එදා­වේල හොයා­ගන්න හන්දි­යක් ගානේ කරක් ගහන ජංගම වෙළෙන්දෝ | සිළුමිණ

එදා­වේල හොයා­ගන්න හන්දි­යක් ගානේ කරක් ගහන ජංගම වෙළෙන්දෝ

සචිඳු ආකාෂ් හා නිපුල් මාලිංග
සචිඳු ආකාෂ් හා නිපුල් මාලිංග

කොරෝ­නා­වෙන් ලැබුණු අතු­රු­ඵල අතර ඔන්ල­යින් එහෙ­මත් නැත්නම් ජංගම වෙළෙඳ ක්‍රම­යට ලැබෙන්නේ ප්‍රමුඛ වටි­නා­ක­මකි.සාමා­න්‍ය­යෙන් මෙතෙක් කල් පැව­තුණේ පොදු ජන­තා­වට අවශ්‍ය එදි­නෙදා ආහාර පාන, වියළි ආහාර, එළ­වළු, පළ­තුරු, මස්, මාළු ආදී සිය­ල්ලක්ම පාරි­භෝ­ගික ජන­තාව විසින් වෙළෙඳ සැල් වෙතට ළඟාවී මිලදී ගැනීමේ ක්‍රම­ය­කුයි. ඒත් දැන් දැන් online ක්‍රම­යට භාණ්ඩ හා සේවා නිවෙ­ස­ටම ගෙන්වා ගැනීමේ ක්‍රම­වේ­දය පුළුල් ලෙස ව්‍යාප්තව ඇත. ඊට අම­ත­රව කොරෝනා සමයේ වෙ‍ළෙඳ­සැල් ජන­තාව අත­රට පැමි­ණියේ ජංගම අළෙවි රථ මඟිනි. මිල ටිකක් ඉහළ ගියත් එවන් විරා­ම­යක ඒ ජංගම අලෙ­වි­හල් පාරි­භෝ­ගි­ක­යන්ට සැල­සුවේ ඉම­හත් සහ­න­යකි. මේ අතර එක් ස්ථාන­ය­කට පැමිණ භාණ්ඩ අලෙ­වි­කර නැවත ආපසු යන ජංගම අලෙවි රථ, දුව­න­ගිරි හෝටල් දැන් කොළො­ම්පු­ර­යට අලුත් දෙයක් නෙමෙයි. කාලයේ තාල­යට වෙන­ස්වන ලෝකයේ මේ දුව­න­ගිරි හෝටල් ගැන සිළු­මි­ණෙන් ගෙනෙ­න්නට අපි අග­නු­වර සංචා­රය කළෙමු.

 

අපි මුලින්ම ගියේ ලොකු පොඩි කොයි කවු­රුත් ප්‍රිය කරන ගාලු මුව­දො­ර­පි­ටිය මාන­ය­ටයි. ඈත දියඹ සිප­ගෙන එන සුදු මුදු රළ පෙළ ගාලු මුව­දොර වැල්ලට හාදු දෙමින් නැව­තත් මහ මුහුද දෙසට දිව­යන දසුන කාගේත් නෙතට රස­ඳු­නකි. නිල් අහස සිසාරා සැරි­ස­රන සරුං­ගල් පෙළ චම­ත්කාර ජනක දසු­නකි. නිල් තණ තිල්ලේ ඔබ­මොබ දුවන දරු දැරි­යන්ගේ සිතේ උතු­රන සතුට වතේ තැව­රෙන දසුන සිතට ගෙනෙන්නේ පහන් සංවේ­ග­යකි. ගාලු මුව­දොර සිරි නර­ඹ­න්නන්ට වගේම ගාලු පාරේ ගමන් කරන කොයි කාටත් සහන මිලට කුස­ගිනි නිවා­ගත හැකි දුව­න­ගිරි හෝටල් කිහි­ප­යක් අපට හමු විය.

