසා. මේ ලංකාවෙ වාර්තා­වන මුල්ම නිවුන් අලි උපත. මෙය තවම නිරී­ක්ෂ­ණය කර එළ­ඹුණු නිග­ම­න­යක් පම­ණයි. එය විද්‍යා­ත්ම­කව තහ­වුරු කිරී­මට ඩී.එන්.ඒ පරී­ක්ෂ­ණ­යක් කළ යුතුයි. එය ඉදි­රියේ දී සිදු වේවි." අචාර්ය සුමිත් පිල­පි­ටිය කියන්නේ එසේය.

වෛද්‍ය තාරක ප්‍රසාද් වන­ජීවි සෞඛ්‍ය අධ්‍ය­ක්ෂ­ව­ර­යාය. ඔහුට අනුව ළදරු පැට­වුන් දැනට අඛණ්ඩ නිරී­ක්ෂ­ණ­ය­කට ලක්ව ඇත. ඔවුන් යහ­පත් සෞඛ්‍යය තත්වයේ පසු­වෙ­මින් සිටී. “ ඔවුන් සම්බ­න්ධව ඩී.එන්.ඒ පරී­ක්ෂ­ණ­යක් සිදු­විය යුතුයි. එහෙත් ඒ කුමන වක­වා­නු­වෙද කියලා කියන්න බෑ. දැනට පැට­වුන්ගේ වසු­රු­වල ඇති පටක ඇසු­රින් ඩී.එන්.ඒ පරී­ක්ෂ­ණ­යක් කරන්න සැල­සු­මක් තිය­නවා...“ ෙවෙද්‍ය තාරක පැහැ­දිලි කළේය.

හැදි වැඩුණු පැට­වුන්ගේ ඩී.එන්.ඒ පරී­ක්ෂණ අනා­ග­තයේ දී සිදු වනු ඇත. එතෙක් මේ ළදරු පැටවු මින්නේ­රිය වනෝ­ද්‍යා­නයේ ආර­ක්ෂි­තව ජීවත් වනු ඇතැයි විශ්වාස කරමු.

 

 

Comments