කවි මඬල | සිළුමිණ

කවි මඬල

කෘතිය -ගොළු වෙණ තුරුලු කරගෙන

කර්තෘ -ළහිරු කරුනාරත්න

ළහිරු කරුණාරත්නගේ ගොළු වෙණ තුරුලු කරගෙන කාව්‍ය සංග්‍රහය මෙවර සතියේ කවි පොතට හඳුන්වා දෙනු කැමැත්තෙමි. මෙය ළහිරුගේ තුන්වැනි කවි එකතුවයි.

ඔහු විසින් ලිය ලද කවි අතරින් තෝරා බේරාගත් අපූරු කවි රැසක් මෙහිදි අපට හමුවේ. ඒ කවි හෘදයාංගමය. හෘදය සංවේදීය. පාඨකයාගේ හදවත සමඟ සංවාදයේ යෙදෙයි.

ඇතැම් දිනවල මිදුලේ කොනකදි ඔබට ද මටද මෙවන් දෑ හමු වී තිබෙනු නොඅනුමානය. ඒ අත්හැර දැමූ බිම වැටි කුරුළු කූඩය. මොහොතකට සිතෙන්නේ මේ කූඩුවේ කුරුළු පැටවුන් සිටිනු ඇතැයි කියාය. අප එය එහෙන් මෙහෙන් විපරම් කර බැලු වාර අපමණය. අපට මෙන්ම කවියාටද ලැබෙන්නේ බිම වැටුණු අතැහැර ගිය කුරුළු කූඩුවකි. කෙනෙකු එහි පැටවුන් ඇතිදැයි සිතන විට කවියා සිතන්නේ, ඔහුට දැනෙන්නේ පෙර දවස කිචි බිචියෙන් කුරුලු පවුලක් ජීවත් වූ අපූරුවය. ඒ කුරුලු පවුලේ උණුසුමය.

මාතෘකාව බිම වැටුණු කුරුලු කූඩුව

“ විසි කරන්නට

හිත නොදෙයි එද

කසල හා විසුමට

ඇසෙයි

පැටි කුරුලු

කිචි බිචිය

දැනෙයි

මවු කිරිල්ලගෙ

උණුසුම

සීරුවට ‍

ගෙන තබමි

උස් අතුපතර“

කවියේ අවසාන පද වලින් පාඨකයාට සිතෙනු ඇත්තේ කැදැල්ලක අැති වටිනාකමයි. කඩා බිදදමනු වෙනුවට කැදැල්ලක් ආරක්ෂා කිරීම බොහෝ වටිනා බවය. වර්තමානයේ බිඳ වැටෙන පවුල් සංස්ථා කැඩී බිඳි නොයන්නට දී කවුරුත් එක්ව අරක්ෂා කළ යුතුයැයි යන්න, පවුලක ඇති වටිනාකම කවියා බිම වැටුණ කුරුලු කූඩුව තේමා කර ගනිමින් කියන්නට උත්සාහ කරන බව හැඟේ.

මිනිසුන් එකිනෙකා කා කොටා ගෙන මරා ගන්නේ මුදල වෙනුවෙනි. පාතාලය විසින් තම අභිප්‍රායන් ඉටුකර ගැනීම සඳහා මිනිසුන් මරා දෑමීම අද බොහෝම සිල්ලර සිදුවීමක් බවට පත්ව තිබේ. මිනීිමරුවකුට වුවද හෘද සාක්ෂියක් ඇතැයි ද, ඔහුගේ හදවත තුළ ද මොහොතකට හෝ පශ්චාත්තාපයක් ඇතැයි යන්න අපට සිතෙන තැනකි මේ. පුද්ගල ඝාතනයක් සිදු කළ මිනීමරුවාට ඔහුගේ නිවෙසින් ලැබුණ කෙටි පණිවුඩයකි මේ. මාතෘකාව පාතාල කතාවක්.

