උතුරේ පිච්ච මල ඩොමිනික් ජීවා | සිළුමිණ

උතුරේ පිච්ච මල ඩොමිනික් ජීවා

ඩොමිනික් ජීවාට දැන් 93යි. ජීවාගෙ උපන් දිනේ යෙදී තිබුණෙ පහුගිය ජූනියෙ 27 වෙනිදාය. ජීවා උපන් දිනය සැමරුවෙ සයනයක. යාන්තම් මතකයක් විතරයි දැන් ඔහුට ඉතුරු වෙලා තියෙන්නෙ. යාපනේ උපත ලබපු ජීවට හරිහමන් ළමා දිවියක් ගත කරන්න වරම් ලැබුණෙ නැත. නවසිය විසි ගණන් වෙනකොට උතුරු පළාතේ කුල දූරාවලිය තදින්ම ක්‍රියාත්මක වුණි. ධන බලයෙන් වගේම නිල බලයෙනුත් ඉහළින්ම හිටියෙ බ්‍රාහ්මණ වංශෙට අයිති අයයි. ඩොමිනික් ජීවා නියෝජනය කළේ කුල ශ්‍රේණියෙ පහළම කාණ්ඩවලට ගැනෙන ජන කණ්ඩායමකි. ජීවලගෙ පරම්පරාවෙ අය අයිති වුණේ කරණවෑමි රස්සාව කරන පිරිසටය.

ඩොමිනික් ජීවා 82වෙනි වියේ පසුවන කාලයේ ඔහුත් සමග සම්මුඛ සාකච්ඡාවක් කරන්න මට අවස්ථාවක් ලැබුණි. ඒ සාකච්ඡාව කළේ සිළුමිණ පත්‍රයේ පුන්කලස සාහිත්‍ය අතිරේකයේ “වනස්පති හමුව”ය. ඒකට ඩොමිනික් ජීවා ගැන ලියන්න තමයි මම ජීව මුණගැහෙන්න ගියෙ. ජීවට සිංහල බැරි අතර මට දෙමළ බැරි වීම නිසා සිංහලයි දෙමළයි දෙකම හොඳට දන්න සම්බන්ධිකාරකයකුගෙ සහාය පතන්න සිද්ධ වුණි. ඒ රාජකාරියට බොහොම කැමැත්තෙන්ම ඉදිරිපත් වුණේ දික්වැල්ලෙ කමාල්ය. ඔහු සම්මානනීය පරිවර්තකයෙකි. ඒ වෙනවිට ජිවා කොළඹ පදිංචියට ඇවිත් සිටියේය. කොටි සංවිධානය විවේචනය කරපු නිසා ජිවාට යාපනෙන් පිට වෙන්න සිද්ධ වෙලා තිබුණි. අවුරුදු හතළිහක් තිස්සෙ යාපනේ සිට පළ කළ “මල්ලිකෙයි” සඟරාව නතර කරන්න ජීවා කැමති වුණේ නැත. කොටහේනෙ කාර්යාලයක් කුලියට රැගෙන ඔහු සඟරාවෙ වැඩ දිගටම කරගෙන ගියේය. දික්වැල්ලෙ කමාල් මිත්‍රයා මාව එක්කරගෙන ගියෙ අන්න ඒ කාර්යාලයටය.

“නවසිය තිස් නමයෙ සැප්තැම්බර් එකොළහ තමා මම අලුතෙන් උපන්න දවස. මොකද මම අන්තිමට ඉස්කෝලෙ ගියෙ එදා. එතකොට මම හිටයෙ පස්වෙනි පන්තියෙ. අපෙ ගුරුතුමා කළු ලැල්ලෙ ගාණක් හැදුවා. මම දැක්ක ඒකෙ වරදක් තියෙනවා. ගුරුතුමකුගෙ වැරදි හොයන එක හොඳ නැති වුණත් මගෙ හිත ඉඩ දුන්නෙම නැහැ කට පියාගෙන ඉන්න. මම නැගිටල ඒක කිව්ව විතරයි එතුමට යකා ආවේස වුණා. “එහෙනනං ඇවිල්ල හරියට හදපන්” කියල ගුරුතුමා හුනුකූර මා අතට දුන්නා. ඒ වෙලාවෙ ළමයි හිනාවෙන්ඩ පටන් ගත්ත. ගුරුතුමාගෙ මූණ පුපුරන්න ආව...“තමන්ගෙ පරම්පරාවෙ රස්සාව කරන්නෙ නැතුව මෙතන එනවා ගුරුවරුන්ට උගන්නන්න... ගිහින් අප්පගෙ රස්සාව කරපන්...” ගුරුතුමා හුනුකූර උදුරල අරන් මගෙ මූණට දමල ගැහැව්ව. ඒ පාරත් කාගෙන මම කෙලින්ම ගිහින් නතර වුණෙ අප්පගෙ බාබර් සාප්පුවෙ...”

