අතීත මානව සමාජය පිළිබිඹු කරන ඉබ්බන්කටුව සුසානය | සිළුමිණ

අතීත මානව සමාජය පිළිබිඹු කරන ඉබ්බන්කටුව සුසානය

මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉබ්බන්කටුව, කලා ඔයේ පෝෂක ශාඛාවක් වූ දඹුලු ඔයේ වම් ඉවුර කේන්ද්‍රගතකොට ගෙන කුරුණෑගල ත්‍රිකුණාමලය පාරේ දඹුල්ලට සමීපව පිහිටා ඇත. ඉබ්බන්කටුව ජලාශයේ ඉහත්තාවේ ස්වභාවික ගොඩැල්ලක හෙක්ටයාර් 13 ක භූමිය වසා පැතිරී පවතින ඉබ්බන්කටුව සුසාන භූමිය මෙගලිතික සම්ප්‍රදායට (මහාශිලා සම්ප්‍රදාය) අයත් ශිලා මංජුසා සුසාන (Cist burials) ස්වරූපයේ සොහොන් ගණනාවකින් සමන්විත වන අතර, එය මෙරටින් සොයා ගත් මනාලෙස සංරක්ෂිත පූර්ව-ඓතිහාසික සුසාන භූමියකි.

1970 දී එවකට පුරාවිද්‍යා කොමසාරිස් ව සිටි ආචාර්ය රාජා ද සිල්වා විසින් ඉබ්බන්කටුව සුසාන භූමියෙහි පළමු පුරාවිද්‍යා කැණීම් කටයුතු කළ අතර 1982 දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ දඹුල්ල සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය මගින් මූලික ක්ෂේත්‍ර සමීක්ෂණයක් සිදු කරනු ලැබීය. 1983-1984 යන කාල වකවානු වලදී එම ව්‍යාපෘතියෙන් සුසාන භූමියේ උතුරු කෙළවරෙහි පිහිටි සුසාන ගර්භ පොකුරක් විවෘත කෙරිණි. කැලණිය විශ්වවිද්‍යාලයේ මැදිහත් වීම මත 1986 දි සමස්ත සුසාන භූමියෙහිම අධ්‍යනයකින් පසුව විස්තරාත්මක සැලසුමක් සකස් කරන්නට විය.

ඉන් පසුව 1988 හා 1990 දී මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය සහ ජර්මනියේ කාවා (The Kommission fur Algemeine und Vergleichende Archaeologie) යන ආයතන එක්ව දෙස් විදෙස් ගවේෂකයන් විසින් සිදුකළ පුරාවිද්‍යාත්මක ගවේෂණයේ ප්‍රතිඵලයක් ලෙස සොහොන් කොත් 21 ක් සොයා ගන්නට හැකිවිය. ඉබ්බන්කටුවෙන් ලැබුණු අඟුරු සාම්පල රේඩියෝ කාබන් පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව එය ක්‍රි.පූ. 6 වන සියවසට අයත් යැයි නිගමනය විය.

ජර්මනියේ කාවා අරමුදලේ අනුග්‍රයෙන් කැලණිය විශ්වවිද්‍යාලය මගින් 1988 දී කැණීමක් ආරම්භ කරන ලද අතර වර්ග මීටර් පහළොවක් පමණ භූමි ප්‍රමාණයක් මෙම කැණීමට යොදා ගෙන තිබුණි. මේ අවස්ථාවේ දී සුසාන 10 ක් මතුකර ගැනීමට හැකිවිය. එහි මැටියෙන් කළ බරණි රාශියක් හඳුනා ගනු ලැබීය. එසේම මිනී දැවූ පිලිස්සු ආදාහන වේදිකාවක්ද මතු කර ගැනීමට හැකි වූ බව සඳහන්ය. මැටි බරණි තුළ විචිත්‍ර කානේලියන් පබළු සහ ඔනික්ස් ගණයේ මාල හමු වීම සුවිශේෂීය.

