ජෝතිපාලයන් සමුගෙන වසර 33යි | සිළුමිණ

ජෝතිපාලයන් සමුගෙන වසර 33යි

හින්දි අනුකාරක ගී, බොළද පෙම් ගී ගයන්නේ යැයි එච්.ආර්.ජෝතිපාලයන්ව හෙළා දැක්වූවෝම පසු කලෙක ඔහුගේ ගී පිළිබඳ අගයන්නට විය. ඒ කෙසේ වෙතත් ජෝතිපාලයන් ජීවත්ව සිටි කාලයේ ඔහුට නොතිබූ ප්‍රසාදයක් ඔහුගේ මරණයෙන් පසුව ලැබුණා යැයි කියන කතාව අසත්‍ය නොවන බව කිව හැත්කේ ඔහුගේ මරණයෙන් තිස් තුන් වසරක් පිරෙන විටදි ඔහුගේ අඩුව පිරවීමට සමත් කටහඩක් තවමත් නොලැබීම මෙරට චිත්‍රපට කර්මාන්තයට සරිලන ගී හඩක් නොලැබීම තුළය.

පසුගිය (ජූලි07) දාට යෙදී තිබුණේ එච්. ආර්. ජෝතිපාලයන්ගේ තිස් දෙවන ගුණ සමරුවයි. අසහාය ගායක එච්. ආර් ජෝතිපාලයන් සමුගෙන ඇතැයි කිසිදු විටෙක සිතෙන්නේ නැත. ඒ ගුවන්විදුලි නාලිකාවල කොයි මොහොතක හෝ ජෝතිපාලයන්ගේ ගීතයක් ඇසෙන බැවිනි. අද ගුවන්විදුලි නාලිකාවලට නැතිවම බැරි ජෝති හඬ ගුවන්විදුලියෙන් තහනම් වූ යුගයක් ද තිබිණි.

ජෝතිපාලයන් මෙලොව එළිය දකින්නෙ 1936 පෙබරවාරි දොළොස් වැනිදාය. සාමාන්‍ය මධ්‍යම පවුලක සහෝදර සහෝදරියන් හතර දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමහල් පුතු ලෙස උපදින ඔහු මරදානේ ශාන්ත ලෝරන්ස් විද්‍යාලයෙන් සහ දෙමටගොඩ ශාන්ත ජෝන්ස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන්නේය. පාසල් වියේ සිටම ඔහු ගීත ඇසීමට ගී ගැයීමට ඇල්මක් දැක්වූයේය. 1956 දී සිරිල් පී අබේරත්නයන්ගේ නිර්මාණයක් වූ සුරතලී චිත්‍රපටය සඳහා පසුබිම් ගායනයෙන් එක් වන්නේය. ඔහු ගයන්නේ සිරියා මේ සාරා ගීතයයි. නමුදු ඔහුගේ පළමු ගීතය වන්නේ පොඩිපුතා චිත්‍රපටය වෙනුවෙන් ගැයූ ගීතයකි. එහෙත් චිත්‍රපටය පෙන්වන විට එම ගීතය චිත්‍රපටයෙන් ඉවත් කර තිබිණි. සුරතලී චිත්‍රපටයේ ගී ගැයීම සදහා ජෝතිපාලයන් තෝරා ගැනීමට එහි නිෂ්පාදක ජබීර් ඒ කාදර් මහතාට ජෝතිගේ ගී හඬ අසන්නට ඕනෑ විය. නමුත් ජබිර් ඒ කාදර් හමුවීමට යාමට මුදල් නොතිබූ ජෝතිට ඒ සඳහා කාලයේ හැටියට වටිනා මුදලක් වූ රුපියල් 35 ක් ලබා දී ඇත්තේ සංගීතවේදී ස්ටැන්ලි ඕමාර් මහතාය. ක්‍රමයෙන් ජෝතිගේ ගායන දිවිය ප්‍රභාමත් විය.

