දෙහි­වල සත්වෝ­ද්‍යා­න­යට 84යි | සිළුමිණ

දෙහි­වල සත්වෝ­ද්‍යා­න­යට 84යි

 84 වැනි උප­න්දි­න­යදා අධ්‍යක්ෂ ජන­රාල් ඉෂිනි වික්‍ර­ම­සිංහ කේක් කපන අයුරු.
84 වැනි උප­න්දි­න­යදා අධ්‍යක්ෂ ජන­රාල් ඉෂිනි වික්‍ර­ම­සිංහ කේක් කපන අයුරු.

දා ජූලි 03 වැනි­දාය. වේලාව පස්වරු 3.00ට පමණ වන්නට ඇත. ස්ථානය වූයේ දෙහි­වල ජාතික සත්වෝ­ද්‍යා­නයේ අව­න්හල ඉදි­රි­පිට ඇති උද්‍යා­න­යයි. දෙහි­වල සත්වෝ­ද්‍යා­නයේ අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රිය වන ඉෂිනි වික්‍ර­ම­සිංහ, නියෝජ්‍ය අධ්‍ය­ක්ෂිකා රේණුකා බණ්ඩා­ර­නා­යක, නියෝජ්‍ය අධ්‍ය­ක්ෂිකා අනෝමා ප්‍රිය­ද­ර්ශනී ඇතුළු නිල­ධා­රින් සහ නර­ඹ­න්නන් රැස්වී සිටි මෙම ස්ථාන­යට සෙමෙන් සෙමෙන් අඩි තබ­මින් පැමි­ණියේ බන්දුල හස්ති රාජයා ය. 77 වැනි වියේ පමණ පසු­වන බන්දුල හස්ති­යාගේ ප්‍රතා­ප­වත් ගමන දකින විට “අලියා වැහැ­රු­ණත් කොරහේ නාවන්න බැහැ” යන කිය­මන සිහි­පත් වූ‍යේ නිරා­යා­ස­යෙනි.

එතැ­නට පැමිණි බන්දුල හස්ති­යාට උක්දඬු, කොමඩු, කෙසෙල් ඇතු­ළත් රස­වත් භෝජන සංග්‍ර­හ­යක් භුක්ති විඳි­න්නට අව­ස්ථාව උදා වූයේ ඌ දෙහි­වල සත්වෝ­ද්‍යා­නයේ දැනට ජීව­තුන් අතර සිටින වය­ස්ග­තම සතු­න‍්ගෙන් 2 වැනියා වූ බැවිනි. දැනට එහි ජීව­ත්වන සතු­න්ගෙන් වය­ස්ග­තම සත්වයා වන්නේ යෝධ ඉබ්බාය. යෝධ ඉබ්බාගේ වයස අවු­රුදු 108ක් පමණ වෙයි. පසු­ගිය ජූලි 03 වැනි දින මෙම ස්ථාන­යට රැගෙන ආ යෝධ ඉබ්බාට ද රජ සැල­කිලි ලැබිණි. ඉබ්බන්ගේ ප්‍රිය­තම ආහා­ර­යක් වන සලාද කොළ ඇතුළු විශේෂ ආහාර පිඟා­නක් එදා යෝධ ඉබ්බාට හිමි විය.

 විය­පත් සතු­න‍්ගෙන් දෙවැනි තැන ගන්නා 77 වියැති 
බන්දුල අලි­යාට පල­තුරු සංග්‍ර­හ­යක්.  

මේ ආකා­ර­යට සත්වෝ­ද්‍යා­නයේ වයෝ­වෘද්ධ සතුන් දෙදෙ­නාට සුවි­ශේෂි භෝජන සංග්‍ර­හ­යක් භුක්ති විඳි­න්නට ලැබුණේ ජාතික සත්වෝ­ද්‍යා­නයේ 84 වැනි උප­න්දි­නය එදි­නට යෙදී තිබුණු නිසාය.දෙහි­වල සතු­න්වත්ත හෙවත් දෙහි­වල ජාතික සත්වෝ­ද්‍යා­නය රාජ්‍ය ආය­ත­න­යක් වශ­යෙන් ආරම්භ කළේ 1936 ජූලි 03 වැනි­දාය. එහෙත් මෙය ඊට පෙර පෞද්ග­ලික හිමි­කා­ර­ත්වය යටතේ පව­ත්වා­ගෙන ගොස් තිබේ. ඒ, 1926 වසරේ පටන්ය. එහි අයි­ති­කරු වී තිබෙන්නේ ජෝන් හාගන් බර්ග් නමැ­ත්තෙකි. ඔහුගේ පියාට ලෝක ප්‍රකට සර්කස් කණ්ඩා­ය­මක් අයත් වී තිබූ බැවින් සර්කස් සඳහා අවශ්‍ය සතුන් එකතු කර­ගෙන පිට­ර­ටට නැව් මගින් යැවීම ජෝන් හාගන් බර්ගේ රාජ­කා­රිය විය. ඔහුට අවශ්‍ය සතුන් නැව්ගත කරන තෙක් තබා ගැනීම සඳහා දෙහි­ව­ලින් අක්කර 5ක භූමි­භා­ග­යක් මිල දී ගනු ලැබීය.

