පරස්පර සාක්ෂි නිසා නිදහස් වූ විදුහල්පතිවරයා | සිළුමිණ

පරස්පර සාක්ෂි නිසා නිදහස් වූ විදුහල්පතිවරයා

ළමා අපචාර චෝදනාවකට, වරදකරු වී වසර 12 සිරදඬුවමකට නියම වූ විදුහල්පතිවරයකු සම්බන්ධ නඩුවේ සාක්ෂි පරස්පරවීම හා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට නොහැකිවීම නිසා චුදිත අභියාචක විදුහල්පති අභියාචනාධිකරණ නඩුවෙන් නිදොස් කොට නිදහස්වීමේ අපූරු නඩුවක් උසාවියෙන් ඇසුණි.

සෝමවංශ දිසානායක රත්නපුර කහවත්ත ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයා ලෙස කටයුතු කරන අතරතුරේ මෙම ළමා අපචාර සිද්ධිය කරළියට පැමිණුනි. විදුහල්පතිවීමට පෙර ඔහු සේවය කළේ ඒ පාසලේ ගණිතය හා ව්‍යාපාර අධ්‍යයනය විෂය භාර ගුරුවරයා ලෙසය. ඔහුගේ ඊළඟ ඉලක්කය වූයේ විශ්‍රාම ලබන දැනට සිටින විදුහල්පතිවරයාගෙන් පුරප්පාඩු වන විදුහල්පති ධුරය ලබාගැනීමයි. ඒ සඳහා රාජ්‍ය පරිපාලන විභාගවලට ද පෙනී සිටිමින් සුදුසුකම් සපුරා ගැනීමට ද හෙතෙම සමත්විය.

එහෙත් ඊළඟ විදුහල්පතිධුරයට ඇස ගසාගන සිටින විද්‍යාව හා තාක්ෂණික විෂය බාර උපුල් සමරතුංග ගුරුවරයා ද ඔහු හා කරට කර විය. වසර 4, 5 ක මෙම සීතල යුද්ධයට විරාමයක් තබමින් සෝමවංශ විදුහල්පති ධුරයට පත්වූ අතර, සමරතුංග ගුරුවරයාගේ සිතින් ද ඒ අභිලාෂය ඉවත් නොවීය.

මේ අතර උපුල් සමරතුංගගේ හිතේ මලක් පිපෙන තොරතුරක් ලැබුණේ විදුහල්පතිවරයාගේ නරක ක්‍රියාකලාපයක් සම්බන්ධයෙනි. ඔහු මේ සම්බන්ධයෙන් දිගින් දිගටම සොයා බලමින් ඒ සිද්ධිය ඔස්සේ විදුහල්පතිවරයාගේ තනතුර අහිමි කිරීමට උපක්‍රම යෙදුවේ සූක්ෂම අයුරිනි. අවුරුදු 15 පිරිමි ළමයකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විදුහල්පතිට විරුද්ධව අධිචෝදනා ගොනු කරන ලද අතර රත්නපුර මහාධිකරණයේ නඩු පැවරුණි. නඩු විභාගයෙන් වරදකරු වූ යටකී විදුහල්පතිවරයාට බරපතළ වැඩ සහිතව වසර 12 සිර දඬුවම් නියම කරන ලද අතර අගතියට පත් බාල වයස්කාර සිසුවාට රු. 50,000 මුදලක් ගෙවීමට නියම කරන ලදී.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සෝමවංශ විදුහල්පතිවරයා අලුත්කඩේ පිහිටි අභියාචනාධිකරණයේ ඇප අයදුම් කෙරුණි. එහිදී ද නඩුව යළිත් සලකා බැලිනි. එම සිද්ධිය මෙසේය. යටකී විද්‍යාලයේ ඉහළ පන්තිවල සිසුන් විසින් පහළ පන්තියේ සිසුන්ගේ කලිසම් ගැලවීමේ සිද්ධියක් සැලවීමෙන් පසු උපුල් සමරතුංග ගුරුවරයා මේ ගැන සිසුන්ගෙන් ප්‍රශ්න කරන ලදි. එහිදී එක් සිසුවෙක් පවසා ඇත්තේ විදුහල්පතිවරයා ද දිනක් තමාට එසේ කළ බවයි.

