ඉන්දියාව කොවිඩ් ලැයිස්තුවේ තුන්වැනි තැනට | සිළුමිණ

ඉන්දියාව කොවිඩ් ලැයිස්තුවේ තුන්වැනි තැනට

කොවිඩ් වසංගතය අවසන් වන බවට කිසිඳු ලකුණක් දැක ගත නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර සිටියදී ලෝකයෙන්ම වැඩිම කොවිඩ් ආසාදිතයන් සහිත තුන්වැනි රට බවට අසල්වැසි ඉන්දියාව පසුගියදා පත් විය. ඒ රුසියාව සිව් වැනි තැනට ඇද දමමිනි. මේ වන විට රුසියාවෙන් වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 6,94,230ක් වන අතර ඉන්දියාව රුසියාව ඉක්මවමින් කොවිඩ් රෝගීන් 7,21,310ක් වාර්තා කර තිබේ. එහෙත් මේ වන විට රුසියාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 10,000 ඉක්මවද්දී ඉන්දියාවෙන් එමෙන් දෙගුණයක් එනම් 20,000 ඉක්මවා කොවිඩ් මරණ වාර්තා වීමය.

මේ වන විට ලොව කොවිඩ් ලැයිස්තුවේ අංක එකේ ස්ථානයේ අඛණ්ඩව පසුවන අමෙරිකාව කොවිඩ් ආසාදිතයන් ලක්ෂ තිහ සහ මරණ 1,32,000 ඉක්මවා වාර්තා කරමින් සිටී. දෙවැනි ස්ථානයේ පසුවන බ්‍රසීලයෙන් මේ මොහොත වන විට වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 16කි.

ඉන්දියාව මෙවැනි ඛේදජනක වාතාවරණයකට පත්වීමේ විශාල ඉඩකඩ පවතින බව පැහැදිලිවම පෙනී ගියේ පසුගිය අප්‍රේල් මාසයේදීය. ඒ රෝග ව්‍යප්තිය පාලනය කර ගැනීමට එරට බලධාරීන් අපොහොසත් වන බව පෙනී යෑමත් සමගිනි. මාර්තු මාසයේදී රටම වසා දමමින් රෝගය පාලනය කර ගැනීමට දැඩි උත්සාහයක් දැරූවද ඒ වන විටත් කොවිඩ් වයිරසය ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල පැතිරගොස් අවසන්ය.

විශේෂයෙන්ම ඉන්දියාවේ අධික ජනගහනය සහ අවම පහසුකම් මෙලෙස රෝගයේ ව්‍යප්තියට හේතු වූ බව පැහැදිලිය. අමෙරිකාව හෝ රුසියාව මෙන් නොව බ්‍රසීලය සහ ඉන්දියාව යන දෙරටම දුගී රටවල්ය. මේ රටවල ජනතාව අවිධිමත් නාගරීකරණයෙන් දැඩි සේ පීඩා විඳින ජනතාව වෙසෙන රටවල්ය. කොවිඩ් වැනි වසංගත අවස්ථාවකදී පුරවැසියන් සතුව තිබිය යුතුම සෞඛ්‍ය පහසුකම් මේ රටවල අවමය.

මේ වන විට ඉන්දියාවේ වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ මහාරාෂ්ඨ ප්‍රාන්තයෙනි. මේ වන විට එම ප්‍රාන්තයෙන් පමණක් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා තිබේ. එහෙත් මේ සතියේදී එම ප්‍රාන්තයේ හෝටල් විවෘත කිරීමට අවසර දෙන බව ප්‍රාන්ත ආණ්ඩුව පවසා තිබේ. එම ප්‍රාන්තයේ පූනෛ සහ මුම්බායි නගරවල කොවිඩ් ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ. ඉදිරියේදී මේ ප්‍රාන්තයේ මරණ සංඛ්‍යාවද වේගයෙන් ඉහළ යෑමට නියමිත බව වාර්තාවල සඳහන්ය. එසේ වීමට හේතුව ආසාදිතයන් දිනෙන් දින ඉහළ යෑම පමණක් නොව රෝහල්වල ශ්වසනය පහසු කිරීමේ උපකරණද, දැඩි සත්කාර ඇඳන්ද අවම වීමය.

