කොරෝනාවෙන් බැටකෑ ඉදිකිරීම් ක්ෂේත්‍රය අබියස ඇති අභියෝග | සිළුමිණ

කොරෝනාවෙන් බැටකෑ ඉදිකිරීම් ක්ෂේත්‍රය අබියස ඇති අභියෝග

මේ වන විට මුළු ලොවම අති දැවැන්ත ආර්ථික ප්‍රපාතයකට තල්ලු වෙමින් පවතී. චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය තිඹිරි ගෙය කර ගනිමින් ව්‍යාප්තිය ඇරඹුණු කොවිඩ් 19 නව කොරෝනා වයිරසය මේ තත්ත්වයට බල පෑ ප්‍රධානතම හේතුව වන අතර කොවිඩ් 19 නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කර ගනිමින් ගොඩ ඒමට රටක් ලෙස අපට හැකියාව ලැබුණත් ශ්‍රී ලංකාවේ අපටද ඉදිරි කාලය තුළ විවිධ ආර්ථික ප්‍රශ්න හා අභියෝග වලට මුහුණ දීමට සිදුවන වටාපිටාවක් කොරෝනා නිසා දැනටද නිර්මාණය වෙමින් තිබේ.

 

ගත වූ කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගයට බලපෑ ක්ෂේත්‍ර ලෙස සංචාරක ව්‍යාපාරය, ඇගළුම් කර්මාන්තය, කෘෂිකාර්මික නිෂ්පාදන, ආනයන හා අපනයන වෙළෙද කටයුතු, විදේශ රැකියා, තොරතුරු තාක්ෂණ අංශය මෙන්ම ඉදිකිරීම් කර්මාන්තයටද ප්‍රමුඛ ස්ථානයක් හිමිව තිබුණි. විශේෂයෙන්ම රටේ භෞතික සංවර්ධනය ද කැපී පෙනෙන ලෙස ඉස්මතු කර පෙන්වන අධිවේගී මාර්ග, මහා මාර්ග, ග්‍රාමීය මාර්ග, දුම්රිය මාර්ග, ප්‍රාදේශීය, පළාත් හා ජාතික මට්ටමේ විවිධ ක්ෂේත්‍රයන්ට අයත් රාජ්‍ය හා පෞද්ගලික අංශයන් හී ගොඩනැගිලි ඉදිකිරීම්, කෘෂිකාර්මික, විදුලි බල, ජල සම්පාදන වැනි සංවර්ධන ක්‍රියාදාමයන්ට අයත් විවිධ ඉදිකිරීම් රැසක් ඉතා සාර්ථක ලෙස ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය ඉදිකිරීම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන්ගෙන් සමන්විත මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට හැකියාව ලැබුණු අතර; කොරෝනා නිසා රට වැසුණු මාස කීපය තුළ මෙම ඉදිකිරීම් කරුවන් සිය ජීවනෝපාය මාර්ග අහිමිව බරපතළ දුෂ්කරතා රැසකට මුහුණ දුන් ඉතාම අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදයක් උදා විය.

කෙසේ වුවත් අළු මතින් යළි නැගී සිටින ෆීනික්ස් පක්ෂියකු මෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයද යළිත් අලුත් යුගයක් වෙත අවතීර්ණ වෙමින් ඇත. ඇඳිරි නීතිය නිසා වැසුණු රට යළි ඇරුණු වහාම ඉදිකිරීම් වැඩබිම් යළි කඩිගුල් මෙන් ඇවිස්සෙමින් ඇත්තේද ඒ නිසාය. අභියෝග මතින් නැගී සිටින ශ්‍රී ලාංකික ඉදිකිරීම් ක්ෂේත්‍රය වත්මනෙහි මුහුණ දී සිටින අභියෝග, දුෂ්කරතා හා ඊට ඉදිරිපත් කෙරෙන විසදුම් සොයා අප ප්‍රමුඛ ඉදිකිරීම්කරුවන් කිහිප දෙනෙකුගේම අදහස් විමසූ අතර, මේ එහිදී එම ඉදිකිරීම්කරුවන් දැක් වූ අදහස් ඇසුරින් සකස් වී ඇති ලිපියකි.

