එළිවෙන ජාමයේදී එළියට එන පාස්කු ප්‍රහාරයේ හොඳ හොඳ සෙල්ලම් | සිළුමිණ

එළිවෙන ජාමයේදී එළියට එන පාස්කු ප්‍රහාරයේ හොඳ හොඳ සෙල්ලම්

ශ්‍රී ලංකාවේ සිවිල් ජනතාව ඉලක්ක කර එල්ල කරන ලද ම්ලේච්ඡතම ප්‍රහාරය වන්නේ පාස්කු ඉරිදා අයිඑස්අයිඑස් ත්‍රස්ත ප්‍රහාරයයි. ඒ සම්බන්ධව සෙවීමට පසුගිය රජය විසින් පත් කළ කොමිසම්, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ගැන අගතියට පත් වූ පාර්ශ්වයන් සෑහීමකට පත් වූයේ නැත. එහෙත් වත්මන් රජය පාස්කු ප්‍රහාරය සම්බන්ධ සෙවීමට පත් කළ කොමිසම හමුවේ මේ වන විට බළලුන් රැසක් මල්ලෙන් එළියට පැමිණෙමින් තිබේ.

බුද්ධි අංශ හරහා අවශ්‍ය තරම් තොරතුරු ප්‍රහාරයට පෙර ලැබී තිබුණු බවටත් මෙරට අයිඑස්අයිඑස් සංවිධානයේ ක්‍රියාකාරීන් සිටි බවත්, එහෙත් ඒ සම්බන්ධව දැනුවත් කිරීම් හමුවේ පවා නිසි ක්‍රියාමාර්ග නොගත් බවට තොරතුරු මේ වන විට කොමිසම හමුවේ අනාවරණය වෙමින් පවතී.

කනගාටුවට මෙන්ම ලැජ්ජාවට කරණ වන්නේ එවකට නීතිය පසිඳාලිය යුතු පාර්ශ්වයන්ට සෘජුවම කරුණු ලබා දී තිබියදීත් එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමය‍.

පසුගිය ජූලි 1 වැනිදා සහ 2 වැනිදා කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් සාක්ෂිකරුවන්ගෙන් හෙළි වූ කරුණු අනුව පැහැදිලි වූයේ ප්‍රහාරය සිදු කරන්නට ඉඩ දී නිහඬ වූවා වැනි තත්ත්වයකි.

රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු කොමිසම හමුවේ පසුගිය 1 වැනිදා සිදු කළ සාක්ෂි දීම් හමුවේ අනාවරණය වූයේ ප්‍රහාරයේ තොරතුරු ලැබී තිබුණත් අදාළ අංශවලින් නිසි ක්‍රියාමාර්ග නොගත් බවයි. බුද්ධි අංශ නිලධාරියකු මෙහිදී හෙළි කෙළේ 2019 වසරේ අප්‍රේල් 4 වැනිදා ප්‍රහාරය පිළිබඳව නිශ්චිත තොරතුරු ලැබී තිබූ බවයි. එහෙත් ඒ සඳහා නිසි ඇගැයීමක් නොලැබුණු බවද ඔහු කොමිසම හමුවේ අනාවරණය කරන ලදී. මෙවන් වටිනා බුද්ධි තොරතුරු එල්ටීටීඊ යුද සමයේ පවා නොලැබුණු බවද එම නිලධාරියා කොමිසම හමුවේ අනාවරණය කරන ලදී. ඔහු ජනාධිපති කොමිසමට පවසා සිටියේ රාජ්‍ය බුද්ධි සේවය අවිධිමත් හා නොසැලකිලිමත් ලෙසින් කටයුතු කිරීම නිසා එම තොරතුරුවල බරපතළ බව හීන වී ගිය බවයි.

පාස්කු ප්‍රහාරයට පෙර මෙරට තුළ සිදු වූ අන්තවාදී ක්‍රියාකාරකම් සිද්ධීන් කිහිපයක් ගැන රාජ්‍ය බුද්ධි සේවය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගෙන් තොරතුරු විමසුවද ඊට කිසිදු ආකාරයක ප්‍රතිචාරයක් නොලැබුණු බවද සාක්ෂිකරු කොමිසම හමුවේ අනාවරණය කෙළේය.

පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් පසුව දෙහිවල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් සැකකරුවකු මුදාහරින ලෙස එවකට රජයේ ප්‍රධාන අමාත්‍යවරයකු යුද හමුදාපතිවරයාට දුරකතන ඇමතුමක් ලබා දුන්නේදැයි කොමිසම විසින් සාක්ෂිකරුගෙන් විමසා සිටි අතර; බුද්ධි අංශ නිලධාරියා පවසා සිටියේ හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුද්දීන් විසින් එවකට යුද හමුදාපතිවරයාව සිටි ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායකට දුරකතනයෙන් කතා කර සැකකරුවකු ගැන විමසීමක් කර තිබු බවයි.

ඉන් පසුව සාක්ෂි ලබා දුන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ චන්ද්‍රා වාකිෂ්ඨය‍.

එහිදී කොමිසම විසින් පෙන්වන ලද C 4 B ලෙස සදහන් ලේඛනයක් සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඔහු පැවසුවේ මෙවැනි නිශ්චිත තොරතුරු ලේඛනයක් තිබියදීත් ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම ගැන තමන් මවිතයට පත් වූ බවයි. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාට ඕනෑම අවස්ථාවක දුරකතනයෙන් ජනාධිපතිවරයා හා සම්බන්ධ විය හැකිද යන්න කොමිසම කළ ප්‍රශ්න කිරීම හමුවේ, රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාට අපායේ සිට වුවත් ජනාධිපතිවරයා හා සම්බන්ධ විය හැකි බව නියෝජ්‍ය පොලිස්පතිවරයා අනාවරණය කෙළේය.

මේ ප්‍රහාරයේ ඉතා වැදගත්ම හා ප්‍රබල සාක්ෂි ගෙන හැර දක්වන ලද්දේ හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයකු වූ මොහොමඩ් මොහිදීන් අබ්දුල් ගෆූර්ය. ඔහු පැවසුවේ මෙරට ක්‍රියාත්මක අයිඑස්අයිඑස් ත්‍රස්ත කණ්ඩායම් ගැන ‘යහපාලන‘ රජයේ හිටපු අමාත්‍යවරුන් දෙදෙනකු දැනගෙන සිටියත් ඒ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවයි. ඔහු මෙහිදී පෙන්වා දුන්නේ තමන්ට උසස් පෙළ උගැන්වූ ගුරුවරියක 2016 වසරේ දී දුරකතන ඇමතුමක් ලබා දෙමින් තම 23 හැවිරිදි ආෂික් නම් පුතු අයිඑස් සංවිධානය හා එක්ව කටයුතු කරන බවත් එසේ නොකරන්නැයි ඔහුට අවස්ථා කිහිපයකදී දැනුම් දුන්නත් ඔහු දිගින් දිගටම එම සංවිධානය හා එක්ව කටයුතු කරන බවයි. තම පුත් පැවසුවේ අම්මා වුවත් ‘නුඹ පවා මරා දමන්නට මට ඉහළින් අණ ලැබී තිබෙන ‘ බවයි. ඒ සම්බන්ධව දැනුවත් කිරීමට තම ඥාතියකු මාර්ගයෙන් එවකට විදේශ කටයුතු ඇමැතිව සිටි මංගල සමරවීර හමුවූ බව හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයා පවසා සිටියේය.

‘අභියාචනාධිකරණ විනිසුරුවරයකුව සිට දේශපාලඥයකු හමුවට ගියේ ඇයි‘ දැයි මෙහිදී කොමිසම විමසා සිටි අවස්ථාවේදී, ඔහු පවසා සිටියේ එකල තිබුණු වාතාවරණය භයානක බවත් ඉහළ සිට පහළට පැමිණීමේ ක්‍රියාදාමය අනුව තමන්ට එසේ කරන්නට සිදු වූ බවයි.