“ගොඩක් රෑ වෙන්න කලින් ගෙදර එන්න

චූටි දූ අඬනවා දිගටම“

මා අතින් මියගිය ඔහුටත්

එවැනිම පණිවුඩයක්

මේ දැන්

ඇවිදින් ඇති ද?“

කොතරම් දරුණු වුවද යම් අවස්ථාවක මිනිසුන්ට මිනිසුන් දැනෙන තැන් තිබෙන බවට මෙය සාක්ෂියක් වැන්න.

ළහිරුගේ ඇතැම් කවි කෙටිය. නමුදු ඒ කවි වල මහා කතාවක් ඇතැයි ඒ කව දෙතුන් විටක් කියන විට හැඟේ.

අප සැවොම අතීතකාමිය. අපේ බාල කාලය සුව පහසුකම් නැති නිවසක ගෙවුණද අම්මා තාත්තා ඇතුළු පිරිස දිවි ගෙවූ ඒ කුඩා නිවෙස සොඳුරුය. ජීවිතය තිබුණේ එතැනය. නමුදු අතමිට සරුව, විසල් නිවෙසක් තැනු පසු ඒ නිවෙසේ, කුඩා නිවසේ තිබූ එකමුතු බව, සමගිය, හමු නොවේ. ගෙවන කාලය සමඟ, එකිනෙකා අතර ඇති වූ හිස් බව, දුරස් බව ජීවිතය වී ඇති බැවිනි.

මාතෘකාව ‘ඉඩ.‘

කුඩා මහගෙය

කඩා ඉදි කළ

මෙ සුවිසල් ගෙය

තිබේ වැඩිකර

තිබෙන ඉඩකඩ

ගෙතුළ විලසම

එතුළ නිවසන

අප ද අතරෙහි

විවිධ මාතෘකා ඔස්සේ ලියැවුණ, අර්ථ පුර්ණ කවි රැසක් අපට ‘ගොළු වෙණ තුරුලු කරගෙන’ කාව්‍ය සංග්‍රහයේදී හමුවේ. මෙම කාව්‍ය සංග්‍රහය සන්ථව ප්‍රකාශනයකි.

***************

නො(වෙනස්)

ස්කයිප්..මැසෙ­න්ජර්... වට්ස්ඇප් ද තියෙ­නවා..
හැම­දාම හැන්දෑවෙ මුහුණ නම් දකි­නවා..
ආදරේ අඩු නැතිව ඇස් දෙකේ තියෙ­නවා..
කියා­ග­න්නට නොහැකි මහ දුකක් දැනෙ­නවා..

සිරප්..විට­මින්..බෙහෙත්
හැම­දේම ලැබෙ­නවා..
සනී­පෙන් ඉන්න යැයි
හැම­විට ම කිය­නවා..
තවත් මොන­වාද අඩු
එව­න්නම් කිය­නවා..

ඒත් ලොකු හිස්තැ­නක්
හිත ඇතුළෙ තියෙ­නවා..
සැකක් නෑ ආදරේ තරම මම දන්නවා..
තටු ඇතොත්.. පිය­ඹලා
එන බවත් දන්නවා..
ළං වෙලා කිරි සුවඳ
විඳි­න්නට හිතෙ­නවා..
ඒ වගේ "ඇප්"එකක් තවම මම සොය­නවා..

ඒ.ඩී. එස් ඉන්ද්‍රානි

*************

දැන් ඇති

බිය­කින් සිටින්නේ ජනයා මේ කාලේ
සිසු දරු­වන්ට ඉගෙ­නුම නැත ඉස්කොලේ
ඇන­හිට තිබේ සේවය ඉස්පිරි තාලේ
ගෙතු­ළම තමයි ගෙවුණේ අවු­රුදු කාලේ

පෙර­හැර තොරණ සැර­සිලි දන්සැල් නේක
තිබුණා එදා වෙසගේ සුන්දර රෑක
බුදු­ගුණ සම­ර­මින් නොව කර­මින් ශෝක
වෙසගේ ගත වුණා පාලුව රැඳී ගේක