අමාරු කාලයක් වුණත් ඉදිරිය සුබයි

සුසන්ත ලියනආරච්චි

සභාපති , ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය

 

කොවිඩ් 19 නව කොරෝනා ව්‍යාප්තියත් සමඟ රට අකර්මණ්‍ය කිරීමට ගත් තීරණයත් සමඟ ඉදිකිරීම්කරුවන් වන අපද දුෂ්කරතා රැසකට මුහුණ දුන්නා. මුළු රටටම අමාරු කාලයක් ඒ සමගම උදා වුණා. ඒත් ඉතා සාර්ථක ලෙස කොරෝනා වලට මුහුණ දී යළිත් නැගී සිටින්නට මේ වන විටත් අප රටට හැකියාව ලැබී ඇති නිසා අපගේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉදිරි ගමන පිළිබඳවද යම් සුබදායී හැගීමක් මේ වන විට අප සිත් තුළට පහළ වී තිබෙනවා.

කොරෝනා පැතිරීමට පෙර සිටම අප ඉදිකිරීම්කරුවන් බරපතළ අර්බුද රැසකට මුහුණ දෙමින් සමහර අවස්ථාවල ව්‍යාපාර කටයුතු වලින් ඈත් වන තරමටම හිත හදා ගෙනයි හිටියේ. ඊට බලපෑ ප්‍රධානතම හේතුව හේතුව වුණේ රජය විසිරුවා හැරීමට පෙර අප විසින් සම්පූර්ණ කර තිබූ බොහෝ සංවර්ධන ව්‍යාපෘති සදහා මුදල් ගෙවීමට රජයට හැකියාවක් නොමැති වීමයි. එම ගැටලුව විසඳා දීම සඳහා ජනාධිපතිතුමා හා අගමැතිතුමා ප්‍රමුඛ රජය පරිපූරක ඇස්තමේන්තුවක් පවා සම්මත කර ගැනීමට සූදානමින් සිටියත් විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් පටු අරමුණු මත පිහිටා කටයුතු කළ නිසා ඊට ඉඩ කඩ නොලැබුණු බවත් කිව යුතුයි.

ඒ වගේම ඉදිකිරීම් වැඩබිම් සඳහා ප්‍රමාණවත් ශ්‍රමිකයන් නැති වීමත්, අපගේ ගෙවීම් කටයුතු වලදී රාජ්‍ය අංශයේ ඇතැම් නිලධාරීන් දක්වන උදාසීන භාවයත්, කොරෝනා ව්‍යාප්තිය ගෝලීය වශයෙන් මතු කළ අර්බුද හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සදහා අවශ්‍ය බොහෝ අමුද්‍රව්‍ය හිඟවිමත් යන හේතු මේ වන විට අප යන ගමනට බාධා මතු කර තිබෙනවා.

කොහොම වුණත් කොරෝනා වසංගතයත් පරාජයට පත් කර කොරෝනා ව්‍යාප්තිය හමුවේ කඩා වැටුණු රටේ සමස්ත ආර්ථික පද්ධතියම යළි ප්‍රකෘතිමත් කිරීම සඳහාත් ජනාධිපතිතුමා හා වත්මන් රජය ඉතා වෙහෙසකර උත්සාහයක් ගන්නා බවත් ඉතා පැහැදිලි ලෙසම අප සැමටම පෙනෙන්නට තිබෙනවා.එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට අපගේ වැඩ බිම්ද ක්‍රම ක්‍රමයෙන් යළිත් සිය ව්‍යාපෘති ආරම්භ කර තිබෙන අතර අප සෑම විටකම සෞඛ්‍ය අංශ නිර්දේශ වලට අනුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ව්‍යාපෘතීන්හි කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරනවා.

 

සංවර්ධන ව්‍යාපෘති සඳහා පසුගිය රජය කාලයේ ලැබිය යුතු ගෙවීම් තවමත් ලැබී නැහැ

නිශ්ශංක එන් විජේරත්න

ප්‍රධාන විධායක නිලධාරී

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය

 

පැහැදිලිවම කොරෝනා වසංගතය පරදා ශක්තිමත් ලෙස නැගී සිටින්නට හැකි වීම කුඩා රටක් ලෙස අප ලැබූ ඉතා විශාල ජයග්‍රහණයක්. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත ව්‍යවසායකයින්ගෙන් සමන්විත ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයක් ලෙස අප එම ජයග්‍රහණය ඉහළින්ම සමරනවා. ඒ පිළිබඳව සතුටු වෙනවා; ආඩම්බර වෙනවා.එමෙන්ම එම ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ සියල්ලන්ටම අපගේ කෘතවේදීත්වය මෙන්ම ප්‍රණාමයද පුද කරනවා.

