ඇමෙරිකානු යුද හමුදාවට බැඳුණු අපේ කොල්ලාගේ පැටිකිරිය | සිළුමිණ

ඇමෙරිකානු යුද හමුදාවට බැඳුණු අපේ කොල්ලාගේ පැටිකිරිය

හීන හීනම නොවී සැබෑ කරගන්නට තතනන බොහෝ දෙනකුට ඔහු පූර්වාදර්ශයකි.මේ අපූරු කතාව හීන ඇහිදින්න මාවත් පුරා සරන සැම වෙනුවෙනි. පසුගිය දිනවල ජනමාධ්‍යවල හා විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාලවල කියැවුණේ අපේ හමුදාවට බැදෙන්න උස මදි වී ලොව ප්‍රබලතම ඇමෙරිකන් හමුදාවට බැදුණු ශ්‍රී ලාංකික තරුණයෙකු ගැනය. මෙම තරුණයා අම්පාරේ උපන් මුවංගල, හිගුරාණ ප්‍රදේශයේ ජීවත් වූ අනුජ පූජිත ගුණවර්ධන නැමැති අයෙකු බවද,ඔහුගේ පියා හිගුරාණ සීනි සංයුක්ත මණ්ඩලයේ සේවය කළ බවද සඳහන් වී තිබුණි. නමුත් පියාගේ නමක් හෝ පවුලේ කෙනෙක්ගේ නමක් හෝ සදහන් වී නොතිබුණි.

 

නමුත් මේ ලියුම්කරුද හිගුරාණ සීනි සංයුක්ත මණ්ඩලයේ සේවය කළ අයෙක් නිසා පියා පිළිබද තොරතුරු සොයා ගැනීමට අපහසුවක් නොවීය. පසුව පදිංචි ප්‍රදේශය පිළිබඳ තොරතුරු දැනගත් අප ඔහු සොයා ඔහුගේ අම්පාර, හිගුරාණ, මුවංගල, ග්‍රාම 04 පිහිටි නිවසට ගොඩ වැදුණෙමු. දුටු මතින් අප හඳුනාගත් ඔහු ''ආයුබෝවන් එන්න එන්න'' කියා ආචාරශීලීව පිළිගන්නා ලදී. ඔහු නමින් ප්‍රසාද් පූජිත කුමාර වන අතර ප්‍රදේශයේ කා අතරත් ප්‍රසිද්ධ වී ඇත්තේ '' ප්‍රින්සි'' නමිනි. ප්‍රින්සි ද එදා හොඳ නිවේදකයෙකි; ප්‍රදේශයේ ජනප්‍රිය ගායකයෙකි. එවකට රටේ ජනප්‍රිය ගායකයකු වූ නිහාල් නෙල්ෂන් ගේ සම්පූර්ණ ස්වරූපය, කොණ්ඩය කටහඩ හා ගායන විලාසය ද ( action) සම්පූර්ණයෙන් ම ප්‍රින්සිට පිහිටා තිබිණි. එවකට අම්පාරේ පැවැත් වූ ජනප්‍රිය ගායකයන්ගේ සංගීත සංදර්ශන වේදිකාවේ ප්‍රින්සිට ද ගීතයක් ගැයීමට ද අවස්ථාව ලැබිණි.

අපි ප්‍රින්සිගෙන් පුතා පිළිබද තොරතුරු විමසුවෙමි. පුතා ඉපදුණේ අම්පාර රෝහලේ දී. ඒ 1984 අගෝස්තු 07 වැනි දාය. සම්පූර්ණ නම '' ප්‍රින්ස් අනෝජ් පූජිත කුමාර ගුණවර්ධන '' යි. පවුලේ වැඩිමලා ඔහු ය. බාල සහෝදරියන් තුන්දෙනෙක් සහ එක් සහෝදරයෙක් ඉන්නවා. ඉන් සහෝදරියෝ දෙදෙනෙක් දැනට ඉන්නේ

ඇමෙරිකාවේ. අනෝජ් පුතා හා පුරා කියා අකුරු කලේ අම්/මුවංගල මහා විද්‍යාලයේ ය. පස්සේ අම්පාර ගාමිණි විද්‍යාලයට දැම්මා. මගේ පවුලේ අනික් දරුවෝ ගියෙත් ගාමිණි විද්‍යාලයටයි. පුතා ඉගෙන ගන්න හරි දක්ෂයි. හැමදාම පන්තියේ පළවෙනියා. නමුත් 05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ‍ෆේල්. ප්‍රතිඵල ආ දවසේ පුතාට

වැඩිය දුක්වුණේ පන්තිභාර ගුරුතුමියයි. මම කිව්වේ කමක් නැහැ පුතා ගණන් ගන්න එපා. 05 ශිෂ්‍යත්වය කියන්නේ මොන විභාගයක්ද අපි යමු එස්.එස්.සී. විභාගයට. එහෙම කියලා හිත හැදුවා.

