සබන් කැටෙන් කතා මවන පුංචි කෙල්ල | සිළුමිණ

සබන් කැටෙන් කතා මවන පුංචි කෙල්ල

ඇය තවම ලෝකය සොයා යන පුංචි කෙල්ලෙක්.. ඒ වුණත් ඒ හිත ගොඩක් ලොකුයි... හරිම උත්සාහවන්තයි... සබන් කෑල්ලෙන් කෑල්ල හද හදා ඒ හදපූ සබන් කැටවලින් ලස්සන කතා මවන මේ කෙල්ල තවම හිරිමල් වියට පිළිපන් යෞවනියක්. එසේ වුවත් දක්ෂ ව්‍යවසායිකාවක්. ඇගේ නම රිෂ්මා රිස්වී. වයස අවුරුදු 17යි. ඇය දැනට කොළඹ බිෂොප් විදුහලේ උසස් පෙළ හදාරනවා...

ඇගේ අපූරු චින්තන රටාව හෙළි කරන මේ කතා බහේ අනාගතයේ විශිෂ්ට ගැහැනියක් බිහි වීමේ පෙර මග ලකුණු පෙනෙනවා...

“මම පුංචි කාලේ ඉඳන් එක එක රූපලාවන්‍ය ක්‍රම අත්හදා බලන්න හරිම කැමැතියි. අසා දැනගත් බොහෝ ශිල්ප ක්‍රම යූ ටියුබ් එකෙන් හොයා ගෙන අත්හදා බැලීමේ පුරුද්දක් මට තිබුණා. මට මතකයි දවසක් පාට කූරක් රත් කරලා ලිප් බාම් එකක් හදා ගන්න වීඩියෝවක් බැලුවා. මටත් ඕනි වුණා ඒක කරලා බලන්න. ඉතින් අම්මා නිදි වෙලාවක ලිප් බාම් එක ඒ කියපු විදිහටම හදලා මමත් ගාගෙන නිදියන් හිටපු අම්මටත් ගෑවා. අම්මා එදා කිව්වා "ඔයා ගොඩාක් ලස්සනයි පුතේ. අනවශ්‍ය ‍දේවල්වලින් ඔයාගෙ ලස්සන නැති කර ගන්නේ එපා. අවශ්‍ය නම් ස්වභාවික දේවල් එකතු කරලා හොඳ දෙයක් කරන්න මේ දැනුම ඔස්සේ උත්සාහ කරන්න “ කියලා. එදා අම්මා කියපු දේ ගැන මං ගොඩක් හිතුවා. ගොඩාක් අධ්‍යයනය කළා. කරුණු හොයලා හොයලා මුලින්ම හැදුවේ ෆේස් පැක් එකක්. ගෙදර කට්ටියව තමයි අත්හදා බැලීම්වලට එකතු කර ගත්තේ. “

“ඉතින් රිෂ්මා... වැඩේ සාර්ථක වුණා ද?“මා ඇසුවාම රිෂ්මා කොක් හඬ ලා සිනාසුණා.

"ඔව්.. ඇත්තටම ඔව්.. ඊළඟට තමයි මම සබන් හදන්න ගත්තේ. ලෝකෙ හැම තැනින්ම තොරතුරු දැනුම එකතු කරගත්තා. අන්තර්ජාලය හරහා පරීක්ෂණ පත්‍රිකා කියෙව්වා. පස්සෙ මම මටම ප්‍රතිපත්ති සීමාවක් හදා ගත්තා. මගේ නිෂ්පාදනවලට යොදා ගත්තෙ ස්වභාවික අමුද්‍රව්‍යය... උදාහරණ විදිහට ගත්තොත් පිරිසුදු පොල් තෙල්, සුදු හඳුන්, වෙනිවැල් ගැට, කොහොඹ, වැනි තවත් අමුද්‍රව්‍ය රැසක් උපයෝගී කරගත්තා. ඒ අත්හදා බැලීම් ගොඩාක් සාර්ථක වුණා... ඉතින් මම සබන් හැදුවා..."

ඔයා තවම ඉස්කෝලෙ යනවා රිෂ්මා.. මේ වැඩ වලට අම්මයි තාත්තයා දුන්නු සහයෝගය කොයි වගේ දැයි අසනවිට ඇය කතා කලේ ප්‍රබෝධයෙන්.

"ලොකු සහයෝගයක් ලැබුණා. විශේෂයෙන් මගේ අම්මා තාත්තා නංගිලා ආච්චි සියා, නැන්දලා, යාලුවෝ... මේ හැමෝම මට උදවු කළා. අම්මා මාව ගොඩාක් අගය කළා.