කොහොම වුණත් පසුගිය කාලය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු කරන සමස්ත ඉදිකිරීම් කරුවන්ටම එතරම් සුබදායී කාල සීමාවක් නොවුණු බව ඉතා කණගාටුවෙන් වුවත් සඳහන් කළ යුතුයි.රට පුරා සිදු කළ බොහෝ සංවර්ධන ව්‍යාපෘති සඳහා පසුගිය රජයෙන් ලැබිය යුතු ගෙවීම් තවමත් එම ඉදිකිරීම්කරුවන් වෙත හිමිවී නොතිබීම ඊට බලපා ඇති ප්‍රධානතම හේතුවයි. මාස කීපයක් නොව වසර කීපයක්ම මෙලෙස තම මුදල් හිර වෙලා තිබුණ නිසා සමස්ත ඉදිකිරීම් ක්ෂේත්‍රයම ලොකු අර්බුදයක් වෙත තල්ලු වෙමින් තිබුණා.අනපේක්ෂිත ලෙස ගෝලීය ව්‍යසනයක් ලෙස අප රටද අකර්මණ්‍ය කළ කොවිඩ් 19 නව කොරෝනා වයිරසය නිසා එම අර්බුදය තවදුරත් උත්සන්න වී ඇති අතර ජනාධිපතිතුමා හා අගමැතිතුමා ප්‍රමුඛ වත්මන් රජය මේ තත්ත්වය තේරුම් ගෙන ඉතා ඉක්මනින් ඒ සඳහා වන විසදුම් ක්‍රියාත්මක කරනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

යල්පැන ගිය නීතිරීති, රෙගුලාසි වෙනුවට නව නීතිරීති හා රෙගුලාසි අවශ්‍යයි

රුවන් ද සිල්වා

සභාපති, ශ්‍රී පාලී කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම

 

කොරෝනා වසංගතය ඉදිකිරීම්කරුවන් වන අපට ඉතා ඉක්මනින් විසඳා ගත යුතු ගැටලු රැසක් මේ වන විට නිර්මාණය කරමින් තිබෙනවා. කොහොම වුණත් ප්‍රධාන ගැටලුව වන රජයෙන් ලැබිය යුතු මුදල් ප්‍රමාද වී තිබීම කියන කාරණය කොරෝනාවට පෙර සිටම අප දැඩි ලෙස අධෛර්යය කර තිබුණා. අවාසනාවට කොරෝනා වසංගතය පැතිරීමත් සමඟ එම වයිරසයෙන් අපේ රටේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා රජය ගත් ඇතැම් පියවර හමුවේ අප ඉදිකිරීම්කරුවන් මුහුණ දෙමින් සිටි එම අර්බුදය නව දිශාවක් වෙත වේගයෙන් තල්ලු වීමට පටන් ගත්තා. එසේම කම්කරුවන්ගේ ප්‍රමාණය සංඛ්‍යාත්මකව අඩු වීමත්, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය විවිධ අමුද්‍රව්‍යයන්හි ඇති හිඟයත්, යල්පැන ගිය නීතිරීති හා රෙගුලාසි වැනි කාරණාත් පසුගිය කාලය තුළ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ඇතිවූ පසුගාමීත්වයට මෙන්ම කඩා වැටීමටද හේතු නිර්මාණය කර තිබෙනවා.

දැන් අපි යළිත් ශක්තිමත්ම නැඟී සිටිය යුතුයි. එලෙස ශක්තිමත් ලෙස යළි නැගී සිටීමේදී කම්කරු නීති, මුදල් රෙගුලාසි ආදී සියලූ දේවල් කාලානුරූපීව වෙනස් විය යුතුයි. විශේෂයෙන්ම රටේ ජනතාවත්, රාජ්‍ය සේවයේ නිලධාරීන් පමණක් නොව පෞද්ගලික අංශයේ නිලධාරීන්ද වෙනදා ක්‍රියාත්මක වූ ක්‍රමවේදයන්ගෙන් බැහැර වී වෙනස් වී උපරිමයෙන් වැඩ කළ යුතු කාලයක් මේ වන විට උදා වී ඇති බවද සදහන් කළ යුතුයි.

