ලංකාවේ දරුවෝ වෙනුවෙන් සල්ලි හොයන්න | සිළුමිණ

ලංකාවේ දරුවෝ වෙනුවෙන් සල්ලි හොයන්න

 කෝවිඩ් වසංගත තත්ත්වය නිසා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරය ලොක් ඩවුන් වෙලා තිබුණේ. ඒ පැවැති සීමා ටික ටික ලිහිල් වෙන්න ගත්ත විතරයි.

පොඩි ගැටව් දෙන්නෙක් මඟට බැස නර්තනයේ යෙදෙමින් සිය ගායනයන් ඉදිරිපත් කරමින් සිටියා. මෙල්බර්න් පොලිසිය මේ කටයුත්තට ඒ තරම් කැමැති වුණේ නෑ. පොලිස් නිලධාරියෙක් ඔවුන් ඉදිරියට ආවා.

“මොනවද ඔයාල මේ කරන්නෙ. මෙහෙම හැසිරෙන්න සුදුසු කාලයක් නෙමෙයි මේක. “පොලිස් නිලධාරියා දරුවන් නවත්වන කොට ප්‍රසන්න පෙනුමක් සහිත පුද්ගලයෙක් පොලිස් නිලධාරියා සිටින තැනට ඇවිත් ආචාරශීලීව කතා කළා.

“සමාවෙන්න.. මම ප්‍රසන්න දහනායක. මේ මගෙ පුතාලා දෙන්නා. මේ ජැඩ්. පොඩි කෙනා ජේඩ්. මෙයාල මෙහෙම සිංදු කියන්නෙ අරමුදලක් එකතු කරන්න. ඒ අරමුදල් රැස් කරලා එයාලා ලංකාවෙ දුෂ්කර පළාත්වල පාසල් සංවර්ධනය කරන්න යොමු කරනවා. “

පොලිස් නිලධාරියා මොහොතකට සංවේදි වෙලා. මේ පුංචි පැටව් දිහා බලන් හිටියා. ඔහුගෙ මුහුණෙ ඇඳුණෙ ගෞරවණීය සිනාවක්. ඔහු රැස් වෙලා හිටපු කීප දෙනාට කතා කළා.

“මම කිව්වා දෙන්නට යන්නම එපා කියලා. එයාලගෙ අරමුණු මේ කොවිඩ් කාලෙ ටිකක් අඩාල වෙලා තිබුණෙ... ඔවුන්ට අවශ්‍ය වුණා අරමුදල් සම්පාදනය ආයෙ ආරම්භ කරන්න. “ඒ ආඩම්බරකාර තාත්තා පසුගිය දිනක රසඳුන අප සමග කතා කළා.

“ ඇත්තටම මට මේ කොල්ලො දෙන්නා ගැන හරිම ආඩම්බරයි. තාත්ත කෙනෙක් ලබන්න ඕන මේ වගේ දරුවො. ඔවුන් පාසල් වෙලාවෙන් පස්සෙ ඔවුන්ට යන්තම් සමීප තාත්තාගේ රටේ අහිංසක දුප්පත් දරුවන්ගෙ ජීවිත ලස්සන කරන්න කැප වෙනවා. ඒ සඳහා අරමුදල් රැස් කරන්න සිංදු කියනවා. නර්තනයෙ යෙදෙනවා. නගරයෙ කසළ බඳුන් සුද්ද කරනවා. නගර වැසියන්ගෙ බලු සුරතලුන් ඇවිද්දවනවා. එහෙම කරලා එකතු වෙන පුංචි මුදල ලංකාවෙ අති දුෂ්කර පාසල්වල එයාලගෙ වයසෙ දරුවන්ගෙ සුබ සාධනය වෙනුවෙන් යොදවනවා.“

ඒ තාත්තගෙ කතාව අප අහගෙන ඉන්නෙ තිගැස්මෙන් යුතුවය. මේ තරම් ලොකු හිතක් ඇති පුංචි උන් දෙන්නෙක්. මේ අාකල්ප ඒ පුංචි දරුවන්ට ලැබුණු විදිහ, එය ගොඩනගා ගෙන ඉන්න විදිහ. අප ඔහුගෙන් විමසුවා.

“මේ පැටව් දෙන්නා මේ තරම් ලොකු වැඩකට යොමු වෙන්න ඒ අදහස දුන්නේ කවුද?“ප්‍රසන්න හිනාවක් එක්කම කතාව පටන් ගත්තා.

