කෝටි­පති ව්‍යාපා­රි­ක­යාගේ අභි­ර­හස් මර­ණය | සිළුමිණ

කෝටි­පති ව්‍යාපා­රි­ක­යාගේ අභි­ර­හස් මර­ණය

කැස්බෑව ගුරු ගම්මාන පාරට පසු­ගිය 06වැනි දා හිරු උදා වූයේ කිසි­වෙ­කුත් නොසිතූ අයු­රින් අමි­හිරි ප්‍රවෘ­ත්ති­යක් ද ගෙන ඒමෙනි. එනම් 25/2D නිවසේ සිටි 51 හැවි­රිදි ව්‍යාපා­රි­ක­යකු වූ ප්‍රසන්න සාගර කුමාර එම නිවසේ නිදන කාම­රය තුළ­දීම ඝාත­නය කර ඇතැයි යන ආරං­චිය සමඟ ය. කෝටි­පති ව්‍යාපා­රි­ක­යකු වූ ප්‍රසන්න කුමාර මිය යන මොහොත වන විට තම දරු දෙදෙ­නාද බිරි­යද සමඟ නිදන කාම­රයේ නිදා සිටි අතර බිරි­යට ද හිස ප්‍රදේ­ශ­යට තුවාල සිදුවී තිබිණි.

මංගල උත්සව සහ ප්‍රිය සම්භා­ෂණ වෙනු­වෙන් සේවා ලබා දෙන හෝට­ල­යක් පව­ත්වා­ගෙන යන ප්‍රසන්න පදිං­චිව සිටියේ ද එම හෝට­ල­යට යාබද දෙම­හල් නිවසේ ය. දරු දෙදෙනා හා බිරිය ද සම­ඟින් එකම නිදන කාම­රය තුළ සිටින මොහො­තක මේ සිදු­වී­මට මුහුණ දීමට ඔහුට සිදුව තිබේ. මිය යන විට ඔහු එක් දිය­ණි­ය­කගේ සහ එක් පුත­කුගේ පියෙකි. කොරෝනා වසං­ගත සමයේ දිගින් දිග­ටම තම ආය­ත­නය වසා තැබී­මෙන් පසු එය විවෘත කරනු ලැබුවේ පසු­ගිය දින­කය. එම නිසා ප්‍රසන්න මෙන්ම එහි සේව­ක­යින් ද එකා­වන්ව යුහු­සු­ළුව තම දෛනික කට­යු­තු­වල යෙදුණේ තම ආය­ත­නයේ දියු­ණුව වෙනු­වෙනි. මෙම සිදු­වීම වූ දිනට පෙර­දින මෙකී ස්ථානය ඉතා කාර්ය බහුල විය. නමුත් ඊට පෙර දිනද ඔහු තම මව බැලී­මට පවා ඇය පදිං­චිව හුන් නිවස වෙත ගොස් තිබිණි. ඔහුගේ මව පවසා සිටින්නේ මිය­ගිය ප්‍රසන්න කුමාර තමාගේ තුන්වෙනි දරුවා බවත් ඇයට බෙහෙ­වින් ආද­රය කර­මින් සැලැකූ බවත්ය. කෙසේ වෙතත් මේ අතර තමා වෙත තිබූ සියලු වැඩ අහ­ව­රව 05 වැනිදා රාත්‍රියේ ප්‍රසන්න නින්දට ගියේ මෙවැනි ම වූ වැඩ කොට­සක් හෙට දින­යේත් තමා වෙතම තිබෙ­නවා යන සිතු­විල්ල මත විය හැකිය.