 

ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටුණොත් මිලියනයකට වැඩි ශ්‍රමික පිරිසකට රැකියා අහිමි වේවි

මහානාම ජයමාන්න

සභාපති, ජයමාන්න ඇන්ඩ් සන්ස්

 

මේ ගත වෙමින් තිබෙන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැටලු රැසකට මුහුණ දීලා තිබෙන වකවානුවක්. ඉදිකිරීම්කරුවන් වන අප මේ වන විට මුහුණ දී සිටින ප්‍රධානතම ගැටලු ලෙස වැඩබිම්වල සේවය කරන පිරිස් වලට වැඩ නැතිකම සහ පසුගිය කාලය තුළ නිම කරන ලද බොහෝ ව්‍යාපෘති සදහා තවමත් මුදල් නොලැබීම වැනි කාරණා දැක්විය හැකියි.

කොරෝනා වසංගතයට රටක් ලෙස ඉතා සාර්ථක ලෙස මුහුණ දීමෙන් පසු මේ වන විට අපේ ඉදිකිරීම් වැඩ බිම් වල කටයුතු ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා.

අපේ වැඩ බිම් වල කම්කරුවන් සඳහා ඔවුන්ගේ ගෙවීම් සියල්ලම මේ වෙනකොට අප සිදුකරලා අවසන්. ඒත් සේවක පඩි, නඩි නිසි ලෙස පියවීමේ අරමුණින් බැංකු වලින් අප ඉල්ලූ 4% කාරක ප්‍රාග්ධන ණය මුදල් අනුමත වුණෙත් ඊයේ පෙරේදා.

මොන අභියෝග, දුෂ්කරතා ආවත් එම සේවකයන් රැක බලා ගැනීම අපගේ යුතුකමක්; එමෙන්ම වගකීමක්. පැහැදිලිවම එම පිරිස් අපහසුතාවට පත් කරන්නට අපට කිසිදු හැකියාවක් නැහැ. ඒ වගේම වර්තමානයේදී අප මුහුණ දී ඇති සියලු ගැටලුවලට විසදුම් ලබා දීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය විශේෂ උනන්දුවකින් යුතුව කටයුතු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

මෙම ක්ෂේත්‍රය කඩා වැටුණොතින් රටේ ආර්ථිකයට ජවය හා ශක්තිය ලබා දෙන අප වැනි ඉදිකිරීම් ආයතන මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ විවිධ මට්ටම් හී රැකියාවන්හි නි‍යැළෙන මිලියනයකට වැඩි ශ්‍රමික පිරිසකට සිය රැකියා හා ජීවනෝපාය අහිමිව මහ පාරට වැටෙන්නට සිදු වන බව අප අමුතුවෙන් තේරුම් කර දිය යුතු නැහැ.

 

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය යළිත් වේගවත් ගමනකට මුල පුරා තිබෙනවා

මේඝ කුලරත්න

අධ්‍යක්ෂ, මාගා ඉංජිනියරින් පුද් සමාගම

 

මේ වන විට යළිත් ඉදිකිරීම් ක්ෂේත්‍රය වේගවත් ගමනකට මුල පුරා තිබෙනවා .අප යළිත් රට පුරා අපගේ ඉදිකිරීම් වැඩ බිම් හි මෙහෙයුම් කටයුතු ආරම්භ කරමින් තිබෙනවා.

බලධාරීන් ඉදිකිරීම් ක්ෂේත්‍රය පිළිබඳව විශේෂ අවධානය යොමු කර එම ඉදිකිරීම්කරුවන් මුහුණ දෙන ගැටලු හා දුෂ්කරතාවලට ඉතා ඉක්මනින් විසඳුම් ලබා දීමට කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරනවා.

කුමන ප්‍රශ්න, අර්බුද මතුව තිබුණත් ඉදිකිරීම්කරුවන් වන අප ක්ෂේත්‍රයේ ඉදිරියට තිබෙන කටයුතු සාර්ථකව ඉටුකර ගැනීමට තමයි බලාපොරොත්තු වෙන්නේ.

ඒ වගේම මහ මැතිවරණයද අවසන් වූ පසු මාස කීපයක් ගත වන විට දැනට රට තුළ ඇති තත්ත්වය සාමාන්‍ය අතට හැරෙයි කියලත් අප අපේක්ෂා දල්වා බලාගෙන සිටිනවා. එමෙන්ම ඉදිරියේදී රට තුළ සිදු කෙරෙන සියලු සංවර්ධන ව්‍යාපෘතීන්හි ඉදිකිරීම් අප වැනි දේශීය ව්‍යවසායකයන් මැදිහත් කර ගනිමින් සිදුවනු ඇතැයි යන විශ්වාසයද මේ වන විට අප සිත් හි තහවුරු වෙමින් තිබෙනවා.

Comments