අසංක දිසා­නා­යක

ඩිමෝ බට්ටා වෑන් එකක්, අපූරු තේ කඩ­යක් විල­සට සකසා තිබුණු මෙම ජංගම ආහාර කුටියේ හිමි­කරු 40 හැවි­රිදි අස්කර් අලි කොලො­න්නාවේ පදිං­චි­ක­රු­වෙකි. ඔහු සිළු­මි­ණට පැව­සුවේ මෙවැ­න්නකි.“මට කොස්ග­ස්හ­න්දියේ කෑම කඩ­යක් තිබුණා. බිස්නස් අඩු නිසා ඒක වහලා 2012 දි දිවි­නැ­ඟුම ලොරියේ ආහා­ර­පාන විකු­ණුවා. ඉන්පස්සේ ඩිමෝ බට්ටා වාහ­න­යක් අරන් මේ විදි­හට ජංගම අලෙ­වි­හ­ලක් විදි­හට නිර්මා­ණය කළා. ලක්ෂ 18ක් විය­දම් වුණා. රාත්‍රි­යට විදු­ලිය සප­යන්නේ ජෙන­රේ­ට­රෙන්. දවල්ට පරි­සර හානිය අව­ම­වන්න සෝලා­ප­වර් දැම්මා. මම මෙත­නට මුලින්ම ආවෙ 2020 මාර්තු 13. කො‍රෝනා­වට දින 6ට කලින් සාමාන්‍ය වෙළ­ඳා­මක් තිබුණේ. කොරෝනා කාලේ මමයි බිරි­ඳයි කොළඹ චෙක් පොයි­න්ට්වල ඉන්න හමු­දාවේ පොලි­සියේ අයට තේ, කෝපි හදලා දුන්නා. කොරෝ­නා­වට පස්සේ ළඟදි ආවේ. මේ හරියේ අඩු මිලට ආහාර පාන ගන්න කඩ­යක් නැහැ. තරු පහේ හෝටල්නේ තියෙන්නේ. මෙත­නට වැඩි­පු­රම එන්නේ හමු­දාවේ පොලී­සියේ අය, හෝට­ල්වල වැඩ­ක­රන අයයි. මෙතන වාහ­නය නව­ත්වලා තියන්න පොලි­සිය, නගර සභාව හා වරාය අධි­කා­රි­යෙන් අව­සර ගන්න ඕනේ. වරා­යට මාසෙ­කට රු. 12,000ක් ගෙව­න්නත් ඕනෑ. ”

ගාලු මුව­දො­ර­පි­ටිය අසල පාරේ නවතා තියන නෙස්ලේ ආය­ත­නයේ මැගී අලෙවි කුටි­යට හොඳට වෙළෙ­ඳාම් තිබෙන බව පෙනුණි. ඔවුන්ගේ ජංගම අලෙවි රථය නිර්මා­ණය කරලා තිබුණේ විශාල බස් එක­කින්. බස් රථයේ රිය­දුරු අසුන හා ඉදි­රි­පස අසුන හැරෙ­න්නට අනික් සියළු අසුන් ගලවා ඉව­ත්කර බසය ඇතු­ළත නවීන පන්නයේ හෝට­ල­යක් නිර්මා­ණය කර තිබුණි. උඩ සිවි­ලිමේ ෆෑන්, ලයිට්, බිම ගෑස් ලිප් බසයේ පැති­වල ප්ලග් පොයින්ට් හා අනි­කුත් උපාංග සවි­කර තිබුණේ හරි­යට සුපිරි වෙළෙඳ කුටි­යක් විල­ස­ටයි. එහි සේවය කරන තරු­ණ­යන් දෙදෙනා හනි හනි­කට පිළි­යෙල කරන දයියා නූඩ්ල්ස් වලට තිබුණේ ලොකු ඉල්ලු­මක්. එම අලෙවි කුටියේ සචිඳු ආකාෂ් (20) නිපුල් මාලිංග (19) මෙසේ කීවේය.

“මේ බස් එකේ සීට් ගල­වලා කෑම සකස් කරන්න හැකි විශාල කාම­ර­යක් ලෙස නිර්මා­ණය කරලා තියෙන්නේ ජල ටැංකි දෙක­කුත් එක්ක. හරි­යට මුළු­තැ­න්ගෙ­යක් විදි­හට පැන්ට්‍රි කබඩ් ගහලා ලිප්, සින්ක් සේරම සවි­ක­රලා. අපි උදේ 10.00 සිට රාත්‍රි 10.00 තුරු මෙතන ඉන්නවා. සති අන්තයේ උදේ 10.00 රෑ 12.00 දක්වා. වැඩි­පුර ආදා­යම පෝය දින­වල. සතියේ දින­වල නූඩ්ල්ස් කප් 500 සති අන්ත­වල 800 විතර විකි­ණෙ­නවා. අපි උසස් පෙළින් පසු රැකි­යා­වට ආවේ කෑම බීම, නවා­තැන් දීලා මස­කට රු. 40,000 වැඩිය උප­ය­නවා.”