මේ සිද්ධිය ගැන එම ගුරුවරයා මාස 8ට පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා කටයුතු පිළිබඳ නිලධාරින්ට පෙත්සමක් බාර දුන් අතර ඒ අනුව ඔවුන් විසින් පොලිසියට පැමිණිලි කර ඇත. සිද්ධිය විමර්ශනය කරන්නේ ඉන් පසුවය.

මෙම සිසුවාගේ නිවස පිහිටා ඇත්තේ පාසල සමීපයේ වන අතර සිසුවා සාක්ෂි දී ඇත්තේ නිවසේ වැට ළඟට නිවාඩු කාලයේ දිනක පැමිණි විදුහල්පතිවරයා පාසලේ කබඩ් එක මීයෝ කන බව හීනෙන් දුටු බව පවසමින් එය බැලීමට තමාවද කැඳවාගෙන ගොස් කාමරයේ දොරවසා කලිසම ගනවා තමන්ව ලිංගික කටයුතු වෙනුවෙන් යොදාගත් බවයි. මේ නඩුව වෙනුවෙන් දරුවාගේ මව පවසා ඇත්තේ දරුවා මේ ගැන තමාට පැවසූ බවයි. එහෙත් දරුවාගේ මවට මේ සිද්ධිය සැලකර තිබුණේ දරුවා නොව ඉහතකී උපුල් ගුරුවරයා විසින් බව සාක්ෂි අනාවරණයේදී ඔප්පුව තිබුණි. ළමයා ලබාදී තිබුණු සාක්ෂි හා උපුල් ගුරුවරයා ලබාදී තිබුණු සාක්ෂිවලදි පරස්පරතා තිබුණි. උපුල් ගුරුවරයා පොලිසියට ලබාදුන් සාක්ෂිය සම්පූර්ණයෙන් ඔහු පිටපත් කරගෙන තිබුණි. විදුහල්පතිවරයා විසින් සිසුවා ලිංගිකව අපයෝජනය කර ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින්ද ඔප්පු කිරීමට නොහැකි විය.

මෙහිදී චුදිත අභියාචක විදුහල්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි ශ්‍රේෂ්ඨාධිකරණ ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතා අභියාචනාධිකරණයේ තර්කානුකූලව පෙන්වා දුන්නේ මෙම සිද්ධිය අදාළ ගුරුවරයා විසින් නිර්මාණය කරන ලද්දක් බවයි. කාලයක සිට විදුහල්පති පුටුව සඳහා දෙදෙනා අතර තිබූ තරගය ගැටුම් ගැනද අධිකරණයේ අවධානය යොමු කෙරුණි. එසේම මෙම සිද්ධිය ගැන මව මුලින් ඉදිරිපත් නොවීම, සාක්ෂි පරස්පරතා වෛද්‍ය පරීක්ෂණවලින් ලිංගික අපචාරය සනාථ නොවීම හා විදුහල්පතිවරයා හා ගුරුවරයා අතර කාලයක සිට පවතින කෝන්තරය අධිකරණයේ දැඩිව අවධාරණයට පත්කිරීමට කුරුප්පු නීතිඥවරයා සමත්විය.

ඉදිරිපත්වූ සියලු සාක්ෂි පිළිබද විමසීමෙන් අනතුරුව චුදිත අභියාචක විදුහල්පතිවරයා ළමා අපචාර සිද්ධියෙන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරන ලදී.

 

(අභියාචනාධිකරණ වෙබ් අඩවියෙනි.)

(සත්‍ය සිද්ධියක් වන අතර නම් ගම් මනඃකල්පිතය)

 

Comments