පිරි­සිදු තැනට මුල් තැන දී වැඩ කරමු
මුව ආව­රණ හැම කෙනෙ­කුම පැළඳගමු
රජ­යෙන් කියන වත් පිළි­වත් පිළිපදිමු
මීට­ර­යක් දුරින් සිට­ගෙන වැඩ කරමු

දයා­නන්ද වීර­රත්න

****************

කිය­විය නොහැකි කවිය

ඈ මට කවකි පද­යෙන් පද එකට බැඳී
නිම නැති නොතිත් කවි­කම් පිරි සෙනෙහෙ රැඳී
පද­යෙන් පදය ගෙන විම­සමි අරුත් සැදී
හැකි වෙද අරුත් විම­ස­න්නට ඇගෙන් මිදී

නිහඬ ව බලා ඉන්නෙමි ඇගෙ උවන දෙස
කියවූ කවිය යළි කිය­වමි බලා ඇස
කප් කෙළ කාල­යක් කියවූ නමුදු සිත
අරු­තට නිරු­ත­කට ඇය ඉඩ තබා නැත

ධනුෂ්ක පුෂ්පකුමාර

************

ප්‍රේමයේ පාංශු­කූ­ලය

කෝ කොහේ සැඟ­වුණි ද
මගේ ඒ පෙම් පිරූ හද­වත...
කාල­යක් මම හදින් සැන­සුණා
හද පුරා ප්‍රීතිය ද බේරුණා
නිල් නුවන් හින­හුණා
තුටු කඳුළු දිලි­සුණා...

ප්‍රේමයේ කුරු‍ටු ගී
හද­වතේ ලිය­වුණා
ඒ ගීත මුමු­න­මින්
ගී අඹරේ වැජ­ඹුණා...

විර­හවේ අඳුරු සෙව­ණැලි
වසා මුළු හද­වත
විසැති කටු­ව­ලින් ඇණ
වැගි­රුවා රුධි­ර­යම...

මිනි­ස්කම සැඟ­විලා
හද­ව­තින් සද­හ­ටම
ඇය ගියා හද මරා­ගෙන
ප්‍රේමයේ පාංශු­කූ­ල­යට...

මේදනී මැණි­ක්කු­ඹුර

***********

නොයි­දුල් මලේ

කන­දරා වැව් කෙළ­වරේ
පිපී හිනැ­හුණු ආදර මලේ
දුක් වුණේ­වත් නැති
නුබේ ආදරේ හැටි ....

අම­ත­කව ගිය
මතක හමුවේ
නිදා නොනිදා
දුකම ගෙන එන
එය නම් ආදරේ
මහ පුදුම ගති ....

හැති වැටී
මතක ම විද දරා
සසර රෝගෙන්
ගිලන් වී හිත
අය­දියි ආදරේ
නොයි­දුල් ආදරේ ....

විශ්ව ජය­ම්පති බණ්ඩාර

**********

ප්‍රිය බිරිඳ


ආදර දයා­වෙන් උතු­රන හදක් සතූ
රුවැ­ත්තිය නුඹයි මා සිත නිතර පැතූ
සොදු­රිය කර ගන්න නින්දෙදි හීන පැතූ
මිහි­රා­විය ඔබයි සැමදා මා සිතින් පැතූ

තුෂාර ගම­ගෙ­දර

*********

අමුතු මහ පොළොවේ

පිපී එන්න පොළොවේ
සුපෙ­ම්බ­රව සිතුසේ
සුවඳ අර­වින්ද යායේ
සිසි­ල­සින් ගිලිහී
දර­න්නට නම් දිවියේ
කටුක සර­තැස බොහො සේ
පිපී ආ යුතු­මයි
අමුතු මහ පොළොවේ
විඳි­න්නට නම් දිවියේ
සොඳුරු අග ඵල පැතුසේ
පිපී ආ යුතු­මයි
නිබඳ මහ පොළොවේ

චන්දන වෛද්‍ය­සේ­කර

*************

සිත සන්සුන් වේවා!