ගාලු මුව‍දොර ජංගම අයි­ස්ක්‍රීම් රථ­ය­ටත් කුඩා දරු­ව­න්ගෙන් විත­රක් නෙමෙයි වැඩි­හි­ටි­ය­න්ගෙ­නුත් හොඳ ඉල්ලු­මක් තිබුණි. අපව ඇම­තුවේ එහි හිමි­කරු (54) හැවි­රිදි සමන් පද්ම­ලාල්ය.“මට මෙතන අවු: 25 - 30 අත්දැ­කීම් තියෙ­නවා. මෙතන වාහන පාක් කර­න­වට වරාය අධි­කා­රි­යට මුදල් ගෙව­නවා. ඉස්සර හැම­දාම හොඳ ආදා­ය­මක් තිබුණා. කොරෝ­නා­ව­ලට පස්සේ සෙනඟ අඩු­වෙන් එන නිසා ආදා­යම සවු­ත්තුයි. රටේ කල­බ­ල­යක් ඇති වුණා­මත් බෝවන ‍රෝගයක් හැදු­ණා­මත් අපට රැකි­යාව නැතුව යනවා. හැබැයි හිතන්න බැරි­වෙ­ලා­වක ලොකු ආදා­යම් ලැබෙන වෙලා­ව­ලුත් තියෙ­නවා ඈත පළා­ත්වල සංචා­රක බස්ව­ලින් එන ළමයි, වැඩි­හි­ටි­ය­න්ගෙන්. විවිධ රස­ව­ලින් යුත් අයි­ස්ක්‍රීම් අපි සල්ලි­ව­ලට ගන්නේ කාගිල්ස් එකෙන්. පිළි­ය­න්දල ඉඳ­ලයි මම වාහ­නය ගේන්නේ.”

අත්ක­ර­ත්ත­ය­කින් ගාලු මුව­දොර පිටිය සමී­පයේ කපා ලූනු ගම්මි­රිස් දමන ලද අඹ, අන්නාසි ආදී පළ­තුරු අලෙවි කළ මාතර එච්.ඒ. විජේ­දාස දැන් තමාම ජංගම රථ­යක් වෙමින් අන්නාසි බන්දේ­සිය හිස මත තබා­ගෙන එහාට මෙහාට යමින් අන්නාසි අලෙවි කරනු දක්නට ලැබුණි. ඔහු මෙසේ සිය හඬ අවදි කළේය.

 සමන් පද්ම­ලාල්

“ඉස්සර අපි කරත්ත දාගෙන හිටියේ කෙළ­වරේ. ආර­ක්ෂක හේතූන් කියලා කරක්ත ඉවත් කළා. මේ හරියේ වාහ­න­යක් නැතුව පයින් ඇවි­දලා තමයි මම වෙළෙ­ඳාම් කරන්නේ. මේ දින­වල බිස්නස් අඩුයි. ඉරි­දට පෝයට වැඩියි. ඉස්සර ලාභය රුපි­යල් හාර­පන් දාහක්. දැන් රුපි­යල් 900 හොයා ගන්නෙත් හරි අමා­රු­වෙන්.”ගාලු මුව­දොර අසල සව­සට, සති­අ­න්ත­යට ජංගම අලෙවි රථ 10ක් පමණ තිබෙන බව දැන­ග­න්නට ලැබුණි.අන­තු­රුව අපි ගමන් කළේ, හුණු­පි­ටිය ගංගා­රා­මය සමී­පයේ මුත්ත­යියා පාරේ ජංගම ආහාර අලෙවි කුටි­යක් වෙතට. කලම්බු සිටි සෙන්ටර් එක නිසා ඔවු­න්ටත් හොඳ වෙළෙ­ඳා­මක් තිබෙනු දක්නට ලැබුණි. එහි වෙළෙ­ඳාමේ යෙදෙන අසංක දිසා­නා­යක (25) මෙසේ කීය.