අම්මා මං ඒ හදපු සබන්වල පින්තුර මගේ නැන්දලාට යැවුවා. එක නැන්දා කෙනෙක් දවස් එකහාමාරකින් සබන් 25ක් ඕනෑ කිව්වා. ඒ තමයි මට ලැබුණු පළමුවැනි සබන් ඇණවුම. එතකොට මම මේක ව්‍යාපාරයක් විදියට කරන්න හිතලවත් තිබුණේ නෑ. අම්මා තමයි යෝජනා කරලා දිරිමත් කළේ මේකට නමක් දාන්න. අම්මා කිව්වා මගේ නමට ගැළපෙන විදිහට නමක් දාන්න කියලා. ඉතින් මට එක පාරටම කියැවුණා Soapstorisකියලා."

ඉතින් ඇයි එහෙම නමක් දැම්මේ...

"ඒ මම හදන හැම සබන් කෑල්ලකටම මට කියන්න කතාවක් තිබුණු නිසා. ඒ සබන් කැට ඇතුළෙ සුරංගනා කතා වගේ හීන තිබුණා. ‍සබන් කැටයක් මට නිෂ්පාදනයක් නෙමෙයි. නිර්මාණයක්. මුල් කාලෙදී මම මහන්සිවෙලා හරිම ආසාවෙන් හදපූ සබන් පදම වැරදිලා ඔක්කොම විසි කරන්න සිද්ධ වුණා. ඒ වෙනකොට ලොකු දුකක් කඩා වැටීමක් දැනුණා. නමුත් ටිකෙන් ටික අත්දැකීම්වලින්ම ක්‍රමවේදය සොයා ගත්තා. ඒවා සාර්ථක වෙද්දි මට ලොකු ආත්ම ශක්තියක් ඇති වුණා.

මේ කියන කාලේ මම O/L විභාගයට සුදානමින් හිටියේ. සෘණාත්මකව හිතන්න පුරුදු වෙලා හිටපු මම මේ ක්‍රියාවලිය එක්ක හැම දේම පොසිටිව් දකින්න පුරුදු වුණා. එය මගේ ඉගෙනීමටත් ලොකු පිටිවහලක් වුණා. අසාර්ථක වීම් තියෙන්න පුළුවන්... නමුත් ඒ අසාර්ථ වීම් තමයි අපට ඉගෙන ගන්න අත්දැකීම් ලඟා කරගෙන සාර්ථකත්වයට උදව් වෙන්නේ. අභියෝග නැති කිසි දෙයක් නෑ. ඒ දේවල් වලට මුහුණ දෙමින් මං මගේ අරමුණට ගියා."

අද වනවිට මේ පුංචි කෙල්ලගේ සබන් කතාව සබන් නිෂ්පාදන ක්ෂේත්‍රයේ පෙරළියක් කරලා. ඒ ගැන ඇය කියන්නෙ මෙහෙමයි.

“අද මගේ හැම නිෂ්පාදනයකටම හොඳ ඉල්ලුමක් තිබෙනවා. දැනට විවිධ වර්ගයේ සබන් 50කට වැඩිය මම නිෂ්පාදනය කරනවා. Soapstoris නිෂ්පාදන මුහුණට සිරුරට ආදී වශයෙන් වෙන වෙනමත් නිෂ්පාදනය කරනවා. කැරට් වලින් හදන සබන් හරි ජනප්‍රියයි. මං මේ නිෂ්පාදන වෙළෙඳ පොළට එක් කරන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් යොදාගෙන කොයිතරම් සාර්ථක ප්‍රතිඵල අත් විඳින්න පුළුවන්ද යන පණිවුඩය ලෝකයට කියමින්."

රිෂ්මා ඇගේ කතාව අවසන් කළේ මේ විදිහට..

මම ඉගෙනීමේ කටයුතු ‍මඟහරින්නේ නැහැ. ඉස්කෝලේ ගහින් ඇවිත් හවස් වරුවම පොත පතේ වැඩ ටික ඉවර කරනවා. බොහෝ වෙලාවට සබන් හදන්නේ රෑට.. රසායනික ඉංජිනේරු විද්‍යාව තව දුරටත් හදාරමින්, ඒ උගත් දැනුමෙන් මගේ ව්‍යාපාරය තවත් ඉහළට ඔසවා තැබීම තමයි මගේ බලාපොරොත්තුව. සබන් නිෂ්පාදන ගැනත් වැඩි දුර හදාරමින් ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක් විදිහට විදෙස් වෙළෙඳපලට අපනයනය කරන්නයි මගේ ඊළඟ හීනය."

ලොකු හීන පිරුණු පුංචි කෙල්ල සිය අනාගතය ගැන හෙළන පැහැසර බලාපොරොත්තුව අප තුළ ඇති කරන්නෙ ද බලාපොරොත්තුවකි. ඇය වැනි හිරිමල් යෞවනියන් අනාගතය සැලසුම් කරන ආකාරය දකින විට හිතෙන්නෙ රටේ අනාගතය හිතන තරම් අඳුරු නැති බව නොවේ ද?

 ටානියා මෝසස්

[email protected]

Comments