උප­දින වෙහෙස සම­ඟින් දුක දරා­ගෙන
මතු­භ­ව­ය­කට මඟ සල­කුණු හදා­ගෙන
පිය­වර මනිනි දිවි­මඟ කල් ගෙවා­ගෙන
දව­සක් සොයමි සස­රෙහි දුක නිමා­ගෙන

පස් පව් මළ­ක­ඩින් සිත් මල් මුදා­ගෙන
පිවි­තුරු සුදු සළුව හද තුළ රුවා­ගෙන
මනු­දම් ගුණ සුවඳ දස­තම විදා­ගෙන
බුදු­හිමි පුදමි මන­සින් වැඳ වැටී­ගෙන

සිතු­විලි නිවෙන භව­යට දිවි කතර ගෙවා
සම්බුදු සරණ සිහි­ලකි මරු අසල පවා
සැන­සුම සිතට ගෙන දෙන දුක් අඳර දවා
දස කුස­ල­යෙන් නැහැ­වෙමි දම් පවස නිවා

චම්පා සුද­ර්ශනී පනා­වල

**************


නුඹ රඟයි

මා කර­ළියේ
කෙහෙ­රැල් පැටලී
ගැටී නොගැටී
දෙතොල් තෙරපී
දෑත් දෙපා මිරිකී
සිහින් කෙඳි­රිලි
නැගී නොනැගී
සවන් පෙති මත
රැඳෙන සුසු­මක්
කිති කවා හද
යදියි
දැනේ නුඹ රඟනු
මා කර­ළියේ
නෙත් පියන් මත
දෙව්ලොව සිරි මැවෙන්නේ
සිහි­න­යක මා සරන්නේ
නිල් මොනර පිල් විදයි
ඒ සිහි­නයේ
නුඹ රඟයි
මා කර­ළියේ...

ක්‍රිසන්ති විතා­රණ

***********

“ෆ්ලොයිඩ්”

මේ අසන් සඟය
කළු- සුදු
දුප්පත් පොහො­සත්
මිනි­සුන්ට ඇයි මෙත­රම්
භේද­යක්....

කළු සමට
සුදු රටේ ඉඩ නැද්ද
උන්ගෙ රුධි­ර­යත්
නුඹේ රුධි­ර­යත්
එකම පාට නම්
උප­න්නෙත් මවු කුස නම්
එක ඉරක්
එක සඳක්
එකම මහ පොළොව මත
කල්ලන්ට- සුද්දන්ට
ඇයි ද මේ භේද­යක්..

රත් වුණු මහ පාරේ
පා පහර දී
නුඹෙ හුස්ම පැහැර ගත්
උන්ට කෑ ගසා කියා­පන්
නිදසේ ජීවත් වන්නට
ඇති අයි­තිය ...

ජීවි­ත­යක වටි­නා­කම
හඬ නගා කියා­පන් මුළු ලොවට


රත්න­සිරි පති­රණ

********

දඟ­කා­ර­කම

එන්න, මම ඔබ ගෙන බිමින්
තබා ගන්නම් මා උර මතින්
පා තබා පිය මැන සෙමින්
සිප­ගන්න හැකි වන ලෙසින්
සඳේ නළ­ලත හිනැ­හෙ­මින්

ඔබේ දඟ තොල් පෙති­ව­ලින්
දකි­න්නට ඇති ඔබ හොඳින්
සඳ­ව­තිය පාව ඇවි­දින් දුරින්
නැව­තිලා හිටි හැටි ළඟින්
රැයේ මහ ගන’ඳුර මැදින්

(ප්‍රකට උර්දු කවි­යකු වන ගුල්සාර් විසින් රචිත කාව්‍ය නිර්මා­ණ­යකි)