“අපි මෙත­නට ඇවිල්ලා දැන් අවු­රුදු 9ක් විතර වෙනවා. කොරෝනා වලින් පස්සේ බිස්නස් අඩුයි. බනිස්, එළ­වළු රොටී, බිස්කට්, බත්, වඩේ, ෆෑන් කේක්, ප්ලේන්ටි හැම දෙයක්ම විකු­ණ­නවා පැන‍ඩෝල් පෙත්තේ ඉඳ­ලම. සිය­ලුම කෑම ගෙව­ල්ව­ලින් ගෙනත් දෙනවා. විකු­ණලා මුදල් ගෙවන පද­නම මත. ඉස්සර දව­ස­කට රු. 8000 විතර හොඳ ආදා­ය­මක් තිබුණා. දැන් භාගෙට භාග­යක්ම අඩුයි. ගංගා­රාමේ පෙර­හැර කාලෙට හා බේරේ වැව බලන්න එන අය නිසා ලොකු ආදා­ය­මක් ලැබුණා. අපේ ගම මහි­යං­ග­නය. පදික ‍වෙළඳා­මට වඩා මෙය ආර­ක්ෂි­තයි. වැස්ස­ටත් බේරෙන්න පුළු­වන්. ”

හුණු­පි­ටිය හරස් පාර රාම­නා­යක මාවතේ ජංගම ආහාර අලෙවි රථයේ ආර්.එම්.ඒ.එස්. කුමාර (37) හා සමීර අසංක (34) තම ජංගම වෙළෙ­ඳ­සැලේ තතු මෙසේ කීවේය.

“අපේ ගම මීපේ හෝමා­ගම. අපි මෙත­නට ඇවිත් අවු­රුදු 20ක් විතර වෙනවා. ඉස්සර බිස්නස් වලින් කාල­ක්වත් දැන් නැහැ. බත් හා අනි­කුත් කෑම වර්ග අපි විකු­ණ­නවා. මේ අවට රජයේ හා පෞද්ග­ලික ආය­ත­න­වල අය කෑම මිලට ගන්නවා. උදේ 6.00 සිට සවස 5.00 තුරු ඉන්නවා. දැන් ආය­ත­න­වල වැඩ කරන අය දවල් වෙලා ඇවිත් වේලා­ස­නින් යන නිසා කෑම ඉතුරු වෙනවා. දව­ස­කට රු. 2500ක්වත් හොයා­ගන්න අමා­රුයි. ජීව­ත්වීම කාටත් වගේම අප­ටත් ප්‍රශ්න­යක් තමයි දැන් තියන ආර්ථි­ක­යත් එක්ක.”

මර­දාන පහු­ක­රලා පිට­කො­ටුව පැත්තට යද්දි පාපැ­දි­යක පේර විකු­ණන කෙනෙක් දුටු අතර තවත් කුඩා ජංගම රථය ද දක්නට ලැබුණි. පී. නන්ද‍සේන කොස් විකු­ණන්න ඇවිත් තිබුණේ වැලි­ගම සිට සිය බිරි­යත් සම­ඟය. ඔහු අපට මෙසේ කීවේය.

“අපි වැලි­ගම ඉඳලා ආවේ. කොස් ගෙඩි­යක් එහෙන් ගන්නේ රු. 50 ට. මෙහේ රු. 500ක් විකි­ණිය යුතුයි. වාහනේ හයර් එක රු. 12,000 යි. කොස් කැඩුම් කුළිය රු. 8000 යි. ලොකු ලාභ­යක් නෑ අපිට. වරකා වගේම කොස් පොළේ හීනි­යට ලියලා කව­ර­වල දාලා විකු­ණු­වොත් කීයක් හරි හොයා­ගන්න පුළු­වන්. ඒත් ඒකට හුඟාක් මහන්සි වෙන්න වෙනවා. ඒ නිසා අපි ගෙඩි පිටින් විකු­ණ­න්නයි අද­හස. ජීව­ත්වෙන්න නිසා මේ වගේ දේවල් කරන්නේ. කාට­වත් කර­ද­ර­යක් නොවී කාට­වත් අත නොපා කීයක් හරි හොයා­ගන්න.” ජීවි­තය ජීවත් කර­වී­මට වෙර දරනා මෙවැනි දිරිය මිනි­සුන්, නීති විරෝධී ව්‍යාපා­ර­ව­ලින් මුදල් උප­ය­මින් සුර සැප විඳි­න්නන්ට වඩා රටට කොත­රම් ආද­ර්ශ­වත් නොවේද?

 

සේයාරූ - සරත් පීරිස්

 

 වැලි­ගම පී. නන්ද­සේන

 

Comments