හිස කෙස් රකින පහසු සත්කාර | සිළුමිණ

හිස කෙස් රකින පහසු සත්කාර

වර්තමානයේ ස්ත්‍රී පුරුෂ බොහෝ දෙනකු හිස කෙස් සම්බන්ධ ගැටලුවලින් පීඩා විඳිති. හිස කෙස් ගැටලුවලට මූලික හේතුව වන්නේ නිසි පෝෂණය නොලැබීම සහ නිසි සත්කාර නොකිරීමයි. අකලට හිස කෙස් සුදුවීම, හිස කෙස් ගැලවී යෑම සහ හිස්හොරි ඇතිවීම හිස කෙස් සම්බන්ධ ප්‍රධාන ගැටලුය.

හිස නිතරම පිරිසුදුව තබාගත යුතු අතර රෝගයක් නැති නම් හිස කෙස්වලට සුදුසු ෂැම්පූ, කන්ඩිෂනර් හෝ ස්වාභාවික සත්කාරයක් භාවිත කර දිනපතා පිරිසුදු කර ගැනීම වැදගත් වේ. සැර සබන් වර්ග සුදුසු නොවන අතර උණුසුම් ආහාරපාන බහුලව ගැනීම, අධික ලුණු භාවිතය, නිදිවැරීම, නිතර හිස්වැසුම් භාවිතය සුදුසු නොවේ. දුර්වර්ණ සහ පැලී ගිය හිස කෙස් සුන්දරත්වයට බාධාවක් වන අතර හිසකෙස් අග පැලී ඇත්නම් එම කොටස් කපා ඉවත් කළ යුතුය.

මානසික ආතතිය හිස කෙස් වර්ධනය අඩාල කරන අතර හිස කෙස් ආශ්‍රිත රෝග හට ගැනීමට ද හේතු වේ. පරම්පාරාගත රක්ත දෝෂ නිසා ද හිස කෙස් වැටී යාම, රළු වීම සිදුවේ. කොළ පැහැති එළවළු වර්ග ආහාරයට ගැනීම, කොළ කැඳ වර්ග පානය, කුඩා මාළු හා පලතුරු ආහාරයට ගැනීම, එළකිරි, බිත්තර වැනි දේ ආහාරයට ගැනීම මඟින් හිස කෙස් වර්ධනය කර ගත හැකිය. දින දෙකකට වරක් හෝ කැරට් යුෂ පානය කිරීමට හැකි නම් එය හිස කෙස් වර්ධනයට මෙන්ම සම පැහැපත් කර ගැනීමට ද උපකාරී වේ. ගොටුකොළ, නිවිති, මුකුණුවැන්න, කතුරු මුරුංගා සහ ලාවුළු ද හිසකෙස් වර්ධනයට උපකාරී වේ.

දුර්වර්ණ, පළුදු වී ගිය වියළි හිස කෙස් හිමි අයකු නම් හොඳින් ඉඳුණු අලිගැටපේර මදයක් සූරා හිස කෙස් මත ආලේප කර පීරා සෝදා හැරීමෙන් හිස කෙස්වල වියළි ස්වභාවය අවම කර ගත හැකිය. සතියකට දෙවතාවක් පමණ මෙම අලිගැටපේර ආලේපනය කළ හැකිය. කෝමාරිකා මදය සූරා හිස කෙස් මත ආලේප කර හොඳින් පීරා විනාඩි 20කට පමණ පසුව සෝදා හරින්න. වියළි, දුර්වර්ණ හිස කෙස් සඳහා එම ප්‍රතිකාරය සුදුසුය.

අකලට හිස කෙස් සුදු වීම කාන්තාවන්ට මෙන්ම පිරිමින්ට ද තිබෙන ගැටලුවක් වන අතර බොහෝ දෙනකු හිස කෙස් වර්ණ ගන්වා ගැනීමට පෙළඹෙති. නමුත් එය හිතුමතේට කළ යුත්තක් නොවන අතර හිස කෙස් වර්ණ ගන්වා ගැනීමට පෙර අනිවාර්යයෙන්ම ආසාත්මික පරීක්ෂණයක් සිදු කර ගත යුතුයි. අකලට සුදු වූ හිස කෙස් කළු පැහැයට හරවා ගැනීමට නිවෙසේදී කළ හැකි සත්කාරයක් වන්නේ මරතොණ්ඩි කොළ පවනේ වියළා තලතෙල් සමග මිශ්‍රකර හිසේ ආලේප කිරීමයි.

සතියකට වරක් හෝ එඬරු තෙල්, ඔලිව් තෙල් සමග මිශ්‍රකර රත් කර හිස කෙස් මත ආලේප කර විනාඩි 10ක් පමණ තිබෙන්නට හැර සෝදා හැරීම තවත් ප්‍රතිකාරයකි. කී කිරිදිය කොළ යුෂ, මුකුණු වැන්න කොළ යුෂ සහ අමු නෙල්ලි යුෂවලට තලතෙල් දමා සිඳුවා ගෑමෙන් ද හිස කෙස් කළු පැහැයට හරවා ගත හැකිය. කරපිංචා කොළ කැඳ හිස කෙස් සුදු වීම වළක්වන ඖෂධයකි.

 

රූපලාවණ්‍ය ශිල්පිනී

සමීරා තරංගනී

Comments