ගුල්සාර්


විශි­ෂ්ට­තම උර්දු කවි­යකු මෙන්ම ගීත රච­ක­යකු, කෙටි­කතා රච­ක­යකු සහ සින­මා­ක­රු­වකු ලෙසද ප්‍රකට ඔහු 1934 වසරේ අගෝස්තු 14 බ්‍රිතාන්‍ය යට­ත්වි­ජිත යුගයේ ඉන්දි­යාවේ (දැන් පාකි­ස්තා­නයේ) ජෙලුම් දිස්ත්‍රි­ක්ක­යේදී සම්පූ­රන් සිං කාල්රා නමින් උපත ලැබීය. ඔහු වඩාත් ජන­ප්‍රිය වූයේ නිර්මාණ කට­යුතු සඳහා යොදාග්නා ලද ගුල්සාර් නමැති ආරූඩ නාම­යෙනි. කාල­යක් ගැමි පරි­ස­ර­යක ජීවත් වූ ඔහු පසු කලෙක ඉන්දි­යාවේ මුම්බායි නුව­රට සංක්‍ර­ම­ණය විය. ඉන්දි­යානු සින­මාවේ දැවැ­න්ත­යින් වූ බිමල් රෝයි, රිෂි­කේෂ් මුකර්ජි සහ හේමන්ත් කුමාර් වැනි ප්‍රවී­ණ­යින් සමඟ සිය සිනමා නිර්මාණ දිවිය ඇරඹූ ඔහු ඉතා මිහිරි සහ අර්ථ­වත් චිත්‍ර­පට ගීත විශාල ප්‍රමා­ණ­යක් රචනා කළේය. නව මුහු­ණු­ව­රක් ගත් සිනමා තිර­පි­ටප්ත ගණ­නා­වක් රචනා කළ ඔහු පසුව සිනමා අධ්‍ය­ක්ෂ­ව­ර­යකු ලෙසද කට­යුතු කළේය.

අජිත් නිශාන්ත

**********

විවාහක රූ රැජනගේ සැමියාගේ කව

සඳ­වත උනා­දැමු සළු පොට උඩු සුළඟේ
සෙනෙ­හස ලබයි සිත් අහ­සට වැද හැමගේ
හද­වත කකි­යනා හැඟු­මන් විත් සිතගේ
දෙන වේදනි උසු­ලනු කෙලෙ­සද නොහැඟේ

රැජ­නය ලෙසින් හිමි කිරු­ළත් දරා­ගෙන
පිපුණ මල් සුව­ඳත් අරා­ගෙන
බර­ටම පලස් විල්ලුද මඟ එලා­ගෙන
එන­විට මුහුණ පිබි­දුනි සද පතා­ගෙන

පාර කොනේ විකි­ණුව කීරෙට පෙරදා
සෙනෙහෙ පොදක් හිත ගෑ හැටි සිත විහිදා
ආල කැක්කු­මක් වීගෙන හැම පරදා
ගෙන­විත් බිසව කර­ගති බාධක හැරදා

අඳුර ගාටනා විට සිරි යහන පුරා
බිඳුන රිඳුන තැන් පිළි­බද සිතම ආරා
නැගුන වේදනා ඔසු ලද හෙයින් කිරා
මැන බැලු­මක් කොහිද කෙස් රොද අවුල් කරා

නිල­තල සමුළු වෙත උස්සා­ගෙන යන්න
දහ­සින් බැඳි පියලි සන්තෝ­සම් දෙන්න
පොර­කන ටයි­කෝට් පෙර­හර වෙත පන්න
තනි­මඟ යනවා දුම්බර කඳු­රක් මෙන්න

රංජිත් මල්ලුවා­වඩු

*************

අදුර වට පිට බලා­ගෙන ඉන්නවා
නුඹට හමු වෙලා තව සිතක්
හද­වතේ සිහි­නය සැබෑ කර
නුඹ ඇවිත් ඉන්නවා නෙත් දොර­කඩ

සුළඟ සේ ඇවි­දින් මා දෑඟිලි පට­ල­මින්
විදියේ ඇවි­දියි තුරු පත් බිම වැටුණු සේ
කදුළු අත­රින් පෙනෙන තැබෑ­රුමේ
ලිහමි ඔබ ළඟ තියලා ආව ආදරේ

දිගා වී සඳ නැමී වැතිරි මේ යහනේ
දැනෙයි නිත­රම නුඹේ සිත මගේම වාගේ
දමා යන්නට සිතක් සිතුණි ද ආයේ
එපා එන්නට තනි­කම හොඳයි ඔබ වාගේ