එදා දික්වැල්ලෙ කමාල් ජීවගෙ මේ වචන ටික සිංහලෙන් කියනකොට මගෙ ඇස් දෙකට කඳුළු ඉනුවේය. ඒත් ජිවගෙ ඇස් දෙකේ ඒ වෙලාවෙ තිබුණෙ අමුතුම දීප්තියකි. ජීවා හීන මවල තියෙන්නෙ කවද හරි විශ්වවිද්‍යාලයකට ගිහින් කරණවෑමි පරපුරේ කවුරුවත් නොකරපු හපන්කමක් පෙන්නන්නය. ඒ හීනය බොඳ වුණා කියල ඔහු ජීවිතයෙන් පළා ගියෙ නැත. අප්පයි සහෝදරයයි එක්ක බාබර් සාප්පුවෙ වැඩ කරන ගමන් ටවුමෙ තියෙන පූබාලසිංහම් පොත් සාප්පුවට ගිහින් පොතක් ඉල්ලගෙන කියවන්න ඔහු පුරුදු වුණි. සාප්පුව අයිති පූබාලසිංහම් මහත්තය මේ උද්‍යෝගිමත් කොලුව ගැන පැහැදිල කියවන්න අනුබල දුන්නේය. රාජගෝපාල් කියන රත්තරන් ඇදුරුතුමා ජීවට මුණගැහෙන්නෙත් මේ පොත් සාප්පුව ළඟදිය. සාප්පුව දොරකඩ බංකුවක ඉඳගෙන පොත් කියවපු කොලුගැටයව ලේඛකයෙක් කරන්න අඩිතාලම දැම්මෙ ගෝපාල් ගුරුතුමාය.

කියැවීමෙන් විතරක් නොනැවතුණු ඩොමිනික් ජීවා ලේඛන කලාවටත් බැස්සේය. දුප්පත්කම, කුල පීඩනය වගේ ගැටලු ගැන පත්තරවලට ලියන්න පටන් ගත්තේය. කොමියුනිස්ට් පකෂයට බැඳිල සමාජ සමානත්වතාව වෙනුවෙන් සටන් කරන්න ජීව පෙලඹෙන්නෙත් මේ කාලෙමයි. “තන්නීරුම් කන්නීරුම්” (වතුරයි-කඳුළුයි”) කෙටිකතා පොත ජීව අතින් ලියැවෙන්නෙ 1960දිය. නවසිය පනස් හයේ සමාජ පෙරළියෙන් පස්සෙ පිහිටවපු සංස්කෘතික අමාත්‍යාංශය දෙමළ කෘති වලට සම්මාන දීම අරඹන්නෙ 1961දිය. ඒ මුල් සම්මාන උළෙලෙදිම ජීවගෙ පොතට දෙමළ කෙටිකතා සඳහා හිමි රාජ්‍ය සම්මානය ලැබේ.

ඩොමිනික් ජිවා ලේඛකයා යාපනයේ මැක්සිම් ගෝර්කි බවට පත්වෙන්නෙ මේ විදිහටයි. දෙමළ සමාජයට මුලින්ම සිංහල ලේඛකයන් හඳුන්වා දීමේ ගෞරවය හිමි විය යුත්තෙත් ඔහුටයි. පිච්ච මල යන අරුත දනවන “මල්ලිකෙයි” සඟරාව මගින් ඔහු වසර 50කටත් වැඩි කාලයක් මේ මහඟු මෙහෙවර ඉටු කළේය. මේ වගෙ තීරු ලිපියකින් ඩොමිනික් ජීවා වැනි මානව හිතවාදි ලේඛකයකුගෙ සැබෑ වටිනාකම තක්සේරු කරන එක අසීරු වැඩකි. කෙසේ වුණත් සිය ජීවිත කාලය පුරාම උතුර-දකුණ යා කරන මානව පාලම ඉදිකරන්න පන්හිඳ කැප කළ ඩොමිනික් ජීවා හෙවත් උතුරේ පිච්ච මලට දිගායු ලැබේවා.

Comments