පුතාට ගාමිණි විද්‍යාලයේ ශිෂ්‍ය නායක ධූරයක් ලැබුණා. මිනිහා ඒක ගත්තේ නැහැ. එයාගේ පන්තියේ ළඟම යාළුවට දුන්නේ නැහැ කියලා. පස්සේ මම ඉස්කෝලෙට ගිහිල්ලා ගුරුවරු සමග කතා කළ පසු නැවත ශිෂ්‍යනායක පදවිය දුන්නා. පුතා අනිත් දරුවන්ට වඩා බොහොම වෙනස්. නිවිච්ච සන්සුන් පුද්ගලයෙක්. රණ්ඩු සරුවල්

වලට යන්නේ නැහැ. හැමදාම වාගේ ස්කූල් බස් එසේ ළමයි එයාගේ '' කැප් '' ගලවා ගන්නවා. ගෙදර ඇවිත් මට කියනවා. මට ඉතින් කැප් අරන් දීලා ඉවරයක් නැහැ. මල්ලී කොලොප්පම් කරනවා අයියට. අපෝ තාත්තේ අයියා ගෑනියෙක් වගේනේ කියලා. පුතා කොහේවත් යන්නේ නැහැ. ඉරිදට හිගුරාණ උත්තර ජය මහා

විහාරස්ථානයේ දහම් පාසලට යනවා. දහම්පාසලේ වැඩ වලටත් දක්ෂයා. හාමුදුරුවොත් හරි ආදරෙයි පුතාට.

පුතා එස්.එස්.සී. විභාගය හොදින් පාස් කළා. ඒ 08.01 යි. ප්‍රතිඵල වලින් පස්සේ පුතා හමුදාවට යන්න ඕනි කියලා අම්මට කියලා තිබුණා. ඒ දවස්වල පුතා ඇගපතින් කෙට්ටුයි. මම කිව්වා එයාට ආමි යන්න බැහැ. හොඳට කාලා මුලින් ඇග හදා ගන්න කියලා. නමුත් මටත් හොරා එයා යුද හමුදා සම්මුඛ පරීක්ෂණයට ගිහින් තිබුණා.

මම කියපු උත්තරේම ඒ අයත් කියලා ආපහු එවලා තිබුණා. හැමදේම කියන්නේ අම්මට තමයි. පස්සේ පසු කාලයේ උසස්පෙළ කරන්න කොළඹ යැව්වා. ආනන්දයට හා ලුම්බිණියට දාන්න ට්‍රයි කලා. ඒත් දාගන්න බැරි වුණා. ඒ 9 තියෙන අය තමයි ඒවට ගත්තේ. පස්සේ මම පුතාව මරදානේ අශෝක මහා විද්‍යාලයට දැම්මා.

පුතා මම වගේම නිවේදන කටයුතු වලට, ගීත ගායනයට, නැටුම් වලට දක්ෂයි‘

අනෝජ් ගේ සීයා මේ වන විට ජීවතුන් අතර නැත. ඔහු ද හිගුරාණ සීනි ආයතනයේ සිටි කෘෂිකර්ම නිලධාරියෙකි. අනෝජ් ගේ ආච්චි අම්මා තවමත් නිරෝගි සම්පත්තියෙන් යුතුව ඇගේ වැඩිමහලු දියණියගේ සෙවණේ. මහ ගෙදර පසුවෙයි. ඇය නමින් ඊ.එම්. ප්‍රනාන්දුය. වයස අවුරුදු 82 ක් වන ඇය අනෝජ් පිළිබඳ මතකය මෙසේ දිග හැරියා.

