මානව අයිතිවාසිකම් මගින් ගොඩනැ‍ඟෙන ත්‍රස්ත ප්‍රවර්ධනය | සිළුමිණ

මානව අයිතිවාසිකම් මගින් ගොඩනැ‍ඟෙන ත්‍රස්ත ප්‍රවර්ධනය

ලංකාවේ පළවන එක්තරා සති අන්ත පුවත්පතක කැනඩාවේ එල්ටීටීඊ ක්‍රියාකාරිත්වය පිළිබඳ ව මෑතකදී පළවූ ලිපියක් දුටිමි. එම ලිපිය මගින් පසුගිය වකවානුව තුළ කැනඩාවේ එල්ටීටීඊ ක්‍රියාකාරිත්වය ඉහළ යෑම පිළිබඳව සම්පුර්ණ වගකීම කැනඩාවේ වාසය කරණ ශ්‍රීලාංකිකයන් මත පටවා තිබුණි. මගේ අදහස නම් කැනඩාවේ වෙසෙන ශ්‍රී ලංකාවට සහය දෙන ශ්‍රී ලාකිකයන් නොවන්නට කැනඩාවේ එල්ටීටීඊයේ ක්‍රියාකාරිත්වය මීට වඩා සිය දහස් ගුණයකින් වැඩිවෙන්නට ඉඩ තිබුණු බවයි.

කැනඩා භුමිය තුල එල්ටීටීඊ ය පරාජය කලයුත්තේ නීතිමය සහ මතවාදීමය වශයෙනි. එය ශ්‍රී ලංකාවට සහයදෙන ශ්‍රීලාංකිකයින් යම් යම් සීමාවන් යටතේ උපරිම වශයෙන් සිදුකරමින් සිටිති. එසේ සීමා යටතේ ක්‍රියාත්මක වීමට ඔවුනට සිදුවීමට හේතු තිබේ.

කැනඩාව ඇතුළු බොහෝ බටහිර රටවල් ලිබරල් දේශපාලනයන් අනුගමනය කරන රටවල්ය. ඒවායේ පවතින දේශපාලන නිදහස අනුව ලෝකයේ අනිත් කොනක පවතින ඕනෑම දේශපාලන මතවාදයක් පිළිබද කතාබහ කිරීමට, ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමට, පොත් ලිවීමට, දේශනා පැවැත්වීමට, ප්‍රවර්ධනය කිරීමට මේ රටවල නිදහස තිබේ. ඒවා වැළැක්වීමට නීතියට කළ හැකි දෙයක් නොවන්නේ මෙම රටවල ව්‍යවස්ථාව මගින්ම එම අයිතීන් තහවුරු කර ඇති බැවිනි.

කැනඩාවේ නම් ව්‍යවස්ථාවට ම සම්බන්ධකොට ඇති “කැනේඩියානු අයිතිවාසිකම් සහ නිදහස පිළිබඳ ප්‍රඥප්තිය” (Charter Rights and Freedom) මගින්ද, ඇමරිකා එක්සත් ජනපදයේ නම්, අයිතිවාසිකම් පනත් කෙටුම්පතේ පළමු සංශෝධනය (First Amendment to Bill of Rights) මගින්ද සහතික කරන ලද “සංගමයේ නිදහස” හරහාද එරට ජනතාවට මෙම නිදහස හිමි වේ. මෙකී ප්‍රඥප්තියන් ගෙන් කියවෙන නිදහස උපරිම ලෙස එල්ටීටීඊයට සම්බන්ධ සංවිධාන සහ පුද්ගලයන් විසින් අයුතු ලෙස පාවිච්චි කරති. එල්ටීටීඊය හෝ වෙනත් ත්‍රස්ත සංවිධානයක් මෙලස රටේ නිදහස අයුතු ලෙස පාවිච්චි කළ පමණින් සමස්ත ජනතාව සතුව ඇති මෙම අයිතීන් ඉවත් කිරීමට කැනේඩියානුවන් සුදානම් නැත.