එදින අලු­යම 4.00 ට පමණ ප්‍රසන්න කුමා­රගේ බිරිය නිව­සට යාබද හෝට­ලයේ සේවය කරන අය නැවතී සිටින කාම­රය වෙත දිව ආවේ "අනේ අපිට බයයි අපිව බේරා ගන්න" ලෙස කෑග­ස­මිනි. එම අව­ස්ථාව වන විට ව්‍යාපා­රික බිරි­ඳගේ හිස තුවාල වී ලේ ගල­මින් ද තිබිණි. පෙර දින තම රාජ­කා­රිය අව­සන්ව නිදා හුන් ඔවුන්ගේ හිමි­දි­රියේ නින්ද අන­පේ­ක්ෂිත අයු­රින් බිඳ වැටුණේ තම ස්වාමි දුවගේ කෑ ගැසී­මත් සම­ඟිනි. ඇය මෙහි පැමි­ණී­මත් සමඟ වයෝ­වෘද්ධ පුද්ග­ලයා හෝට­ලයේ සේවය කරන තවත් අයකු කැඳවා ගත්තේ ව්‍යාපා­රි­ක­යාගේ නිව­සට ගොස් කරුණු විප­රම් කිරී­ම­ටය. එසේ පැමිණි ඔවුන් දෙදෙ­නාට දක්නට ලැබුණේ තම ආය­තන හිමි­කරු නිදන ඇඳ මතම මිය­ගොස් තිබෙන අයු­රුය. කෙසේ­වෙ­තත් ඉන්පසු ඔවුන් වහා සිදු කරනු ලැබුවේ ඒ මොහො­තේම ව්‍යාපා­රි­ක­යාද තුවාල ලබා සිටින ව්‍යාපා­රි­ක­යාගේ බිරි­යත් දරු­වන් දෙදෙ­නාත් කළු­බෝ­විල ශික්ෂණ රෝහල වෙත ගෙන­යා­මට කට­යුතු සැලැ­ස්වී­මය. ඉන්ප­සුව මෙම සිදු­වීම සම්බ­න්ධ­යෙන් පිළි­ය­න්දල පොලී­සි­යට මෙන්ම ව්‍යාපා­රි­ක­යාගේ පවුලේ අයට ද දැනුම් දීමට ඔවුන් කට­යුතු කරන ලදී.

මෙම සිදු­වීම පොලි­සිය වෙත දැනුම් දීමත් සමඟ පිළි­ය­න්දල පොලිස් ස්ථානයේ නිල­ධා­රීන් පිරි­සක් විසින් පැමිණ මූලික පරී­ක්ෂණ කට­යුතු ආරම්භ කර­න්නට විය. මෙම දෙම­හල් නිවස පිළි­බඳ කරනු ලැබූ අධ්‍ය­ය­නයේ දී නිවසේ පහත මාලයේ ජනේ­ලය ද කඩා දමා ඇති අතර, ජනේ­ලයේ තිබූ පැත්තට වන්න ඇත්තේ කෙටි තාප්ප­යකි. ඉන් එපිට රබර් වත්තකි. යම්කිසි ආකා­ර­ය­කින් මෙය එම ඝාත­නය සිදු කිරී­මට පැමිණි පුද්ගලයාගේ මාර්ග­යක් වන්න­ටද පිළි­වන. කෙසේ­වෙ­තත් එම ස්ථාන­යේම ව්‍යාපා­රි­කයා මිය­ගොස් සිටි අතර ඝාත­ක­යාගේ මූලික අර­මුණ ඔහු ඝාත­නය කිරීම ද එසේත් නැත­හොත් නිවස මංකො­ල්ල­කෑ­මද යන කරුණු කිසි­වක් මේ මොහොත වන විටත් අනා­ව­ර­ණය වී නැත. සිදු­වීම වන අව­ස්ථාවේ ව්‍යාපා­රි­කයා සිටියේ තම බිරිය සහ දරු දෙදෙනා ද සමඟ තට්ටු තුන­කින් යුත් ගොඩ­නැ­ගිල්ලේ දකුණු කෙළ­වර වන්නට පිහිටි තම නිවසේ ය. මෙම නිවස වටා සිටි අස­ල්වා­සීන් සමී­ප­ත­ම­යන් පව­සන ආකා­ර­යට ව්‍යාපා­රි­කයා සමඟ කීමට තරම් පුද්ග­ලික අම­නා­ප­ක­මක් තිබූ කිසි­ව­කුත් නොසිටි බවයි. මිය ගිය ප්‍රසන්න කුමා­රගේ එක් සොහො­යු­රකු ප්‍රකාශ කර සිටින්නේ ඔහු පවුලේ සියලු දෙනා­ටම මෙන්ම අස­ල්වැසි හිත­ව­තුන්ට පවා උදව් කර­මින් කිසිදු අයකු සමඟ ගැටුම් ඇති­කර නොගැ­නී­මට අක­මැති අයකු ලෙස ද මෙම ව්‍යාපා­රය ඔහු වසර 15 ක් පමණ තිස්සේ පව­ත්වා­ගෙන යන බවයි.