ඔහු මෙරට බොහෝ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපටවල ගී ගැයුවේය. වරෙක ඔහු ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා නිර්මාණය කළ සන්දේශය චිත්‍රපටයේ ගීතයක් ගායනා කළේය. ඒ අරිසෙන් අහුබුදු විසින ලියන ලද පෘතුගීසිකාරායා ගීතයයි. කස්තුරි සුවඳ, තුෂාරා, ස්වීප් ටිකට්, හිත හොඳ මිනිහෙක්, කවුද රජා, හොඳට හොඳයි, වාසනා, යුක්තියද ශක්තියද, නොම්බර 17, ආදි වූ චිත්‍රපට රැසක ඔහු ගී ගායනා කළේය. ගීත ගායනා කළා සේම බෝනික්කා, අභිරහස, සූකිරි කෙල්ල, ශාන්ති ඇතුල්වීම තහනම්, සුලලිත සෝබනී ආදි වූ චිත්‍රපට කිහිපකටම රංගනයෙන් දායක වුයේය. චිත්‍රපට පසුබිම් ගායකයෙකු ලෙසින් කලඑළි බසින ජොතිපාලයන් හැත්තෑව අසූව දශකවල ප්‍රසංග වේදිකාවට නැතිව බැරි ගායකයෙක් වන්නේය.

සිය අතීතය සිහිකරමින් 1952 වසරේදී සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ පවසන්නේය. “මගේ තාත්තා ටේලර් කෙනෙක්. අපේ කැටවලමුල්ලේ පුංචි ගෙදර ස්තෝප්පුවේ මැෂිමක් තබාගෙන ඇඳුම් මැහුවා. අම්මා සුළු රැකියාවක් කෙරුවා. අම්මා තාත්තා එහෙමයි අපව ජීවත් කළේ. මට ගුවන්විදුලියෙන් ගායන ලෝකයට පිවිසෙන්න අතහිත දුන්නේ දුන්නේ ජී. ඇස්. බී. රානි පෙරේරා. සංගීත සාජ්ජවල ගීත ගායනා කර කර හිටපු මට මුලින්ම ගයන්න ලැබුණේ ජී.එස් බී රානි පෙරේරා සමඟ අැගේ ගීතයක තොටියෝ කියන කොටස. ඒ කොටස ගුවන්විදුලියෙන් ප්‍රචාරය වෙනකම් මම රේඩියෝව ළඟටම වෙලා හිටියා. “කලකට පෙර ජෝති සිය අතීතය සිහිකර ඇත්තේ එසේය.

පසුගිය හත්වැනිදාට ජෝතිපාලයන් මිය ගොස් වසර 33 කි. අරුමය නම් මේ ගෙවුණ කාලය තුළ ජෝති මෙන් ගී ගැයීමට, එවැනි තරුවක් වීමට බොහෝ තරුණයන් උත්සාහ කිරීමයි. ගෙවුණ යුගය තුළ ජෝතිපාලයන් මාකට් කළ ඇත්තෝ බොහෝය. නව තාක්ෂණය එන්න පෙර ජෝතිගේ ගී ඇතුළත් බොහෝ කැසට් පට ජනතාව මිලට ගත්හ.“ජෝති කියන්නේ බොහෝම නිහතමානි කෙනෙක්. ඔහු තරම් හොද මිත්‍රයෙක් මට කවදාවත් සිටියේ නැහැ. මා ඔහුට ගීත ගණනාවක් ලියා තිබෙනවා.“ ප්‍රවීණ ගීපද රචකයකු වූ නැසීගිය අජන්තා රණසිංහයන් ජනතා පුවත්පතේ සේවය කරන සමයේ ආගිය කතා කියන අතර ජෝතිපාලයන් ගැන සිහිපත් කළේ එලෙසිනි. ගායකයකු ලෙස ඉමහත් ප්‍රසාදයට පත් වූවද, සම්මානනීය ගායකයකු වුවද ජෝති කිසි විටෙක තම ප්‍රේකෂකයා අමතක නොකළේය.

ජෝතිගේ ඉල්ලීම වී තිබුණේ තමන් මිය ගියදාට තමන් ගෑයු ගී රසිකයන්ට අසන්නට සලස්වන ලෙසය. ඔහුගේ අවමඟුල දා එය එලෙසින්ම සිදු විය. ගෙවුන දෙතිස් අවුරුද්ද පුරාම ඔබ අප ජෝතිගේ ගීතයක් නැසුන දිනයක් වේ නම් ඒ කලාතුරකිනි. ජෝතිගේ හඬින් නෑසුවද ජෝති ගැයු ගීත වෙනත් කාගේ හඬින් හෝ දුම්රියේ බස්රියේ අසන්නට ලැබේ. එලෙස ඇසෙන විට පෙනෙනුයේ එදත් අදත් මෙරට ජනප්‍රියම ගායකයා එච්. ආර්. ජෝතිපාලයන් බවය.

Comments