අමාත්‍ය මංගල සමරවිර මේ කරුණු අසා සිට ඒ සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකට දැනුම් දුන් බවද කොමිසම හමුවේ ඔහු හෙළි කෙළේය.

දෙදිනකට පසුව තමන් අරලියගහ මන්දිරයේදී සාගල රත්නායක හමුවූ බවත් තමන් පැවසූ සියලු තොරතුරු ‍ඔහු සටහන් කරගත් බවද හෙතෙම හෙළි කෙළේය.

තමන් ඉක්මනින් පියවරක් ගන්නා බව සාගල රත්නායක තමන්ට දැනුම් දුන් බවත් දින දෙක තුනකින් ඒ සම්බන්ධව තමන්ගෙන් කට උත්තරයක් ගැනීමට නිලධාරින් පැමිණෙතැයි බලා සිටි නමුත් ප්‍රහාරය එල්ල වන තුරුම ඒ ගැන කිසිදු ආකාරයක සොයා බැලීමක් සිදු නොවුණු බව ඔහු අනාවරණය කෙ‍ළේය . ඒ සම්බන්ධව තමන් දැඩි සේ කනගාටුවට පත් වූ බවත් ආෂික් නැමැත්තා ප්‍රහාරයෙන් පසුව අත්අඩංගුවට ගත් බව තමන් පුවත්පතකින් දුටු බවද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් පාර්ලි‍ෙම්න්තු තේරීම් කාරක සභාවට නොපැවසුවේ මන්දැයි කොමිසම විමසූ විට ඔහු පැවසුවේ ඒ සම්බන්ධව ප්‍රකාශයක් ලබා දෙන්නට තමන් අවස්ථා කිහිපයක් ඉල්ලා සිටියද ඊට අවස්ථාවක් ලබා නොදුන් බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පසුගිය 6 වැනිදා සාක්ෂි ලබා දුන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම වැඩ බලන අධ්‍යක්ෂකවරයෙක් ලෙසද සේවය කර ඇති විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති මොහොමඩ් හෆීස් මාසෝ පැවසුවේ රාජ්‍ය බුද්ධි සේවය පසුගිය කාලයේ කාර්යක්ෂමව ක්‍රියාත්මක නොකිරීම නිසා ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට නොහැකි වූ බවයි. මේ ප්‍රහාරයට සමාන ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වූ අන්තවාදී මුස්ලිම් කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පසුගියදා බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශවලට හැකිවූයේ බුද්ධි අංශ ලබාදුන් තොරතුරුවලට නිසි පරිදි අවධානය යොමු කළ නිසා බවද මාසෝ කොමිසම හමුවේ පෙන්වා දුන්නේය.

2019 අප්‍රේල් 4දා ඉන්දීය ඔත්තු සේවයක් විසින් ප්‍රහාරය පිළිබඳ මුල් තොරතුරු ලද අවස්ථාවේදීම රාජ්‍ය බුද්ධි සේවයේ එවකට සිටි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ඒ පිළිබඳ ආරක්ෂක ලේකම්වරයා සහ ජනාධිපතිවරයා දැනුවත් කිරීම අනිවාර්යය කරුණක් වූ බවද හෙළි කළේය.

එහෙත් දැන ගන්නට ඇති කරුණු අනුව ඔහු එසේ නොකර දින පහකට පසුව එනම් අප්‍රේල් 9 වැනිදා පොලිස්පතිවරයා දනුවත් කිරීම වගකීම් නිසිලෙස ඉටු නොකිරීමක් බවද මාසෝ කරුණු අනාවරණය කෙළේය. එමෙන්ම මෙම තොරතුරු ලැබී තිබූ ඉන්දීය ඔත්තු සේවය විශ්වාස කළ හැකි ලොව ඉහළම ශ්‍රේණිගත කිරීම්වලට යටත්ව තිබූ බවද ඔහු පැවසුවේය.මෙහිදී තව දුරටත් කරුණු අනාවරණය කළ ඔහු පෙන්වා දුන්නේ අදාළ බුද්ධි තොරතුරු නිශ්චිත තොරතුරක් බවත් ඒ අනුව අදාළ තොරතුරේ විශ්වසනීයත්වය 95% සිට 99% අතර පවතින බවයි. මෙවැනි නිශ්චිත තොරතුරක් ලැබුණු වහාම අදාළ වෙනත් බුද්ධි අංශ මෙන්ම තවත් ආයතන වලින් විමසා තහවුරුකර ගත යුතුව තිබූ බවත් චෙන්නායිහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් උප කොමසාරිස් කාර්යාලයේ බුද්ධි අංශ නිලධාරියෙක් සිටින බවත් ඒ හරහා රහසිගත විමර්ශනයක් සිදු කළ හැකිව තිබුණු බවද ඔහු අනාවරණය කෙළේය.

