ජීවිත තුනක් අහිමි කළ වෛර­යක් වූ ප්‍රේමය | සිළුමිණ

ජීවිත තුනක් අහිමි කළ වෛර­යක් වූ ප්‍රේමය

ඝාත­න­යට ලක්වූ ලෝග­දා­සන් පවුලේ මව,පියා සහ දිය­ණිය සුද­ර්ශනී,  පෙම්ව­තාද සමඟ
ඝාත­න­යට ලක්වූ ලෝග­දා­සන් පවුලේ මව,පියා සහ දිය­ණිය සුද­ර්ශනී, පෙම්ව­තාද සමඟ

ප්‍රේම­යයි වෛර­යයි අතරේ වෙනස කෙස් ගස­කට සම බව කිය­වු­ණද ඒ වෛර­යෙන් ජීවිත තුනක්ම නසා දම­න්නට කෙනෙ­කුට හැකි වේ නම් ඒ හද­වත තුළ ප්‍රේමය තබා මනු­ෂ්‍ය­ත්වය හෝ තිබුණා ද යන්න ප්‍රශ්න­යකි. ඉකුත් සතියේ හද සසල කළ සිදු­වීම් අත­රට එක්වූ එම සිදු­වීම වාර්තා වී තිබුණේ කටාර් රාජ්‍ය­යෙනි. කාල­යක් තිස්සේ කටාර් හි ජීවත් වූ ශ්‍රී ලාංකි­ක­යන් වන එකම පවුලේ මව, පියා සහ දිය­ණිය අමා­නු­ෂික ලෙස කපා කොටා ඝාත­නය කොට තිබූ අවා­ස­නා­වන්ත පුව­තක් සමා­ජයේ කතා­බ­හට ලක්වූයේ ඔවුන්ගේ මළ සිරුරු ගුවන් මඟින් පසු­ගිය සතියේ මෙර­ටට ගෙන ඒමත් සම­ඟය. එම ඝාත­නය සම්බ­න්ධ­යෙන් සැකය එල්ල වී ඇත්තේ ඝාත­න­යට ලක්වූ දිය­ණි­යගේ ශ්‍රී ලාංකික පෙම්වතා වෙත­ටය. මේ වන විට ඔහු අතු­රු­දන් වී සිටින අතර මේ ත්‍රිත්ව ඝාතන පසු­ගිය මාර්තු මස 1 වැනිදා සිදු­ව­න්නට ඇතැයි ද සැක කෙරේ.

 

මෙසේ අවා­ස­නා­වන්ත ලෙස ඝාත­න­යට ලක්ව ඇත්තේ පන­ස්අට හැවි­රිදි ලෝග­දා­සන් මහේන්ද්‍ර රාජා, පන­ස්පස් වය­සැති සම­ර­මුත්තු වික්ටෝ­රියා සහ තිස්හ­තර හැවි­රිදි ඔවුන්ගේ දිය­ණිය වන ලෝග­දා­සන් මහේන්ද්‍ර රාජ් සුද­ර්ශනී ය. 1090/25 සිංගා­ර­මුල්ල , කැල­ණිය යන ඔවුන්ගේ මෙරට පදිං­චි­යයි. ලෝග­දා­සන් මහේ­න්ද්‍ර­රාජා කටාර් රාජ්‍යයේ මාර්ග සංව­ර්ධන ආය­ත­න­යක ෆෝම­න්ව­ර­යකු ලෙස සේව­යට ගොස් ඇත්තේ 2002 වස­රේය. 2015 වසරේ නැවත මෙර­ටට පැමිණ ඇති මහේන්ද්‍ර රාජා එවර විදෙ­ස්ගත වී ඇත්තේ සිය බිරිය සහ බාල දිය­ණිය සුද­ර්ශනී ද සම­ඟය. මහේන්ද්‍ර රාජා මෙන්ම කටාර් හිඳී ඔහුගේ බිරිය සහ දිය­ණිය ද සුළු රැකි­යා­වල නිරත වෙමින් දිවි ගෙවා ඇති බව පැවසේ.

