සශ්‍රීක බවේ නටබුන් ඉතිරි කළ කයිට්ස් | Page 2 | සිළුමිණ

සශ්‍රීක බවේ නටබුන් ඉතිරි කළ කයිට්ස්

පුංචිනිවාඩුවක්.. කියන්නෙ ජීවිතේ අවස්ථා මග නොහැර ජීවත් වෙන්න ලැබුණු අප්‍රමාණ අවස්ථාවක් කියලා දන්නෙ ඇවිදින්න කැමැති කෙනෙක් විතරයි. හිතේ කවදාවත් නොපිරෙන ඒ අවකාශය පුරෝගන්න යන රෝන්දේට මෙවර තෝරා ගත්තේ යාපනයේ " කයිට්ස් " ප්‍රදේශය.

දීර්ඝ නිවාඩුවකට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන්‍ රාත්‍රී 8.30 ට යාපනය බලා පිටත් වෙන තැපැල් දුම්රියෙන් ගමන් කිරීම කල්තියා සැලසුමක් ඇතිව කළ යුතු දෙයක්. මේ දීර්ඝ ගමන වදයක් නොවී යෑම සඳහා කල් තියා දුම්රිය අසුනක් වෙන් කරගත්තා. කයිට්ස් යන ගමනේ ම‍ගේ නවාතැන වෙන්න ඕන කොතනද කියලත් තීන්දු කළා. දුම්රියට නැගලා ටික වෙලාවකින් එන නින්ද දුම්රිය ගමනේ රිද්මයට මුහු වෙනවා. එය අපූරුයි. නින්දෙන් නැඟිටින විට උදෑසන හයට ආසන්නයි. උදේ හය වෙනකොට දුම්රිය යාපනයේ දුම්රියපොළේ...

සංචාරකයෙක් විදිහට ලංකාවේ අනෙකුත් නගරවලට සාපේක්ෂව යාපනය දුම්රිය ස්ථානය වගේම යාපනය නගරයත් ඉතා පිරිසුදුව තබා ගන්නා අයුරු අගය කළ යුතුමයි. ගමන් විඩාව නිවාගැනීමට කලින් සුදානම් කර තිබූ නවාතැනේ රැඳුණු මා ඉර බැසීමට පැය කිහිපයකට පෙර සැලසුම් කළ පරිදි දවසේ සංචාරය ආරම්භ කරන්න සූදානම් වුණා.

යාපනය අර්ධද්වීපයේ වෙරළ අසබඩ පිහිටි කුඩා දිවයිනක් වන වේලනෛ දිවයිනේ ගම්මානවූ අල්ලෛපිඩ්ඩි , මන්කුම්පන් , වේලනෛ , සරවනෛ, පුලියන්කූඩල්, සුරුවිල්, නරන්තනෙයි, කරම්පත් යන ගම්මාන අතරින් කයිට්ස් වැදගත් ස්ථානයක් ගන්නවා.

යාපනය නගරයෙන්ම ස්කූටරයක් හොයා ගත්තු මම මහසයුර මැදින් වැටුණු මාර්ගය දිගේ මුහුදු හුළඟත් දෙබෑ කරමින් ඉදිරියට ඇඳුණේ වචනවලට පෙරළිය නොහැකි ඒ සුන්ඳරත්වය විඳ ගනිමින්. කයිට්ස්වලට ගොඩ බිමෙන් මෙන්ම මුහුදු මාර්ගය ඔස්සේද ගමන් කරන්න පුළුවන්. මම තෝර ගත්තේ ගොඩබිම් මාර්ගයයි. මේ ජනතාවගෙන් බහුතරය හින්දු භක්තිකයින්. සුළුතර දෙනා මුස්ලිම් හා කිතුනු බැතිමතුන්. හින්දු දේවාල ගණනාවක්, ක්‍රිස්තියානි දේවස්ථාන, මුස්ලිම් පල්ලියක්, පාසැල් , බැංකු, රාජ්‍ය ආයතනද නගරයේ දැක ගන්න පුළුවන්. අතීතයේ යහමින් සශ්‍රීක ප්‍රදේශයක් ලෙස තිබූ බවට, සිවිල් යුධ තත්ත්වයෙන් විනාශ වී ඉතිරිව ඇති නටබුන්වලින් තවදුරටත් තහවුරු වෙනවා. අද වන විට මෙහි වෙසෙන බොහෝ දෙනාගේ රැකියාව වී ඇත්තේ ධීවර කර්මාන්තයයි.

