සුව දිවියට බාධා කරන අතැඟිලි හිරි වැටීම | සිළුමිණ

සුව දිවියට බාධා කරන අතැඟිලි හිරි වැටීම

වර්තමානයේ බහුලව දක්නට ලැබෙන රෝගයක් ලෙස අත් හා ඇඟිලිවල හට ගන්නා හිරිවැටීම දැක්විය හැකිය. මෙලෙස හිරිවැටීම් හට ගැනීමට විවිධ හේතු බලපාන අතර ආයුර්වේද වෙදකමේදී මෙය වාත රෝග ගණයට අයත් වෙයි. බටහිර වෙදකමේදී carpal tunnel syndrome නමින් හඳුන් වන මෙම අවස්ථාව ආයුර්වේද වෙදකමේ සඳහන් "විස්වාචී" නම් රෝග අවස්ථාවට සමාන බව දැක්වේ. එහෙත් රෝගය ව්‍යාප්ත වන ස්වරූපය අනුව විස්වාචී රෝගයට වඩා වෙනස් තත්ත්වයක් දරනු ලබයි.

බොහෝ විට මෙම රෝගය වයස අවුරුදු 40 - 45 පමණ වන මැදිවියේදී හටගන්නා රෝග අවස්ථාවකි. මෙය හටගනු ලබන්නේ මැණික්කටු සන්ධියේ ව්‍යුහයක් තුළින් ගමන් කරන ස්නායුවක් (Median nerve) පීඩාවට පත් වීම නිසයි. මෙම ස්නායුව මඟින් අතේ ඇඟිලිවලට ස්නායු ආවේග සපයන බැවින් ස්නායුව පීඩාවට පත් වීමෙන් අතේ ඇඟිලි හිරිවැටීමක් සිදුවේ. එමෙන්ම මැදිවියේදී හටගන්නා පටක දිරාපත් වීම ආරම්භ වීම ද මෙයට ප්‍රධාන සාධකයකි. විශේෂයෙන් නිතර පරිගණකය භාවිත කිරීම, ලිවීම හෝ දැඩි ලෙස කම්පන ඇතිවන උපකරණ ( Vibrating tools) භාවිත කිරීම සහ අධිකව දෑත් වෙහෙසවන ක්‍රියාවල නිතර යෙදීම ද මෙම රෝගය හට ගැනීමට ප්‍රධාන සාධකයකි. එමෙන්ම නිතර රෙදි සේදීමට අත් වෙහෙස කරවීම, පොල් මිරිකීම වැනි ක්‍රියා මඟින් මැණික් කටුව ආශ්‍රිත දැඩි පීඩනයක් ලබා දීම නිසා ගෘහණියන් බහුල ලෙස මෙම අවස්ථාවට ගොදුරු වනු දැකිය හැකිය.

මෙහිදී රෝග ලක්ෂණ ලෙස අතේ ඇඟිලිවල වරින් වර ඇතිවන නලියන ස්වභාවයක් දැනීම (Tingling sensation),දාහය හෝ හිරිවැටීම ප්‍රධාන වේ. එමෙන්ම වේදනාව හෝ ඇතැම් විට අතට අප්‍රාණික ගතියක් දැනීම ද සිදුවිය හැකිය. එදිනෙදා කටයුතුවලදී අත් හිරි වැටීම හේතුවෙන් ඇතැම්විට අතට ගනු ලබන උපකරණ බිම වැටීම, ත්‍රි රෝද රථ හා යතුරු පැදි පැදවීමේදී අත හිරි වැටීමෙන් වරින් වර අත ඉවතට ගැනීමට සිදු වීම, විශේෂයෙන් යම් දෙයක් වැඩි වෙලාවක් අල්ලාගෙන සිටීමට නොහැකි වීම සිදු විය හැකිය. බොහෝ විට රාත්‍රී කාලයේ නින්දට මෙය බාධා ගෙනදිය හැකිය. අත පහතට එල්ලා වැටෙන සේ තබා ගැනීමෙන් වේදනාව හා හිරිවැටීම ඉවත් වී තාවකාලික සුවයක් විඳිය හැකි නමුත් එම සුවය ඉතා තාවකාලිකය.

නවීන වෛද්‍ය විද්‍යාවේදී මේ සඳහා ශල්‍යකර්ම භාවිත කර ස්නායු තෙරපුම ඉවත් කරනු ලබන අතර ආයුර්වේද වෙදකමේදී මේ රෝග අවස්ථාවට තෙල් ගැල්වීම, වාෂ්ප ස්වේද ඇල්ලීම හා තැවිලි පොට්ටනිවලින් තැවීම ප්‍රධාන කොට ගත් ප්‍රතිකාර සිදු කරනු ලබයි. එමෙන්ම නිවසේදී කළ හැකි පහසු ප්‍රතිකාර ක්‍රම මඟින් රෝග අවස්ථාව පාලනය මෙන්ම සුවකර ගැනීමට ද ගැනීමටද හැකියාව ලැබේ. ශූලහර, ශර්ෂපාදී, පක්ෂාඝාත වායු ශූන්‍ය තෛලය, නාරායන තෛලය මහාමාෂ හෝ අශ්වගන්ධ යන තෙල් වර්ගයක් මඳක් උණුසුම් කොට දිනපතා අත, ඇඟිලි, මැණික්කටුව ආශ්‍රිතව ආලේප කර සම්බාහනය කිරීමෙන් හිරිවැටීම බොහෝ දුරට පාලනය කරගත හැකිය. තෙල් ආලේපය හා සම්බාහනයට අමතරව තැවිලි පොට්ටනි භාවිත කිරීම සිදු කළ හැකිය. මේ සඳහා නික කොළ, තෙල් එඬරු කොළ, මුරුංගා පොතු, කුරුඳු කොළ, සුදුලූනු එකට කොටා පොට්ටනි බැඳ කඩ පිම්මේ තම්බා තැවීම සුදුසුය. මෙම ඖෂධ සපයා ගැනීමට අපහසු අවස්ථාවකදී දෙහි කොල පොතු කොටා සකස් කරගත් පොට්ටනි කඩ පිම්මේ තම්බා තැවීමත් විශිෂ්ට ප්‍රතිඵල දායකය. දේවදාර, කුරුඳු පොතු, බැබිල මුල් තැම්බූ ජලය හෝ සුවඳ කොට්ටන් තම්බා ගත් ජලයෙන් මඳ උණුසුමින් අත් තෙමීම හෝ එම ජලයේ විනාඩි කිහිපයක් අත් ගිල්වා තබා ගැනීම ද ඉතා හොඳ ප්‍රතිකර්මයකි. එමෙන්ම අත් දැඩි ලෙස වෙහෙස වන ක්‍රියාවලින් වැළකීම සහ ප්‍රමාණවත් පරිදි දෑත්වලට විවේක ලබා දීම අත්‍යවශ්‍ය බව ද සිහිපත් කළ යුතුය.

උපදෙස්-

ආයුර්වේද වෛද්‍ය

එම්. රුවන් බණ්ඩාර ජයතිස්ස 

Comments