සුද­ර්ශනී හා කටාර් හි වාසය කළ ශ්‍රී ලාංකික තරු­ණ­යකු වන කේ. එස්. එන්. කේ. නිශ්ශංක(37) මුණ ගැසෙන්නේ අහඹු ලෙස­ටය. කෑගල්ල නෙළු­ම්දෙ­ණිය ප්‍රදේ­ශයේ පදිංචි කරු­වකු වන ඔහු වෘත්ති­යෙන් කාර්මික ශිල්පි­යකු ලෙස කටාර් හි සේවය කර­මින් සිටි අතර අම­තර ආදා­යම් මාර්ග­යක් ලෙස කුලී රථ සේවයේ ද නිරත වූවෙකි. කටාර් රජයේ ලියා­ප­දිංචි නොවූ අන­ව­සර කුලී රථ රිය­දු­රකු ලෙස කට­යුතු කළ ඔහු සහ සුද­ර්ශනී පළමු වරට හමු­වන්නේ සුද­ර්ශනී රැකි­යා­වට යෑම සඳහා ගෙන්වා ගත් කුලී රථයේ රිය­දුරා ලෙස­ටය. ඉන්ප­සුව දිගින් දිග­ටම සුද­ර්ශනී ගමන් යෑම සඳහා නිශ්ශං­කගේ කුලී රිය ගෙන්වා ගෙන ඇති අතර එයින් පට­න්ගත් හිත­ව­ත්කම පසුව නිශ්ශංක ලෝග­දා­සන් පවුලේ හිත­වකු බවට පත්වීම දක්වා දුර දිග ගොස් තිබේ. අව­සන එය සුද­ර්ශනී හා නිශ්ශංක අතර ප්‍රේම­ය­කට ද මඟ විවර කර­න්නට හේතු­වක් විය. සුද­ර්ශ­නීගේ හද­වත ද නිශ්ශං­කගේ ප්‍රේමා­රා­ධ­නාව පිළි­ගත්තේ කැමැ­ත්තෙනි. එප­ම­ණක් නොව ඇගේ මව සහ පියා ද ඊට එරෙහි නොවූයේ නිශ්ශංක ගුණ යහ­පත් තරු­ණ­යකු වන්නට ඇතැයි විශ්වාස කළ නිසාය. එම නිසාම ඒ ආදර කතා­වට කිසි­ව­කු­ගෙන් තහං­චි­යක් බාධ­ක­යක් නොවීය. ඉක්ම­නින්ම සුද­ර්ශනී විවාහ කර ගැනීම නිශ්ශං­කගේ ද බලා­පො­රො­ත්තුව විය.

එහෙත් ඔවුන්ගේ ඒ සුන්දර ආදර ලෝකය දෙදරා හැලෙ­න්නට පටන් ගත්තේ නොසිතූ මොහො­ත­ක­දීය. නිශ්ශංක විවා­හ­ක­යකු බවත් ඔහුට දරු­වන් සිටින බවත් සුද­ර්ශ­නීට දැන ගැනී­මට ලැබෙන්නේ මිතු­රකු මාර්ග­යෙනි. එම පුව­තින් දැඩි කැල­ඹී­මට පත් සුද­ර්ශනී නිශ්ශං­ක­ගෙන් ඒ බව විම­සීම නිසා ඔවුන් අතර ගැටුම් ඇති වන්නට විය. මුලින් දෙදෙනා අතර පැවති ගැටුම පසුව සුද­ර්ශ­නීගේ මවු­පි­යන්ට ද රහ­සක් නොවීය. සිය දිය­ණිය විවා­හ­ක­ය­කුගේ ප්‍රේම දැල­කට හසුවී ඇති බව දැන­ගත් මොහොතේ සිට ඔවුන් දෙදෙනා ද සිටියේ වේද­නා­වෙනි. ඒ වන විට සුද­ර්ශ­නීගේ පියා දිය­වැ­ඩියා රෝගය උත්සන්න වීමෙන් දැඩිව ගිලන් ව සිටි­යේය. එහෙත් සිය දිය­ණි­යගේ ජීවි­තය විවා­හ­ක­යකු වෙත පවරා දිය නොහැකි බව කිය­මින් මහේන්ද්‍ර රාජා නිශ්ශංක දැඩිව ප්‍රති­ක්ෂේප කර­න්නට විය. ඒ සියල්ල අතර නිශ්ශංක ද දැඩි තීන්දු­වක් ගෙන තිබිණ. සුද­ර්ශනී විවාහ කර­ගත නොහැකි වුව­හොත් ඇයගේ පවුලේ සියලු දෙනා මරා දමන බවට ඔහු ඇයට තර්ජ­නය කළේය. තමාට අසී­මි­තව ආද­රය කළ නිශ්ශංක එසේ කරනු ඇතැයි සුද­ර්ශනී සිහි­නෙ­නුදු නොසි­ත­න්නට ඇත. එහෙත් ඇය නිශ්ශං­කගේ තර්ජ­නය කිරීම් ගැන සිය මිතු­රි­ය­ක­ටත් රැකි­යාව කරන ස්ථානයේ හාම්පු­තු­න්ටත් කියා තිබිණ. මහේන්ද්‍ර රාජා ද දිය­ණි­යගේ පෙම් සබ­ඳතා නිසා තම පවුල පත්ව තිබෙන තත්ත්වය ගැන හිත මිතු­රන්ට පවසා තිබුණේ ඔහුට ද එය දැඩි මාන­සික පීඩා­වක් වූ නිසාය.