එමෙන්ම තොරතුරු සම්බන්ධව යම් හෝ සැකයක් තිබුණේ සිදු කළ යුත්තේ අතුරු වාර්තාවක් මගින් තොරතුරු සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කිරීම බවත් අනතුරුව දින දෙකක් තුනක් ඇතුළත සොයා බැලීමක් කර සම්පූර්ණ වාර්තාවක් ලබාදීම බවයි.

එය රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයාගේ වගකීමක් බවද ඔහු අනාවරණය කෙළේය. මෙහිදී සාක්ෂිකරුගෙන් අතිරේක සොලිසිටල් ජනරාල්වරිය විමසා සිටියේ රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂකවරයා විසින් රාජ්‍ය බුද්ධි ප්‍රධානියාටත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් තොරතුරු දැනුම් දීමක් කළ විට ඔවුන් ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නේ නැතිනම් කළ යුත්තේ කුමක්ද යන්නයි.අනතුරුදායක තත්ත්වය‘ සම්බන්ධව අවබෝධ කළ යුතු බව එහිදී ඔහු පෙන්වා දුන්නේය.

එහිදී සාක්ෂිකරුගෙන් කොමිසම දිගින් දිගටම විමසා සිටියේ ‘ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙන්ම ජාතික බුද්ධි ප්‍රධානියාටත් කොතරම් කරුණු කීවත් අවධානය යොමු කරන්නේ නැති බව රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂකවරයාට තේරුම් ගියහොත් ඔහු ‘ මම ඉහළින් ඉන්න දෙන්නම දැනුවත් කළා, ඒ අය පියවරක් ගන්නේ නැති නම් මට කරන්න දෙයක් නැහැ, කියල ඔහුට නිකම් ඉන්න පුළුවන්ද?‘ යන්නයි.

ඔහුට එසේ කළ නොහැකි බවත් ඒ සම්බන්ධව නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා, රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා හෝ ආරක්ෂක ඇමැතිවරයා වන ජනාධිපතිවරයා හෝ දැනුවත් කළ යුතු බවද සාක්ෂිකරු අවධාරණය කෙළේය. ජනාධිපතිවරයා සේනාවිධායක බවත් බුද්ධි අංශය තිබෙන්නේත් ඔහු යටතේ බවත් පෙන්වා දුන් සාක්ෂිකරු සේනාවිධායකවරයා එවන් තොරතුරක් දැනගෙන සිටිය යුතුම බවද අවධාරණය කෙළේය.

පසුගිය 7 වැනිදා ද මේ සම්බන්ධව විශේෂිතම කරුණු රැසක් හෙළිව තිබුණි. ඒ කොළොන්නාව තඹ කර්මාන්තශාලාවේ කළමනාකරු මොහොමඩ් ඉෂාඩ් විසින් පවසන ලද කරුණු අනුවය. අදාළ තඹ කර්මාන්ත ශාලාව සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු ලෙස හඳුනාගෙන ඇති ඉන්ෂාඩ් අහමඩ්ට අයත් වන අතර ඔහුට අයත් තඹ කර්මාන්තශාලාවේ මෙරට සේවකයින් 30ක් ඉන්දියානු සේවකයින් 20ක් හා නේපාල, බංග්ලාදේශ සේවකයන්ද සිටි බව කොමිසම හමුවේ සාක්කිකරු විසින් පවසන ලදී.