පළාතේ බොහෝ දෙනා දෙමළ භාෂාව පමණක් කතා කරන නිසා පාරවල් අහ ගැනීම නම් ටිකක් අපහසු කටයුත්තක්. නමුත් ගුණ ගරුක පිරිසක් යාපනය ජීවත් වෙන නිසාවෙන්ම කෙල්ලෙක්ට තනියම වුණත් මේ වගේ ගමනක් යන්න කොහොමත් බය වෙන්න ඕනේ නෑ. කොහොම හරි පාර හොයන් කයිට්ස් බලකොටුව ළඟට එන්න මට හැකි වුණා. 1692 වසරේදී පෘතුගීසීන් විසින් තනවන ලද "කයිට්ස් බලකොටුව" අදටත් නටබුන් ලෙස මෙහිදී දැක ගන්න පුළුවන්. එය ඉදිකර ඇති පාෂාණ අනෙකුත් පාෂාණවලට වඩා වෙනස් ස්වභාවයක් ගනු ලබනවා. සැන්දෑ යාමේ හිරු බැස යන මොහොතක ඈතින් ඇදෙන ධීවර බෝට්ටු, අහසේ සැරිසරන පක්ෂීන් දෙස බලකොටුවේ සිට බලන්නකු ගේ දෙනෙතේ මවන්නේ හරි අපූරු සිතුවමක්.

අතීතයේ මෙහි ජැටියේ සිට ඉන්දියාවට අලීන් ප්‍රවාහනය කර තිබෙන බව පත පොතේ සඳහන්. ඉතින් පෘතුගීසී යටත් විජිත සමයේ "අලි පටවන ජැටිය " පෘතුගීසි බසින් “ Caes dos Elefantes “ ලෙස නම් කර “ CAIS” ලෙස කෙටිකර පසුව එය පහසුව තකා " Kayts “ බවට පත් වී තිබෙනෙවා.

මෙය පෞරාණික වටිනාකමකින් යුතු ස්ථානයක් ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි මට නම් හැඟුණේ. නිසි වැඩ පිළිවෙළකට අනුව මෙම ස්ථානය සංරක්ෂණය කර සංචාරක ආකර්ෂණයක් ඇති ප්‍රදේශයක් බවට පත් කළහොත් මෙම ප්‍රදේශයේ රැකියා අවස්ථාත් ජනනය වී ඉන් රටේ ආර්ථිකයට දායක වීමට ඔවුනට හැකියාව උදා වේවි.

සවස් යාමය ළං වූ නිසාම කයිට්ස්වලින් නැවතත් යාපනය බලා පිටත් වුණේ රක්ත වර්ණ හිරු ගිලගන්නා මුහුද මැදින් වැටී තිබූ මාර්ගයේ සුන්දරත්වය විඳිමිනුයි. ඒ අපූරු හැන්දෑවේ ළගන්නා සුළු හැඟුම් වචනවලට පරිවර්තනය කරන්න තරම් මගේ ළඟ තියෙන වචන මදී කියලයි මට හිතුණේ. ගමන් මහන්සිය නිවෙන්නත් එක්ක යාපනේ ආවහම කවුරුත් අමතක නොකරන රියෝ අයිස්ක්‍රීම් එකක රස බලන්නත් අමතක කළේ නැහැ.

 

දිළිණි උදාරි

[email protected]

Comments