සුද­ර්ශනී සහ ඇයගේ මවු­පි­යන් දිගින් දිග­ටම ඔහු ප්‍රති­ක්ෂේප කිරීම හේතු­වෙන් නිශ්ශංක සහ සුද­ර්ශනී අතර සිදුවූ ආර­වුල් ද වැඩි වන්නට විය. මාර්තු මස 1 වැනිදා ද සුද­ර්ශ­නීගේ නිව­සේදී ඔවුන් අතර එවැනි ආර­වු­ලක් ඇති වී තිබේ. ඒ බව සනාථ වී ඇත්තේ කටාර් හි සුද­ර්ශ­නීගේ මිතු­රි­යක විසින් එරට පොලි­සි­යට ලබා දී ඇති ප්‍රකා­ශ­ය­කිනි. ඇය එදින සුද­ර්ශ­නීගේ ජංගම දුර­ක­ථ­න­යට ඇම­තු­මක් ලබා දී ඇති අතර ඊට පිළි­තුරු දී ඇත්තේ නිශ්ශං­කය. පියා නාන කාම­රයේ ඇද වැටීම නිසා සුද­ර්ශනී ඔහුට බෙහෙත් ගෙනෙ­න්නට ගිය බව නිශ්ශංක ඒ අව­ස්ථා­වේදී ඇයට කියා ඇත. මිතු­රිය පසු දින නැවත සුද­ර්ශ­නීගේ ජංගම දුර­ක­ථ­න­යට ඇම­තු­මක් ගැනී­මට උත්සහ කළද ඒ වන විට එය ක්‍රියා විර­හි­තව තිබී ඇත. පසුව ඇය නිශ්ශං­කගේ දුර­ක­ථ­නය ද ඇම­තු­මක් ලබා­ගැ­නී­මට උත්සාහ කර ඇත ද එය ද ක්‍රියා විර­හි­තව තිබී ඇත. නිශ්ශංක සහ සුද­ර්ශනී අතර තිබූ ආර­වුල දැන සිටි බැවින් සිතේ කිසි­යම් සැක­යක් ඇති­වීම නිසා ඒ පිළි­බඳ පොලි­සිය දැනු­වත් කර­න්නට ඇය කට­යුතු කරන්නේ ඒ අනු­වය.

ඝාත­නය සිදු­ක­ළා­යැයි සැක­ක­රන පෙම්වතා සුද­ර්ශනී සමඟ

ඒ අනුව සුද­ර්ශ­නීගේ නිවෙස පරී­ක්ෂා­වට ලක් කරන කටාර් පොලි­සියේ නිල­ධා­රීන්ට දැක ගත හැකි වන්නේ නිවසේ තැන් තැන්වල වැටී තිබූ පිහි පාර­වල් සහිත මළ සිරු­රුය. ගෙල කපා ඝාත­නය කොට තිබූ එම මළ සිරුරු විම­ර්ශ­නය කිරී­මේදී ඔවුහු සැක කරන්නේ එම ඝාතන සිදු කර දින හත­රක් පමණ ගතවී ඇති බවයි. ඝාත­නය සම්බ­න්ධ­යෙන් නිශ්ශංක වෙත එරට පොලි­සියේ සැකය යොමු­වු­වද ඒ වන විටත් ඔහු මෙර­ටට පැමිණ ඇති බව මූලික විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී තිබේ. එම ඝාතන පිළි­බ­ඳව ඒ දින­ව­ල­දීම ලෝග­දා­සන් පවුලේ සාමා­ජි­ක­යන්ට කටාර් රජය විසින් දැනුම් දී තිබු­ණද කොවිඩ් වසං­ගත තත්ත්වය හේතු­වෙන් දෙර­ටේම ගුව­න්තො­ටු­ප­ල­වල් වසා දැමීම නිසා මෘත­දේහ මෙර­ටට ගෙන්වා ගැනීම ප්‍රමාද වී තිබේ. ඒ අනුව පසු­ගිය 7 වැනිදා අලු­යම පැමිණි QR 668 දරන ගුවන් යාන­යෙන් එම මෘත දේහ මෙර­ටට ගෙන්වා ඇති අතර ඒ සමඟ එවා ඇති ලිපි ලේඛ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇත්තේ දරුණු අයු­රින් කපා කොටා පසුව ගෙල සිඳ එම ඝාතන සිදු­කර ඇති බවයි.