එහෙත් කාල­යක් ගත වන විට මෙම සතුන් නිසි ආකා­ර­යට නඩත්තු නොකළ අතර සතුන් මිය යෑමට පටන් ගැනිණි. සතුන්ට ප්‍රමා­ණ­වත් ආකා­ර­යට පහ­සු­කම් සැප­යුණේ ද නැත. මේ සම්බ­න්ධ­යෙන් එවක මෙරට පාල­නය කළ ඉංග්‍රීසි ජාති­ක­යන්ට පැමි­ණිලි කිරීමේ ප්‍රති­ඵ­ල­යක් වශ­යෙන් දෙහි­වල පිහිටි මෙකී සතු­න්වත්ත 1936 ජූලි 03 වැනි දින රජ­යට පවරා ගැනිණි. දෙහි­වල ජාතික සත්වෝ­ද්‍යා­නය ලෙස ස්ථාපිත වූයේ එදාය. මෙය 1982 වන තුරු විවිධ අමා­ත්‍යාංශ වලට අයත්ව තිබිණි. එහෙත් 1982 දී අංක 41 දරන ජාතික සත්වෝ­ද්‍යාන පනත යටතේ ජාතික සත්වෝ­ද්‍යාන දෙපා­ර්ත­මේ­න්තුව පිහි­ටු­වනු ලැබීය. අක්කර 5කින් ආරම්භ වූ සතු­න්වත්තේ දැන් වප­ස­රිය අක්කර 23කි. දැනට මෙහි සේවය කරන පිරිස 230කි. මෙහි සිටින සත්ව­යින් ගණන 2500කට ආස­න්නය. ඊට ක්ෂීර­පායි විශේෂ 72ක්ද කුරුලු විශේෂ 65ක්ද උරග විශේෂ 31ක්ද උභ­ය­ජී­වීන් කුලක 3ක්ද මාළු විශේෂ 89ක්ද සම­න­ලුන් විශේෂ 30ක්ද ආදි වශ­යෙන් අයත් වේ.

දෙහි­වල සත්වෝ­ද්‍යා­න­යට මුලින්ම පත් කළ පාල­කයා වූයේ එෆ්.ඊ. ගුණ­සිංහ ය. අධි­කාරි තන­තුරේ සිටි ඔහු 1947 වන තුරු සේවය කළේය. ඉන්පසු අධි­කාරි ලෙස පත්වූ මේජර් ඔබ්‍රි වය­මන් 1954 වන තුරු එම තන­තුර හෙබ­වීය. අද 77 වැනි විය සපු­රන බන්දුල හස්තියා 1947 දී හොරො­ව්ප­තාන කැල­යක අත­ර­මංවී සිටි­යදී රැගෙ­න­විත් බාර දී තිබෙන්නේ ඔබ්‍රි වය­ම­න්ටය. ඒ වන විට බන්දුල අලි පැට­වාගේ වයස අවු: 3කි. 1954 දී අධි­කාරි තන­තුර ඉවත් වී ඒ වෙනු­වට අධ්‍යක්ෂ තන­තුර ඇර­ඹුණු බැවින් 1954 සිට 1962 දක්වා අධ්‍යක්ෂ වූයේ ද මේජර් ඔබ්‍රි වය­මන් ය. ඉන්පසු 1962 අධ්‍යක්ෂ ධුර­යට පත් වූ ලීන් ද අල්විස් 1985 වන­තුරු වසර 23ක් මුළුල්ලේ එම තන­තුර හෙබවූ අතර දෙහි­වල සත්වෝ­ද්‍යා­නයේ ස්වර්ණ­මය යුගය ලෙස සැල­කෙන්නේ ඔහුගේ පාලන කාල­යයි. ආසි­යාවේ හොඳම සත්වෝ­ද්‍යා­නය ලෙසින් එදා හැඳි­න්වූයේ දෙහි­වල සත්වෝ­ද්‍යා­න­යයි. ලීන් ද අල්විස් සෑම දින­කම සතුන් සමී­ප­යට ගොස් ඔවුන් සමඟ කතා කරන නිසාම සත්වයෝ ද ඔහු පැමි­ණෙන විට ශබ්ද­යක් නඟ­මින් පිළි­ගැ­නී­මට පුරුදු වී සිටි­යහ. සතුන් කෙරෙහි ආද­ර­යෙන් කරු­ණා­වෙන් කට­යුතු කළ අනෙක් අධ්‍ය­ක්ෂක ලෙස ප්‍රකට වී සිටින්නේ හෑන්ස් පෙරේ­රාය. ඔහු 2001 සිට 2006 දක්වා කට­යුතු කළේය.

