ඉපැදුණු රටට ණය නැති අපූරු ගුරු මාතාවක් | Page 2 | සිළුමිණ

ඉපැදුණු රටට ණය නැති අපූරු ගුරු මාතාවක්

 

කොවිඩ් 19 සාර්ථකව මර්දනය කළ රටවල් අතර ලංකාව ඉන්නේ ඉදිරියෙනි. ලෝක වසංගතයක් මේ ලෙස සාර්ථකව මැඬ පැවැත්වීමේ ගෞරවය හිමි වන්නේ රජයයටය. ජන­ාධිපතිවරයා පසුගිය 6 වන දින පස්වරු මාදම්පේ තනිවැල්ලේ දේවාලය ආසන්නයේ දි ජනතාව හමුවීමට පැමිණ සිටි අවස්ථාවක එතුමන්ට ජනතාව අතර කිටි කිටියේ තෙරපෙමින් සිටි මහලු මාතාවක් ලියුම් කවරයක් දුන්නාය.

ජන­ාධිපතිවරයා හමුවන සෑම කෙනෙකුම තම ගම් පළාත් වල ඇති අඩු පාඩු ඉවත් කරන ලෙසට ලිපි ඉදිරිපත් කරනු ලබන නමුත් මෙම වයෝවෘද්ධ මාතාව දී ඇත්තේ පරිත්‍යාගයකි. ඇය විසින් ලබා දුන් ලිපිය තුළ තිබි ඇත්තේ රුපියල් පන් දහසේ නෝට්ටු වලින් අඩංගු රුපියල් දෙලක්ෂයකි මුදලකි. ජනාධිපතිතුමා විසින් ආරම්භ කර ඇති කොවිඩ් අරමුදල වෙත කරන ලද පරිත්‍යාගයක් බවට ලිපියක් ද එම මුදල සමඟ එතුමිය ජනාධිපතිවරයා වෙත පිරිනමා ඇති බව පසුව හෙළි විය.

එම ලිපියේ සදහන් කර තිබුණේ ‘මම රට ගොඩක් ආදරෙයි.ඒ අනුව රට දියුණුවනවාට කැමැතියි. ජනපතිතුමනි, නීතිය රකින ස්වයංපෝෂිත රටක් අපට දෙන්න‘ යනුවෙනි.

ඇය හලාවත කාක්කපල්ලිය මනක්කුලම ප්‍රදේශයේ වාසය කරන්නීය. ඇය මුණ ගැසී ඇගේ ඒ උතුම් පරිත්‍යාගයේ සුල මුල සෙවීමට ගිය අවස්ථාවේ දි ඒ ආදර්ශවත් මාතාව සිය පරිත්‍යාගය සම්බන්ධයෙන් මෙසේ කීවාය.‘මහත්තයෝ මගේ නම මාරසිංහ ආරච්චිගේ හැරියට් පැබියෝලා මාරසිංහයි. මගේ වයස අවුරු 84 යි. මගේ ගම මනක්කුලමයි. මාගේ දෙමාපියන් ද මේ පළාතේ පදිංචිකරුවන්. මම උපත ලබා ඇත්තේ 1936 වසරේ. මගේ සහෝදර සහෝදරියන් පස් දෙනෙකු ඉන්නවා. අක්කා පමණක් මේ වන විට මිය ගිහින්. මම අධ්‍යාපනය හැදැරුවේ මනක්කුලම රජයේ විදුහලෙන්. අනතුරුව මට අවශ්‍ය වුණා රැකියාවකට යන්න. ඒ අනුව මම 1958 වසරේ හෙදියන් බඳවා ගැනීමේ විභාගයට පෙනී සිට සමත් වෙලා කුරුණෑගල ආරම්භ කළ හෙදි අභ්‍යාස විදුහලට ඇතුළත් වුණා. ඔය කාලවකවානුවේදි තමයි මට ආසාවක් ඇතිවුණේ ගුරු වෘත්තියට එක්වීමට. වසරක හෙදි පුහුණුව ලබන අතර මම ගුරු විභාගය අරන් සමත් වෙලා ගුරු පුහුණුවට ඇතුළත් වුණා.

අනතුරුව මට මුල්වරට ගුරුවරයකු කටයුතු කරන්න කල්පිටිය කප්පල්අඩිය මුස්ලිම් විදුහලේ දරුවන්ට සිංහල භාෂාව උගන්වන්න මට පත්වීමක් ලැබුණා. ඊට පසු ම‍ට‍ රාජකදළුව කරුක්කුලිය මහා විදුහලට ස්ථාන මාරුවක් ලැබී එහි සේවයට වාර්තා කළා. ඔය අතර මට මුණ ගැසුණා මගේ මහත්තයාව. එයා හැළඹවටවන රජයේ විදුහලේ සේවය කළේ. අපි දෙන්නට පුතාලා දෙන්නයි දුවලා දෙන්නෙකුයි ඉන්නවා. මේ වන විට ඒ අය ඉගෙන ගෙන කැමැති රස්සාවල නිරත වෙමින් විවාහ වෙලා දිවයිනේ විවිධ ස්ථාන වල පදිංචිවි සිටිනවා. අපි මුණුපුරන් හත්දෙනෙකු ඉන්නවා. ඔවුන් මේ වන විට විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරනවා. මම පාසල් දහයක සේවය කර තියෙනවා.‘

කොවිඩ් වසංගතය ලංකාව පුරා පැතිරමින් පැවැති බව මාධ්‍ය මගින් පළ වන විට මම හිතුවා ‘අනේ අපේ රට ඉවරෙටම ඉවරයි කියලා. ගෝඨාභය ජනාධිපතිවරයා එම වසංගතය වළක්වන අරමුදල ආරම්භ කරන්න කලින්ම මම හිතුවා, අපි කවුරුත් එකතු වෙලා එතුමාගේ දැත් ශක්තිමත් කළ යුතුයි කියලා. මේ අනුව මම හිතුමා මට පුළුවන් හැටියට එතුමාට පරිත්‍යාගයක් කරන්න. ඒ මුදල් එතුමා අතටදීම දුෂ්කර වුණා. මම මේ බව අප හිතවත් පියංකර ජයරත්න හිටපු ඇමතිතුමාට දැන්වුවා. එතුමා ඊට අවස්ථාවයක් ලබා දෙන බව මට කීවා. මෙසේ කල්පනා කරමින් සිටින විට තමයි මට දැන ගන්න ලැබුණේ ජනාධිපතිතුමා මාදම්පේට එන බව. ඉතින් මම හිටපු පළාත් සභා මන්ත්‍රි පාලිත රෝහණට දැන්වුවා. මෙම මුදල දෙන්න ඉඩක් හදලා දෙන්න කියලා. ඒ අනුව මම රුපියල් පන් දහසේ නෝට්ටු වලින්ම රුපියල් දෙලක්ෂයක මුදලක් සුදානම් කරලා ලිපියක් ද ලියා ගෙන මගේ අත් අකුරින්ම තනිවැල්ලේ දේවාල ළඟ දි ගෝඨාභය ජනාධිපතිතුමාගේ අතටම මෙම මුදල පරිත්‍යාග කළා. එය මගේ ජිවිතයේ මහගු අවස්ථාවක් කිසි දිනක අමතක කරන්න බැහැ“ ඇය කීවාය.

Comments