මෙවන් කවර ආකා­රයේ සිදු­වී­මක් වුවද එය මූලික පර්යේ­ෂණ කට­යු­තු­වල සිට සියුම් ව කළ යුතු බැවින් සාක්ෂි වලින් තොර, තොර­තු­රක් නොමැති ඝාත­න­යක් පිටු­පස සිටින ඝාත­කයා හෝ ඒ හා සම්බන්ධ පිරිස් නීතියේ රැහැ­නට කොටු­කර ගැනී­මට මේ වන විටත් පිළි­ය­න්දල පොලිස් ස්ථානා­ධි­පති සනත් රංජිත් ඇතුළු නිල­ධා­රීන් පිරිස යුහු­සු­ළුව පරී­ක්ෂණ කට­යු­තු­වල නියැ­ළෙ­මින් සිටිති. මේ සම්බ­න්ධව අද­හස් දැක්වූ ස්ථානා­ධි­ප­ති­තුමා පව­සන්නේ මේ මොහොත වන­තු­රුත් ඝාත­නය සම්බ­න්ධව කිසිදු සැක­ක­රු­වකු පිළි­බ­ඳව තොර­තු­රක් නොලැ­බුණු බවත් හැකි තාක් ඉක්ම­නින් එය අනා­ව­ර­ණය කර ගැනී­මට විම­ර්ශන කට­යුතු නොන­වත්වා සිදු කර­මින් පව­තින බවත්ය. කෙසේ වෙතත් මේ සම්බ­න්ධව පොලිස් පරී­ක්ෂණ විධි­මත්ව සිදු කෙරෙ­මින් පව­තින අතර ඒ සඳහා උදව් ලැබුණ අය සම්බ­න්ධ­යෙන් මෙන්ම මෙම ඝාත­නය කිරීම සඳහා කවර හෝ පුද්ග­ල­ය­කු­ගෙන් පුද්ග­ල­යන් කිහිප දෙනකු ගෙන් උදව් ලැබී ඇත්ද යන කරුණ සම්බ­න්ධ­යෙන් ද අව­ධා­නය යොමු වී තිබේ.

ව්‍යාපා­රි­ක­යාගේ මර­ණය සම්බ­න්ධ­යෙන් මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණය කැස්බෑව මහේ­ස්ත්‍රාත් රුචිර වැලි­වත්ත සිදු කළ අතර පරී­ක්ෂණ කට­යුතු අව­සන් වීමෙන් පසු සැක­ක­රු­වන් වහාම අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස නියෝග කරන ලදී. අන­තු­රුව හදිසි මරණ පරී­ක්ෂ­ණයේ දී අනා­ව­ර­ණය වූයේ මොට ආයු­ධ­ය­කින් හිසට පහර දීමෙන් එම ඝාත­නය සිදුව ඇති බවයි.

මෙම සිදු­වීම සම්බ­න්ධ­යෙන් බස්නා­හිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන්ගේ උප­දෙස් මත ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී රොහාන් ප්‍රේම­රත්න, පොලිස් අධි­කාරී සමන්ත වෙදගේ යන නිල­ධා­රින්ගේ අධී­ක්ෂ­ණය යටතේ පිළි­ය­න්දල පොලි­සියේ පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක රංජිත්ගේ මූලි­ක­ත්ව­යෙන් මෙහි සම්පූර්ණ පරී­ක්ෂණ කට­යුතු සිදු­වෙ­මින් පවතී. එමෙන්ම මේ අධී­ක්ෂණ කට­යුතු උදෙසා පරි­පා­ලන අංශයේ ප්‍රධාන පොලිස් පරී­ක්ෂක කමල් කොඩි­තු­වක්කු, අප­රාධ අංශයේ ප්‍රධාන පොලිස් පරී­ක්ෂක හා උසාවි කට­යුතු සම්බන්ධ උප පොලිස් පරී­ක්ෂක දන්ත­නා­රා­යන යන අය මේ සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ කට­යුතු සඳහා සම්බන්ධ වී සිටිති.

 

Comments