“වැඩි­හිටි සතුන් වගේම බාල, තරුණ සතුන්ට සෙත් පතා ආශී­ර්වාද කිරී­ම­ටත් මිය ගිය සතුන්ට වගේම මිය ගිය සත්වෝ­ද්‍යාන සේව­ක­යන්ට පිං පැමි­ණ­වී­ම­ටත් සත්වෝ­ද්‍යා­නයේ උප­න්දි­නය දා තුන්වරු පිරිත් කියෙව්වා. ජූලි 02 වැනිදා උදේ, හවස සහ ජූලි 03 වැනිදා උදේ වශ­යෙ­නුයි අපි තුන්ව­රුව යොදා ගත්තේ. ජූලි 03 වැනිදා උදෑ­සන හීල් දානය පූජා කළා. උදෑ­සන 10.00ට ධර්ම­දේ­ශ­නා­වක් පැවැ­ත්වුවා. හවස අධ්‍යක්ෂ ජන­රාල් ඉෂිනි වික්‍ර­ම­සිංහ උප­න්දින කේක් කපලා උප­න්දි­නය සැම­රුවා. ඒ අව­ස්ථා­වේදී තමයි බන්දුල අලි­යා­වත් යෝද ඉබ්බා­වත් ගෙනල්ලා විශේෂ සංග්‍ර­හ­යක් කළේ. ඒ විත­රක් නෙමෙයි. අපි සත්ව විශේෂ 15කට ස්වාභා­වික ක්‍රියා­කා­ර­කම් වර්ධ­නය වන ආකා­ර­යට ආහාර සැප­යුවා. ඒ කියන්නේ කොටින්ට මස් දෙන­කොට බෙන­යක හංගලා තිබ්බාම කොටින් ඉව ඔස්සේ මස් හොයා­ගෙන ඇද­ගෙන කන්න ඕනෑ. පල­තුරු කන සතුන්ට කෙහෙල් ඇව­රිය නිකම්ම දෙන්නේ නැතිව කෙසෙල් කැන් එල්ලුවා. එත­කොට සත්තු කෙසෙල් කැන්ව­ලින් කඩා­ගෙන කන්න ඕනෑ. ඒ විදි­හට තමයි අපි සතුන්ගේ ස්වාභා­වික ක්‍රියා­කා­ර­කම් වර්ධ­නය වන ආකා­ර­යට ආහාර ලබා දුන්නේ.” යනු­වෙන් දෙහි­වල සත්වෝ­ද්‍යා­නයේ නියෝජ්‍ය අධ්‍ය­ක්ෂිකා අනෝමා ප්‍රිය­ද­ර්ශනි විස්තර කළාය.

සතු­න්වත්තේ වය­ස්ග­තම සතා වන 108 වියැති යෝධ ඉබ්බාට විශේෂ භෝජන සංග්‍ර­හ­යක්.