ඒ අතරම ශ්‍රී ලංකික කැනේඩියානුවන්ගේ අතිමහත් බලපෑමෙන් 2006 දී එල්ටීටීඊය තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට කැනඩියානු කන්සවේටිව් රජය පියවර ගත්තේය. එම දේශපාලන තීරණය හේතුවෙන් මෙම නිදහස ත්‍රස්තයන් විසින් අවභාවිත කිරීම යම් තාක් දුරට මැඬපවත්වා තිබේ. ඒ අනුව ත්‍රස්ත කටයුත්තකට මුදල් එකතු කිරීමකදී, හෝ ඍජු ත්‍රස්ත ක්‍රියාවකදී නීතිය ක්‍රියාත්මක වීමේ හැකියාව ආරක්‍ෂක අංශවලට හිමිවී තිබේ. කැනේඩියානු ආරක්ෂක නිලධාරින් එම නීති ප්‍රයෝජනයට ගනිමින් එල්ටීටීඊයට නඩු පැවරූ අවස්ථාද තිබේ. නැවතත් 2008 දී එල්ටීටීඊ පෙරමුණු සංවිධානයක්වූ ලෝක දෙමළ ව්‍යාපාරයද කැනේඩියානු රජය මගින් තහනම් කරන ලදී.

එසේ වුවද නීතිමය සහ මතවාදීමය වශයෙන් එල්ටීටීඊයට සම්බන්ද පුද්ගලයන්ට සහ සන්විධානයන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට තවදුරටත් බාධා පවතී. උදාහරණයක් ලෙස ත්‍රස්ත විශේෂඥයකු වන රොහාන් ගුණරත්නට එරෙහිව කැනේඩියානු අධිකරණයේ Canadian Tamil Congress මගින් පැවරූ අපහාස නඩුව දැක්විය හැකිය. එම නඩුවට ඔහු සහභාගී නොවීම නිසා නඩුව එක පාර්ශ්විකව තීරණය කළ අතර ඔහුට එරෙහිව කැනේඩියානු ඩොලර් 53,000ක වන්දියක් ගෙවීමටද තීන්දු කෙරිණි. මෙම සිදුවීම ශ්‍රී ලංකාවට පක්‍ෂ කණ්ඩායම් සහ පුද්ගලයන්ට ඇති බරපතළ අවදානම පැහැදිලි කරන අවස්ථාවකි. ඔහුට මෙලෙස වන්දි ගෙවීමට සිදුවුයේ, 2011 පෙබරවාරි මාසයේ ලක්බිම නිවුස් විසින් ප්‍රකාශයට පත් කරන ලද ලිපියක, “එල්ටීටීඊය ක්‍රියාත්මක වන්නේ කැනඩාවේ ප්‍රධාන එල්ටීටීඊ පෙරමුණ සංවිධානය වන කැනේඩියානු දෙමළ කොන්ග්‍රසය යන නමින් ය.” යනුවෙන්වූ ප්‍රකාශය හේතු කොටගෙනය.

එහෙත් එම අධිකරණ නියෝගයෙන් පසු වැඩිකලක් නොගොස්ම එවකට ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති තුමාගේ මැදිහත් වීමෙන් බ්‍රිතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොන්ග්‍රසය, ඕස්ට්‍රේලියානු දෙමළ කොන්ග්‍රසය, දෙමළ ඊලාම්හි අන්තර්ජාතික රජය, දෙමළ පුනරුත්ථාපන සංවිධානය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව, ලෝක දෙමළ ව්‍යාපාරය, ගෝලීය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ ජාතික සභාව, දෙමළ ජාතික සභාව, දෙමළ තරුණ සංවිධානය, ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව, දෙමළ ඊලම් මහජන සභාව, ලෝක දෙමළ සහන අරමුදල සහ මූලස්ථාන කණ්ඩායම සහ එල්ටීටීඊය යන පෙරමුණු සංවිධාන සහ පුද්ගලයින් 424 දෙනෙකු 1371 (2001) දරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවට යටත්ව තහනම් ත්‍රස්ත සංවිධාන සහ ත්‍රස්තවාදීන් ලෙස නම් කිරීමෙන් ගුණරත්නගේ ප්‍රකාශය නිවැරදි බවට තහවුරු විය.