'' අනෝජ් පුතා පුංචි කාලයේ මා ලග තමයි වැඩි කාලයක් හිටියේ. එයා හම්බෙනකොටත් මම තමයි ළග හිටියේ. හරිම ප්‍රිය මනාප අහිංසක දරුවෙක්. කවුරුවත් ගැහුවත් කරබාගෙන ඉන්නවා. පාසලේ හොද තැනක් තියාගෙන හිටියේ . හැමදේටම දක්ෂයි. මට ඇවිත් ඔක්කොම කියනවා. දහම් පාසලේ වැඩටත් හරි දක්ෂයි. මඩිහේ පඥාසිංහ නායක

හාමුදුරුවෝ අපේ මහත්තයාගේ ඥාති වෙනවා. පුතා කොළඹ ඉන්දැද්දී උන් වහන්සේවත් ඇසුරු කළා. දඩබ්බර දේවල් කිසි දෙයක් කළේ නැහැ. නැටුම් වලටත් හරි දක්ෂයි. පොඩි කාලේ ඇවිත් මට නටලා පෙන්නනවා. අපි කවදාවත් හිතුවේ නැහැ අනොජ් පුතා හමුදාවට බැදෙයි කියලා. අපි හිතුවේම මහණ වෙයි කියලයින. ඒත් මට හරි සතුටුයි එයා ඇමෙරිකන් හමුදාවේ නිලයක් දරනවා කිව්වම. මට වරින් වර කෝල් කරනවා. ආච්චි අම්මා තමයි අපිව පොඩි කාලයේ හැදුවේ කියනවා. මම ආච්චි අම්මා බලන්න ළගදීම එනවා කියලා කියනවා. ඊයේ රෑ මාව හීනෙන් දැක්කා කියලා දැන් ටිකකට ඉස්සෙල්ලා කෝල් කරා. මට ඉතින් හරිම සතුටුයි. ''

උසස් පෙළ සමත් වූ අනෝජ් කැඩෙට් නිළධාරියකු ලෙස නැවත හමුදාවට බැඳෙන්න ඉල්ලුම් පත් දමා සම්මුඛ පරීක්ෂණයට ගියත් එහි දීද ඔහුට අවස්ථාව නොලැබිණ. ඒ නිසා ඔහු පුද්ගලික ගුවන්විදුලි සේවයක නිවේදකයෙකු ලෙස සේවයට බැඳුණි. එහි ටික කලක් සේවය කර ඉන් ඉවත් වූ ඔහු පුද්ගලික දුරකථන සමාගමක සේවයට බැදී ඇත. එහිද ටික කලක් සේවය කරද් දී මැදපෙරදිග රැකියාවට විදේශගත විය. ඒ 2008 වර්ශයේ දීය. කුවෙට් හා අබුඩාබි යන රටවල රැකියාව කළ ඔහු නැවත ලංකාව පැමිණ පුද්ගලික සමාගම මෙහෙයුම් කළමණාකරුවකු ලෙස සේවයට පත් විය. ඒ අතරම ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලවක් ද හදාරන්න පටන් ගත්තේ ය. කලක් ගත වෙද්දී ඔහු වෙත වාසනාව ගෙන එමින් ඇමෙරිකානු ග්‍රීන් කාඩ් ලොතරැයියක් ඇඳුණි. ඒ අනුව ඔහුට ඇමෙරිකාවට යෑමට වාසනාව පෑදුණි. ඒ වන විට උපාධි පාඨමාලාවද අවසන් වී තිබුණි. ඒ නිසා ඔහු ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක මූල්‍ය අංශයක සම්බන්ධ පාඨමාලා වක් හැදෑරීමට ඇතුළත් විණි. යුද හමුදාවට බැඳෙන්නට ඔහුට තිබූ ආසාව යළි පණ ලබන්නේ එහි දී ය. දිනක් විශ්ව විද්‍යාලයේ වැඩමුළුවට පැමිණි ඇමෙරිකන් හමුදා නිලධාරි කණ්ඩායමක සිටි එක් උසස් නිලධාරියෙක් ඇමෙරිකන් යුද හමුදාවට බැඳෙන්න කැමති දැයි අනෝජ් ගෙන් විමසී ය. '' ඉබ්බා දියට දැමූ කල ඇන්නාවේ'' කීවාක් මෙන් අනෝජ් ද එක පයින් කැමැත්ත පළ කළේය.

ශ්‍රී ලංකාවේ අම්පාර වැනි ඈත දුෂ්කර ප්‍රදේශයක ඉපදුණු '' ප්‍රින්ස් අනෝජ් පූජිත කුමාර'' නම් නිහතමානී නිවිච්ච තරුණයා අද වන විට ලෝක පූජිත මහා බලගතු ඇමෙරිකානු යුදධ හමුදාවේ අධිතාක්ෂණික හෙලිකොප්ටර් අලුත් වැඩියා රෙජිමේන්තුවේ නිලධාරියෙකි. හීන හැබෑ කරගන්නට අවශ්‍ය ධෛර්යය පමණී

Comments