1988 කරන ලද කැණීමේ දී මතු කරගත් එක් සොහොනක ගල් පියනක් මත දකුණු ආසියාවේ පැරණිතම ශිලා සටහනක් හමු විය. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව ප්‍රකාශ කරනු ලැබූයේ මෙම පියන් ගල් වලින් හමු වූ සංකේත අක්ෂර දෙක ඉන්දියාවේ මොහෙන්දෝජාරෝ -හරප්පා වලින් හමු වූ සංකේත හා සමාන බවය. මෙම සංකේතය බ්‍රහ්මී “බ” අක්ෂරයට එකතු කළ සංකේතයක් ලෙසින් පෙනුන ද මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ අදහස වූයේ ඉබ්බන්කටුව ශිලා සංස්කෘතිය දකුණු ඉන්දියාවේ මෙගලිතික සංස්කෘතියක් හෝ උතුරු ඉන්දියාවේ ප්‍රභවයක් හෝ නොවන බවය. මූල ඓතිහාසික යුගයේ සභ්‍යයත්වය ඉන්දියාවෙන් ආනයනය කරන ලද්දක් නොවන බව මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ අදහසයි. එහෙත් එකළ දේශපාලන, සමාජීය, ආර්ථික හා සංස්කෘතිකමය ලක්ෂණ වලින් දියුණු වුණු සමාජයකින් කලාපීය සම්බන්ධතා තිබෙන්නට ඇත.

2015 දී මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ එවකට අධ්‍යක්‍ෂ ජනරාල්ව සිටි මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන ගේ මගපෙන්වීම යටතේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රංජිත් බණ්ඩාර දිසානායක විසින් ඉබ්බන්කටුව මහා ශිලා සුසානයේ කැණීම් නැවත ආරම්භ කරන ලදී. එය මෙම සුසාන භූමිය සම්බන්ධව සිදුකළ පර්යේෂණ ඉතිහාසයේ තෙවන අදියරයයි. මෙම පුරාවිද්‍යාත්මක කැණීමේ දී මූලික අවධානය යොමු වූයේ ඉබ්බන්කටුව මහාශිලා සුසාන භූමියේ මූල ඓතිහාසික අවදියට අයත් මහාශිලා භූමි දර්ශනය (Megalithic Landscape) අධ්‍යයනය කිරීමයි. ඒ අනුව එහි නිර්මිත පරිසරය (built environment) හා ද්‍රව්‍යාත්මක සංස්කෘතිය (Material Culture) කෙරෙහි විශේෂයෙන්ම සැලකිල්ලක් දැක් වූ අතර තදාශ්‍රිත පරිසරය පිළිබඳ වාර්තා කිරීමට මෙම කැණීම මගින් හැකිවිය.

මෙහිදී අවධානය යොමු කරවනු ලැබූයේ මීට පෙර අවස්ථාවේ දී සොයා ගත් 21 සුසාන පොකුරට මඳක් බටහිරින් පිහිටි සුසාන ය. බටහිර පෙදෙසෙහි මතුපිට සුසාන ගර්භ 2 ක් දක්නට ලැබීම හා එහි පොළොවෙහි ස්වභාවය එම ස්ථානය තෝරා ගැනීමට හේතුවිය. මෙම කැණීමේ දී සුසාන ගර්භ 47 ක්‌ අනාවරණය කරගැනීමට හැකි වූ අතර ශිලා මංජුසා (Stone cist) 26 ක්‌ සහ බරණි (Clay urn) සුසාන 21 ක්‌ මතුකර ගැනීමට හැකිවිය. මින් බරණි සුසාන 6 ක අභ්‍යන්තර කැණීම් සිදුකළ අතර ඒ සියලු බරණිවලින් අස්‌ථි කොටස්‌, පුරාණ පබළු සහ මෙවලම් යනාදි වශයෙන් මානවකෘති සොයා ගැනිණි.

මෙගලිතික් යන්නට ග්‍රීක භාෂාවෙන් විශාල ගල් යන්නට අර්ථ දක්වා ඇති අතර ගල් පුවරු උපයෝගී කොට ගෙන මෙම සොහොන් කොත් නිමවා ඇත. ඇතැම් සොහොන් කොත් ගල් පියන්වලින් වසා තිබුණු අතර එහි අභ්‍යන්තරයේ විවිධ ප්‍රමාණයේ මැටි භාජන තබා ඒවායේ මළවුන්ගේ අළු තැන්පත් කොට තිබුණි. මෙම මැටි බඳුන් විවිධ හැඩයන් ගත් අතර කාලරක්ත (කළු රතු) මැටිබදුන් විශේෂය (Black and Red Ware), හා රතු මැටිබදුන් විශේෂය (Red Ware), යනුවෙන් වර්ග දෙකකින් යුක්ත විය. මින් විශාල බරණි අයත් වූයේ රතු මැටි බඳුන් විශේෂයටයි. එවැනි විශාල බරණි 20 ක් පමණ ද කුඩා ප්‍රමාණයේ කළු රතු මැටි බඳුන් 30 කට අධික ප්‍රමාණයක් හමූ වූ බව ද සඳහන්ය.