එහෙත් එමගින් කලින් ලබාදී තිබුණු අධිකරණ තීන්දුව නිෂ්ප්‍රභා වීමක් සිදු නොවුණද මෙම තහනම් කිරීමත් සමගම දියෙස්පොරාවේ එල්ටීටීඊ ක්‍රියාකාරී වැඩසටහන් අක්‍රිය වීම සිදුවිය. එය දියේස්පෝරාවේ ශ්‍රී ලංකික ක්‍රියාකාරිකයන්ට යම් අස්වැසිල්ලක් විය.

එහෙත් ශ්‍රී ලංකාවේ පැවති යහපාලන රජය විසින් එම නියෝගය ඉවත් කිරීමත් සමඟම එල්ටීටීඊයට සම්බන්ද පිරිස් නම් කිරීම සහ ත්‍රස්තයන් බවට ප්‍රකාශ කරමින් ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීම අපේ ක්‍රියාකාරීන්ට නැවතත් නඩු වැටෙන ප්‍රශ්නයක් වී තිබේ. ඒ නිසා එල්ටීටීය මතවාදීමය සහ නීතිමය වශයෙන් දියේස්පෝරාවේදී පරාජය කිරීමට නම් පවතින ශ්‍රී ලංකා රජයේ නීතිමය දායකත්වය ඉතා වැදගත්ය.

මිට අමතරව පසුගිය රජය විසින් මානව හිමිකම් කමිටුවේදී ශ්‍රී ලංකා හමුදාව යුධ අපරාධ සිදුකලබවට ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෙන ආ යෝජනාවට පසුගිය යහපාලන රජය සම අනුග්‍රහය දැක්වීම ශ්‍රී ලංකා දියෙස්පොරා ක්‍රියාකාරීන්ට එල්ලවූ තවත් බාධාවක් විය. ලංකා ආණ්ඩුව යුද අපරාධ කළා යයි පිළිගනිද්දී එසේ නොකළා යැයි ශ්‍රී ලංකාවට පක්‍ෂ දියේස්පෝරා ක්‍රියා කාරිකයන් තර්ක කරන්නේ කෙසේද?

යම් හෙයකින් වත්මන් රජය නැවත පෙර පැනවූ තහනම ක්‍රියාත්මක කරනු ලබන්නේ නම් මෙලෙස එල්ටීටීඊ ක්‍රියාකාරිකයන්ට ලැබී ඇති නිදහස කැනේඩියානු අයිතිවාසිකම් සහ නිදහස පිළිබඳ ප්‍රඥප්තියේ 1 වන වගන්තියේම දක්වා ඇති "ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ප්‍රදර්ශනය කළ හැකි සාධාරණීකරණය කළ හැකි නීතියෙන් නියම කර ඇති සාධාරණ සීමාවන්ට යටත්ව" යන සිමා කිරීම් ප්‍රයෝජනයට ගත හැකිවනු ඇත. එලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා පැවරූ නීති රීති ක්‍රියාත්මක කිරීමට කැනේඩියානු රජය බැදී සිටී. එසේ වන නීති රීති පෙර අවස්ථාවට වඩා නිර්මාණාත්මකව සිදුකිරීමට බලධාරීන්ගේ මනස යොමු විය යුතුය. අවශ්‍යවන්නේ එල්ටීටීඊය තහනම් කිරීම පමණක් නොවේ.

අවශ්‍ය වන්නේ හමාස් හෝ අයිඑස් අයිඑස් කොඩිය රැගෙන යද්දී කිසිවකු අත් අඩංගුවට පත් වන්නත්, එල්ටීටීඊ කොඩිය රැගෙන පෙළපාලි යාමේදී කැනේඩියානු ආරක්‍ෂක නිලධාරීන්ට කිසිවක් කල නොහැකි වීමත් පිළිබද ප්‍රශ්නයට පිළිතුරකි. එල්ටීටීඊ කොඩිය, එහි ලාංචනය, ශ්‍රී ලංකාව වාර්ගික ලෙස බෙදා වෙන්කිරීම පිළිබඳ යෝජනා කිරීම, ශ්‍රී ලංකාවේ දෙමළ සහමුලාඝාතනයක්‌ සිදුවුයේ යැයි යෝජනා කිරීම, ආදිය එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයට මුදල් එකතු කිරීමේ මාර්ග බවට නීතියෙන් තහවුරු කිරීමකි. ඔබේ යෝජනා අදහස් යොමු කරන්න: [email protected]

Comments