මංජුල සෙනෙ­වි­රත්න

***********

පැතුම


තේ කූඩෙන් මුවා කරන්
රැක­ග­ත්තත් මා රහසේ
සයුරු වල­ල්ලෙන් එපි­ටට
ඔබෙන් වෙන්ව ගිය දවසේ

ගැලූ කඳුළු විය­ලෙ­න්නැති
තේ ගස් යට තණ පලසේ
හෙලූ සුසුම් මිය­දෙ­න්නැති
හන්තා­නට උඩ අහසේ

දිවා රැයේ නෙත නොපියා
හිස් අහසේ මා සෙව්වේ
වලා­කු­ලක නැගී ඇවිත්
යළි ගෙන එන්නද බැලුවේ

අතට දුන්නු කාසි කොලත්
උඩු සුළ­ඟට විසි කෙරුවේ
ගිනි කඳු පිපි­රෙන ඔබෙ හද
කවු­රු­න්වත් නැහැ දුටුවේ

විසල් මැදුරු සඳ­ලු­තලේ
නැහැ කිරි සුව­ඳක් තිබුණේ
කබා පොරව ගත්තත් මට
නැහැ ඔබෙ උණු­සුම දැනුණේ

සිනා­සු­නත් දෙතොල් විදා
කඳු­ළැලි සඟවා දෙනෙතේ
හිස් වුණු හද මඬල මගේ
අද වෙන තුරු නැහැ පිරුණේ

ඔබව සොයා මං එනවා
ඉන්න තැනක් මට කියන්න
සැක­යක් නෑ අම්මෙ ඔබට
හැකි­වෙයි මා අඳුර ගන්න

එදා සුවඳ අදත් දැනෙයි
හද­වත ගිනි නිවා ගන්න
ඔබ මට ඕනෑ­මයි මේ
සංසාරේ ගමන යන්න

දම්මිණී ප්‍රේම­චන්ද්‍ර ෆොන්සේකා

*************

දූවරු


දූවිල්ල වැදී ඇස් රතු ­වු­ණත් දුව ­ එන්න
ආද­රෙන් බදා­ගෙන නෙත ­ක­ඳුළු පිස­ලන්න
ජීවිතේ හැම­දාම සින­හ­වෙන් පුර­වන්න
දුවෙක් ඉන්න­වා­නම් ඒ මදැයි සැන­සෙන්න

ආදරේ පුරෝ­ගෙන තුරු­ල්ලෙම නැළ­වෙන්න
නෝක්කඩු කියෝ­ගෙන හුර­ත­ලෙන් වද ­දෙන්න
චාටු­වෙන් මාය­මෙන් හැම­දේම කර­ගන්න
කෙල්ලො තර­මට දන්න කවු­රු­වත් ඉන්න­වද

දුක වැඩිම මොහො­ත­කත් සිනා අර­ගෙන වඩින
උතු­රන්න ආදරේ මුළු ගෙද­ර­ටම බෙදන
දුක සතුට දෙකම ළඟ තනි නොකර ළඟ ඉන්න
දෝණි­යෙක් ඉඳිද්දී තවත් වෙන මොන­වාද

දරා­ගනු බැරිම විට බදා­ගෙන වැළ­පෙන්න
ජීවිතේ හැම­දේම නොස­ඟවා පව­සන්න
වාරු නැති දව­ස­කත් අල්ල­ගෙන ඇවි­දින්න
දුවෙක් තර­මට වටින වෙනත් මැණි­කක් කොහෙද

කූඩු වී ඉගි­ලිලා ගියත් වෙන් වී දිනක
හිතින් දුර යන්නෙ නෑ දූව­රුන් කිසි­දාක
ජීවිතේ අරුත හරි හැටිම තේරුම් යන්න
දුවෙක් ඉන්නම ඕනෙ පණ යද්දි ළඟ ඉන්න


අනිශා ජය­කොඩි

 

Comments