විදේශ රටවල සේවකයින් මෙරට සේවය සඳහා තබා ගැනීමට වීසා ලබා ගන්නේ කෙසේදැයි කොමිසම විමසූ විට සාක්ෂිකරු පැවසුවේ වාණිජ කර්මාන්ත අමාත්‍යාංශය හරහා එය සිදු කරන බවයි.

පාස්කු ප්‍රහාරයට පෙර ඉන්ෂාඩ් ලෑන්ඩ් කෘෘෂර් වර්ගයේ නවතම සුපිරි ජීප් රථයක් මිලට ගෙන තිබු බවත් තමන් එය 2019 අප්‍රේල් 18 වැනිදා දුටු බවද ඔහු පැවසීය. එමෙන්ම ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ මීට වසර 3කට පෙර කර්මාන්ත ශාලාවේ ප්‍රධාන කාර්යාලයේ සාකච්ඡා කාමරයේ ඉන්ෂාඩ් අහමඩ් සහ ඔහුගේ සහෝදරයකුත් දෙහිවල ට්‍රොපිකල් ඉන් බෝම්බය පුපුරවා ගත් තැනැත්තාගෙන් අරාබි භාෂාව හොඳින් අධ්‍යයනය කළ බවයි.

අප්‍රේල් මස 17 වැනිදා ඔහු තමන්ට මිලියන 34ක චෙක්පතක් මාරු කරගෙන එන ලෙසත් එයින් සහෝදරයාටත් ඔහුටත් මුදල් ලබා දීමෙන් පසු ඉතිරි මුදල් සේප්පුවේ දැමූ බවද පසුදිනද මිලියන 34ක චෙක්පතක් එසේ ලබා දුන් බවයි. අප්‍රේල් 18 වැනිදා ත්‍රිරෝද රථයකින් පැමිණි අයකුගේ පිටේ එල්ලාගෙන යන බෑග් එකකට මුදල් පිරවූ බවත් රුපියල් පක්ෂ 65ක මුදලක් ජීප් රථයේ පිටුපසින් තබන ලෙස තමන්ට දැනුම් දුන් බවද ඔහු පෙන්වා දුන්නේය.එමෙන්ම එදින හිස් චෙක්පත් 10කට අත්සන් යොදා නවතම රථයේ පොත තමන්ට බාර දුන් බවද ඔහු කොමිසම හමුවේ අනාවරණය කෙළේය.මේ බෝම්බ පිපිරිම සම්බන්ධ කරුණු පැටලුණු දම්වැලක පුරුක් මෙන් දිනපතාම එකින් එක දිගහැරෙමින් පවතී.

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් යොමු කළ අසම්පූර්ණ ලිපි ගොනු 38ක් වැඩබලන පොලිස්පතිවරයා වෙත ආපසු යැමීමට නීතිපතිවරයා විසින් කටයුතු කර තිබුණි. කෙසේ හෝ මේ වන විට බොහෝ අයගේ කිල්ලෝටවල ඇති හුණු මෙන්ම පැහැර හරින ලද වගකීම් සියල්ල එළියට එමින් තිබේ.

ජනාධිපති කොමිසමක් මගින් කරුණු අනාවරණය කරගෙන යනු ලබන මේ අවස්ථාවේ ඒ ගැන විවරණ කිරීම කිසිසේත්ම සුදුසු නොවේ. එහෙත් එයින් මතුවන වගකිව යුතු නිලධාරීන්ගේ මෙන්ම දේශපාලඥයන්ගේ නොසලකා හැරීම් නිසා අහිමි වූ ජීවිතවලට වගකියන්නේ කවුරුන්ද යන පැනය අප ඉදිරියේ අදත් ඉතිරිව ඇත. මේ අද වන විට අප ඉදිරියේ දිග හැරී ඇති කතාවන්ය. හෙට අනිද්දා වන විට තවත් හොඳ හොඳ සෙල්ලම් එළිවනු ඇත.

Comments