එම මෘත­දේහ සම්බ­න්ධ­යෙන් පශ්චාත් මරණ පරි­ක්ෂණ සිදු කර එම වාර්තාව මීග­මුව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස පසු­ගිය 8 වැනිදා මීග­මුව වැඩ බලන මහේ­ස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා කටු­නා­යක ගුව­න්තො­ටු­පොල පොලි­සි­යට නියෝග කළේය. ඒ අනුව වැඩ බලන මහේ­ස්ත්‍රා­ත්ව­රයා විසින් මීග­මුව දිසා රෝහ­ලේදී මළ සිරුරු සම්බ­න්ධ­යෙන් කරන ලද මූලික නිරී­ක්ෂ­ණ­යේදී අනා­ව­ර­ණය වී ඇත්තේ ඝාත­න­යට ලක්වූ සුද­ර්ශ­නීගේ සහ මවගේ ගෙල කපා කඳෙන් වෙන් කර ඇති බවයි. එමෙන්ම පියාගේ සිරු­රට හා හිස පිටු­ප­සට පහර කිහි­ප­යක් වැදී තිබූ අයුරු සහ ඔහුගේ ද ගෙල තර­මක් හිසෙන් වෙන්ව ඇති අයුරු ද නිරී­ක්ෂ­ණය වී තිබේ.

එත­රම් සාහ­සික මර­ණ­යක් ඔවුන්ට අත්කර දුන් ඝාත­කයා සුද­ර්ශ­නීගේ පෙම්ව­තාම බව ලෝග­දා­සන් පවුලේ ඥාතීන්ගේ අද­හ­සයි. මිය­ගිය සුද­ර්ශ­නීගේ සහෝ­ද­රි­යක වන රෝෂිණි ලෝග­දා­සන් ඒ පිළි­බඳ මෙසේ පැව­සු­වාය.”මගේ මවු­පි­යන්ට ඒ රටේ කිසිදු ප්‍රශ්න­යක් තිබුණේ නැහැ. අපිට සැක ඒ පුද්ග­ල­යාම තමයි. අපි රජ­යෙන් ඉල්ලා සිටින්නේ මේ මරණ ගැන සොයා බලා වැරදි කරු­වන්ට දඬු­වම් කරන්න කිය­ලයි. “

ඝාත­න­යට ලක්වූ සුද­ර්ශ­නීගේ මවගේ සොහො­යු­රකු වන පිලිප්ද පැව­සුවේ සැක­කරු මාර්තු මස 3 වැනිදා ලංකා­වට පැමිණ ඇති බවට තොර­තුරු ලැබී ඇති බවත් ඔහු නැවත විදේ­ශ­ගත වීමේ ඉඩක් ඇති බවත්ය. ඒ අනුව වැඩ­බ­ලන මහේ­ස්ත්‍රා­ත්ව­රයා පොලි­සි­යට උප­දෙස් ලබාදී ඇත්තේ අදාළ නීති­මය කට­යුතු කඩි­නම් කරන ලෙසයි. විදේශ රටක සිදුවූ ඝාත­න­යක් සම්බ­න්ධ­යෙන් ක්‍රියා කිරී­මේදී අනු­ග­මන කරන ක්‍රියා පිළි­වෙල යටතේ මෙම ඝාතන පිළි­බඳ කට­යුතු සිදු­වෙ­මින් පව­තින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශ­යෙන් කළ විම­සී­ම­කදී එහි ප්‍රකා­ශ­ක­යකු පැව­සීය. අදාළ සැක­කරු සොයා ගැනී­මට ජාත්‍ය­න්තර පොලි­සියේ සහාය ලබා ගැනී­මට බලා­පො­රොත්තු වන බව ද දැන­ග­න්නට ලැබී තිබේ.

 

Comments