කැණිම් වාර්තාවේ දැක්වෙන පරිදි මෙහිදි අනාවරණය කරගත් මැටි බඳුන් ඒවා හමු වූ සන්දර්භ, භාවිතය හා ස්වභාවය අනුව කාණ්ඩ 4 ට වෙන් කරනු ලැබීය. ඒකල බරණි (Solitary Urns) - මේවා විශාල භාණ්ඩ විය. සුසාන බඳුන් ලෙස භාවිත වී ඇත. සිරස් ආකාරයට තැන්පත් කොට ඇති මෙම බරණි පියනකින් (Lid cum bowl or Capstone) හෝ පියන්ගලකින් ආවරණය කොට තිබේ. තරමක් විශාල බරණි (Main urns with serving ware in the cist) - මේවා ශිලාකුටීර සොහොන් අභ්‍යන්තරයේ තැන්පත් කොට ඇති ප්‍රධාන සුසාන භාණ්ඩයි. ඒවා සිරස් හෝ තිරස් ආකාරයට තැන්පත් කොට තිබේ. වත් සිරිත් භාණ්ඩ (Supplementary serving ware) - සුසාන ගර්භ අභ්‍යන්තරයේ තැන්පත් කොට ඇති විවිධ ප්‍රමාණ හා හැඩවලින් යුක්තය. පිදවිලි භාණ්ඩ (Secondary urns or Offering pots)

මෙම කැණිමෙන් ලැබුණු බරණි ප්‍රධාන ප්‍රවර්ග (Burial type) දෙකකට අයත් වන අතර ඒවා ශිලා මංජුසා (Stone cist) ‌ සහ බරණි (Clay urn) සුසාන යනුවෙන් දක්වා ඇත. එමෙන්ම සුසාන වාස්තුවිද්‍යාව, ඉදිකිරීමේ ස්වභාවය, අන්තර්ගත සුසාන ද්‍රව්‍ය සහා සුසාන බඳුන් තැන්පත් කොට ඇති ආකාරය යන ලක්ෂණ අනුව ඒවා උප වර්ග 12 කට වර්ග කොට තිබේ.

ආයතාකාර හා චතුරස්‍රාකාර හැඩවලින් යුක්තව විවිධ ප්‍රමාණවලින් ශිලා මංජුසා සුසාන ගර්භ සමන්විත විය. එසේම පියන්ගල් රහිත හා පියන්ගල් සහිත යනුවෙන් සුසාන දෙයාකාරයකි. බරණි සුසාන වර්ග කිහිපයකි. එනම්, පියනක් සහිත බරණි සුසාන හා මතුපිටින් පියන්ගලක් තබන ලද සුසාන බරණි යනුවෙනි. කැණීමෙන් සොයාගැනුණු සොහොන්ගත කළ බරණි 47 අතරින් 21 ම මළවුන්ගේ අළු තැන්පත් වූ මැටි භාජනය.

තඹ සහ යකඩ ලෝහයෙන් කළ මෙවලම් සහ විවිධ අමුද්‍රව්‍යවලින් හා හැඩවලින් යුතු පබළු වර්ග ද ටෙරාකොටා නිර්මාණ, මාල, වළලු, කරාබු ආදිය ද මෙහි දී හඳුනාගන්නට හැකි වූ අතර කානීලියන්, ඇගේඩ් යන දකුණු ඉන්දියානු කලාපයට ආවේණික විශේෂිත පබළුවලින් කළ ආභරණ අවශේෂ එයින් සොයාගත් විශේෂිත පුරාවස්‌තු අතරට අයත් වේ.

සුසාන ගර්භ තුළ තැන්පත් කරන ලද පැරණි පබළු බොහෝ ප්‍රමාණයක් අනාවරණය කර ගැනීමට හැකිවිය. මෙම පබළු කැණිම් කරන අවස්ථාවේ දී මෙන් ම ගර්භයේ තිබුණු පස් ඉවත් කොට වියළි හා තෙත හැලීමේ දී හමු වූ බව සඳහන්ය. තිරාවාණ (Clear quarts) හා කානීලියන් (Carnilean) යන ඛණිජ වලින් පබළු නිමවා තිබුණු අතර මැටි මුවා පබළු (terra-cotta) ද හමූ වූ බව සඳහන්ය.