තමන්ට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වුවද නිවෙස්වලම රැඳී සිටින ලෙස ඉන්දීය රජය කොතෙක් ජනතාවගෙන් ඉල්ලා සිටියද ජනතාව හැකි ඉක්මනින් රෝහල් කරා ඒමට පෙළඹී සිටින බවද වාර්තා වේ. උතුරු මුම්බායි ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන්ගේ සියයට 60ක වර්ධනයක් දක්නට ලැබෙන බව ඉන්දීය සෞඛ්‍ය අංශ වාර්තා කර තිබිණි.

ඉන්දියාව පුරා නිරෝධානය මධ්‍යස්ථාන ක්‍රියාත්මක වුවද ඒවායේ පහසුකම් අවම වීමෙන් වයිරසය වඩාත් වේගයෙන් පැතිරෙමින් තිබෙන බව ඉන්දීය සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ. මුම්බායි නරගයේ නිරෝධායන මධ්‍යස්ථානවලින් පමණක් මේ වන විට පුද්ගලයන් ලක්ෂ 15කට අධික සංඛ්‍යාවක් නිරෝධායනය කළද රෝගය පැතිරීමේ කිසිදු පාලනයක් දැක ගැනීමට නොහැකි වී තිබේ.

ඉන්දියාව මෙලෙස කොවිඩ් වසංගතයේ පත්ලටම කිඳා බහිද්දී ඔස්ට්‍රේලියාවද රෝගය පාලනය කර ගැනීමට මේ වන විට සියලු උත්සාහයන් දරමින් සිටී. මේ අවස්ථාවේදී ඔවුන් අසාර්ථක වුවහොත් ඔස්ට්‍රේලියාවටද රෝගය පාලනය කර ගැනීමට නොහැකි වනු නොඅනුමානය. මෙල්බර්න් නුවර රෝගය පැතිරෙන ස්ථාන හඳුනාගෙන සති හයක කාලයක් සඳහා එම ස්ථාන වසා දැමීමට ප්‍රාන්ත ආණ්ඩුව කටයුතු කර තිබේ. එරට වික්ටෝරියා ප්‍රාන්තයේද ආසාදිතයන් පාලනයකින් තොරව ඉහළ යමින් තිබේ.

මේ අතර දකුණු ආසියාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව තවතවත් ඉහළ දමමින් පකිස්තානය ආසාදිතයන් ලක්ෂ දෙක ඉක්මවූ අතර බංග්ලාදේශයද ආසාදිතයන් ලක්ෂ දෙකට ආසන්න වෙමින් තිබේ. කෙසේ වුවද මේ රටවල් සියල්ලම තවදුරටත් රෝග ව්‍යප්තිය ගැන සලකා ආර්ථික කටයුතු නවතා දැමීමට සූදානම් නොමැති බව පෙනේ.

කොතෙක් ආසාදිතයන් වාර්තා වුවද ලෝකයේ බොහෝ රටවල් තම සාමාන්‍ය දිවි පෙවෙත කරා ගමන් කරමින් සිටී. එය ආර්ථිකමය වශයෙන් නොනැසී සිටීමට රටරටවලට ශක්තිය ලබා දුන්නද ලොව පුරා කොවිඩ් මරණ සංඛ්‍යාව නම් වැඩි කිරීමට දායක වනු නොඅනුමානය.

මේ වන විට ලෝකයේ දිනකට වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා තිබේ. එහිදී අමෙරිකාවෙන් පමණක් දිනකට රෝගීන් 50,000 ඉක්මවා වාර්තා වන අතර බ්‍රසීලයද, ඉන්දියාවද ඒ ආසන්න ආසාදිතයන් වාර්තා කරයි. ඒ අනුව උදා වන හැම දිනයකම කොවිඩ් වසංගතයේ වඩා දරුණු අවස්ථාවකට ලෝකය මුහුණ දෙමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි.

එහෙත් මේ වන විටත් මිනිසුන් වයිරසයෙන් පළායෑම වෙනුවට වයිරසය සමඟ ගැටෙමින් තම ගමන ඉදිරියට යෑමේ වරණය තෝරාගෙන තිබේ.

Comments