ඊට අම­ත­රව සත්වෝ­ද්‍යා­නයේ සේවය කරන පිරිස වෙනු­වෙන් සන්ධ්‍යා භාග­යේදී ප්‍රිය සාද­යක් පැවැත්වූයේ මාන­සික වශ­යෙන් සතුට, විනෝ­දය අවශ්‍ය බැවිනි. සත්ව සංර­ක්ෂ­ණය සහ යහ­පැ­වැත්ම සත්වෝ­ද්‍යා­නයේ අර­මුණු අතර තිබෙන නමුදු මෙම සත්ව­යන්ගේ ආර­ක්ෂාව උදෙසා තව­මත් CCTV කැමරා පද්ධ­ති­ය­ක්වත් මෙහි සවි කර නොති­බීම කන­ගා­ටු­වට කරු­ණකි. රාත්‍රියේ සත්වෝ­ද්‍යා­න­යට ඇතුළු වූ සුන­ඛ­යන්ට ගොදුරු වී මාරා සත්වයා මිය යෑම, සුන­ඛ­යන් නිසා එක් රැය­කදී මීමි­න්නන් 13 දෙනකු මිය යෑම, සුදු නයි හොර­කම තව­මත් අපට අම­තක නැත. CCTV කැමරා පද්ධ­ති­යක අව­ශ්‍ය­තාව ගැන අප අව­ධා­ර­ණය කළේ එදාය. එහෙත් එය තව­මත් සවි කර නැත. 84 වැනි විය සැපිරූ පම­ණින් දෙහි­වල සත්වෝ­ද්‍යා­නය වයෝ­වෘද්ධ විය යුතු නැත. නව තාක්ෂ­ණය අත්හැ­රිය යුතු නැත.

“අපේ සත්වෝ­ද්‍යා­නයේ අඩු­පාඩු තිබෙ­නවා. අලු­තින් පත්වුණු අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රිය ඒ ගැන අව­ධා­නය යොමු කරලා සත්වෝ­ද්‍යා­නයේ යහ­පත වෙනු­වෙන් පිය­වර රැසක් ගෙන තිබෙ­නවා. ඒවා ක්‍රියා­වට නඟන්න තවම කල් මදි. අපේ සත්වෝ­ද්‍යාන‍යේ ඔටුවො නැහැ. ඔටු ජෝඩුව මිය ගිහින්. ජිරාෆ් ගැහැනු සතෙක් නැති නිසා අභි­ජ­නන ක්‍රියා සිදු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සතුන්ව සත්ව හුව­මා­රුව යටතේ ලංකා­වට ගෙන්වන්න කට­යුතු සූදා­නම් කළත් කොරෝනා වසං­ග­තය එක්ක ඒවා වැළ­කුණා. ශ්‍රී ලංකා දිවියෝ මෙහි නැහැ. විදේ­ශි­කයො ශ්‍රී ලංකා දිවි­යන්ට ගොඩාක් ආසයි. ඒ නිසා ලංකාවේ දිවි­ය­න් ­හො­යා­ගන්න ඕනෑ. මේ ළඟදි ඔරං­හොටා සත්වයා මිය ගියා. ඌට අමා­රුයි කියලා සේව­කයෝ ප්‍රධාන පශු වෛද්‍ය­ව­ර­යාට දැනුම් දුන්නාම ඌ මැරෙන්න ඉන්නේ කියලා ඔහු කියා තිබුණා. සතුන්ට දිය යුතු අත්‍ය­ව­ශ්‍යම එන්න­තක් වන පාවෝ එන්නත ගෙන්වලා නැහැ. අන­වශ්‍ය ඖෂධ ගොඩාක් ගෙන්වලා. මේ වගේ පශු වෛද්‍ය­ව­රුන්ගේ ප්‍රශ්නත් තියෙ­නවා. අපි ඒවා විසඳා ගත යුතුයි.” යනු­වෙන් පැව­සුවේ ශ්‍රී ලංකා ජාතික සත්වෝ­ද්‍යා­නයේ පොදු ජන සේවක සංග­මයේ සභා­පති ක්‍රිෂාන්ත ක්‍රිස්ටෝ­පර් ය.

මාස ගණ­නක් වසා තිබූ සත්වෝ­ද්‍යා­නය දැන් විවෘත කර ඇති නමුත් මුහුදු සිංහ­යාගේ, අලි සන්ද­ර්ශන සහ අධ්‍යා­ප­නික වැඩ­ස­ට­හන් නැවත දැනු­ම්දෙන තුරු නවතා දමා ඇති බව සත්වෝ­ද්‍යා­නයේ අධ්‍යා­පන නිල­ධාරි නිහාල් සෙන­රත් දැනුම් දුන්නේය.

Comments