ඉබ්බන්කටුව සුසානය ශ්‍රී ලංකාවෙන් හමු වූ මූල ඓතිහාසික සුසාන භූමි අතුරෙන් විශාලතම සුසාන භූමියයි. මුල්කාලීන යකඩ යුගයට අයත් වූ මෙරටින් සොයා ගැනුණු මානව ජනාවාසය හා ඊට අනුබද්ධ සුසාන භූමිය ලෙස ඉබ්බන්කටුවට නුදුරින් සොයාගත් පොල්වත්ත නමින් හැඳින්වෙන ජනාවාස භූමිය නම් කළ හැකිය. ඉබ්බන්කටුව සුසාන භූමියට සමාන්තරව ඉබ්බන්කටුව වැවට ඉහළින් මෙම පොල් වත්තේ ජනාවාසයක අවශේෂයන් හඳුනාගත හැකිය. එම ජනාවාසයේ සිටි මිනිසුන්ගේ මළමිනී මෙහි මිහිදන් කරන්නට ඇතැයි යන්න අදහසයි. සීගිරිය සහ යටිගල්පොත්ත ප්‍රදේශ වලින් මෙම කාල වකවානුවට අයත් යැයි සැලකෙන සුසාන හමු වූවද මෙහි විශේෂත්වය වනුයේ ඉබ්බන්කටුවෙ මහශිලා සුසානය ඉතා විශාල වීමය.

පූර්ව ඓතිහාසික සංස්කෘතියට අදාළ (එනම්: ක්‍රි.පූ.1000, අදින් වසර 3000කට පෙර) පැරණිතම සාධක ලෙස වාර්තා වන්නේ අනුරාධපුර ඇතුළු-නුවරිනි. විකිරණ මාන දින නියමය හා ඔක්ස්කැල් කාලනිර්ණය අනුව මේ සංස්කෘතිය ක්‍රි.පූ.1000 තරම් ඈතට දිවෙන බව ආචාර්ය ශිරාන් දැරණියගලගේ අදහසයි. එමෙන්ම මෙගලිතික සුසාන ආශ්‍රිතව පැරණිතම කාලනිර්ණ (ක්‍රි.පූ.800) දැනට කොක්එබේ ප්‍රදේශයෙන් ලැබී තිබේ.මධ්‍ය යාන්ඔය නිම්නය තුළ යකඩ හා තඹ කර්මාන්තය මෙන් ම රන් කර්මාන්තය ට අදාළ තොරතුරු ක්‍රි. පු. 800 පමණ කාලය වන විට ලැබීම ඉතා ම වැදගත් වේ.

හුදෙකලා කඳු වැටයකින් වටව සරුපසින් යුතු භූමියක් ලෙස මධ්‍ය යාන්ඔය නිම්නය ආශ්‍රිත පූර්ව ඓතිහාසික අවධියේ දී එහි පරිසරය සැකසී තිබුණි. එසේනම් පරිසරය ඇසුරු කොට ගෙන පූර්ව ඓතිහාසික ජනාවාස ගණනාවක් ස්ථානගතව ඇති බව හඳුනාගත හැකිය. ගුරුගල්හින්න, දිවුල්වැව, කොක්එබේ, රඹෑව, වඩිගවැව, තම්මැන්නාගොඩැල්ල, පරංගියාවාඩිය යනාදිය එසේ පරිසර පද්ධතිය මුල්කොට ගෙන බිහි වූ ජනාවාසයන්ය. මෙවැනි හුදෙකලා කඳු හෝ ගොඩැලි සහිත භූවිෂමතාව නිසා ඒ පරිසරයේ ස්වාභාවික භූපතනයක් (Hollow) නිර්මාණය වී ඇති බවත් මේ භූපතන ඊසානදිග මෝසම් වර්ෂාව සක්‍රීය වීම සමඟ ජලය රැ‍ඳෙන ස්ථාන බවට පත්වන බවත් සඳහන්ය. පූර්ව ඓතිහාසික අවධියේ ජනාවාසවල ස්ථානගත වීම පිළිබඳ විමර්ශනය කිරීමේදී මෙවැනි භූපතන සහිත ස්ථානවල එම ජනාවාස ස්ථානගත වී ඇති බව මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්නයන්ගේ අදහසයි. ඔහු පෙන්වා දෙන්නේ ඉබ්බන්කටුව, ඉදමොරළුවවැව, පොම්පරිප්පුව යනාදි ස්ථානවලින් මේ ජනාවාස පිළිබඳව හඳුනාගත හැකි බවයි.

දිවයිනේ විවිධ පෙදෙස්වලින් මෙවැනි සුසාන භූමි ඉතා බහුල ලෙස හමු වූව ද ඉබ්බන්කටුව මහාශිලා සුසානය අතීත මානව සමාජයේ එක් පැතිකඩක් නිරූපණය කරන ප්‍රබල සාධකයකි. මෙම තොරතුරු අනුව සනාථ වනුයේ අතීතයේ දී ශ්‍රී ලාංකිකයන් පූර්ව ඵෙතිහාසික යුගයේ දියුණු තාක්ෂණයකින් හෙබි සංස්කෘතියකට හිමිකම් කී මානව පිරිසක් බවය.

Comments