“මගෙ අම්මගෙ උපන් ගම ඇහැලියගොඩ නාකන්දල. නාකන්දල ශ්‍රී ගංගාරාමයෙදි මම සිල් ගත්තා. එදා ගමේ පන්සලේ නායක හාමුදුරුවො මගෙන් ඇහුවා දාගැබ්වහන්සෙ හදනවා. මහත්තයට පොඩි උපකාරයක් කරන්න පුළුවනද කියලා. මම චෛත්‍යයේ වැඩ නිමා කරනකම් උදව් කළා. කොත් පළඳවන උත්සවයට මම ජෑඩ්, ජේඩ් එක්ක ලංකාවට ආවා. ඒ තමයි ඔවුන් ලංකාව හොඳින්ම දැකපු අවස්ථාව. ලංකාවෙ එයාලගෙ වයසෙ දරුවො ගෙවන ජීවිතේ ඒ අය ඇස්වලින්ම දැක්කා. එයාලා එදා කිව්වා ලංකාවෙ ළමයි වෙනුවෙන් එයාලට මොනව හරි කරන්න ඕන කියලා. මම කිව්වා ඒක හරිම උතුම් වැඩක්. හැබැයි එහෙම දෙයක් කරනවා නම් ඔයාල තමයි අරමුදල් රැස් කරන්න ඕන කියලා. ඔවුන් මේ සමාජ සේවා ව්‍යාපෘතිය පටන් ගත්තෙ ඒ විදිහට...“

දරුවන්ගෙ ආකල්ප වර්ධනය සඳහා තාත්තා කෙනෙක් විදිහට ඔහු ලබා දී තියන ආදර්ශය ලංකාවේ ජීවත්වන අම්මෙකුගෙන් තාත්තෙකුගෙන් බලාපොරොත්තු විය හැකි දැයි මා කල්පනා කළා.

අද වන විට ජැඩ් සහ ජේඩ් දිවයින පුරා පාසල් ගණනාවකට විවිධ ආකාරයෙන් ආධාර ලබා දී තියෙනවා. මේ දිනවල මේ සොහොයුරෝ Cancer Concil Victoria අරමුදලට, Unicef අරමුදලට සහ ලංකාවේ ඉටුකම Covid 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට දායක වෙන්න අරමුදල් රැස් කරමින් ඉන්නවා.

Cancer Council අරමුදල වෙනුවෙන් මුදල් රැස් කිරීම සඳහා මේ සොහොයුරන් දෙදෙනා කොණ්ඩය තට්ටයටම කැපුවා... ඒ මෙල්බර්න්වල පවතින ශීතාධික තත්ත්වයත් නොසලකා හරිමින්. සිය පාසල් අධ්‍යාපනය කටයුතු සහ විෂය බාහිර ක්‍රියාකාරකම්වලටත් එක සේ අවධානය යොමු කරන සොහොයුරන්ගෙන් ලොක්කා, දාහතර හැවිරිදි ජැඩ්ගේ බලාපොරොත්තුව ශල්‍ය වෛද්‍යවරයකු වීමයි. එකළොස් හැවිරිදි පොඩ්ඩා ජේඩ්ගෙ බලාපොරොත්තුව මොළය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් වීමයි. ඒ ගැන ප්‍රසන්න හිනාවෙමින් කියන්නෙ වෙනම කතාවක්.

“මෙයාලගෙ අනාගත වෘත්තීන් ගැන කියන කතා නම් වරින් වරට වෙනස් වෙනවා. ඒත් ඔවුන්ගෙන් කවදාවත් අත් නොහැරෙන කෑල්ලක් ගැන මට සහතික වෙන්න පුළුවන්. ඒ ලෝකයේ ජීවත්වෙන තමන්ට වඩා දුක් විඳින මිනිස්සු වෙනුවෙන් සේවය කිරීම. “

ප්‍රසන්න කියන්නෙත් ලෝකයට හදවත විවෘත වෙච්චි මනුස්සයෙක්. ඔහුත් ලංකාව වෙනුවෙන් සමාජ සේවා කටයුතුවල නිරත වෙනවා. ඔහු විසින් "Free Baby shop" නමින් ෆේස්බුක් සමූහයක් නිර්මාණය කර ලංකාවේ ළදරුවන් වෙනුවෙන් අවශ්‍ය විවිධ දෑ හුවමාරු කිරීමේ ඔන්ලයින් මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

“ඇයි ඔබ මේ තරම් දේවල් ලංකාවට කරන්න උත්සාහ කරන්නෙ. මොකක් ද ඔබට තියන ප්‍රතිලාභය. “මේ ප්‍රශ්නයට ඔහු දෙන්නෙ ඉතා සංවේදි පිළිතුරක්.

“මම දැන් ඔස්ට්‍රෙලියාවෙ ජීවත් වෙන රටේ පිළිගත්තු ව්‍යාපාරිකයෙක් මගෙ බිරිය ඩෙලානි. ඇය මිනිසකුට හමු වෙන්න පුළුවන් හොඳම ගැහැනියක්. මම මේ ටික කිව්වෙ ආර්ථික අතින් මම ශක්තිමත් ස්ථාවර මනුෂ්‍යයෙක් බව ඔබට කියන්නයි. දැන් කියන්නම් ඇයි මම ඉපදුන මගෙ මවුපියන් මාව ගොඩ නගපු, රට ඇතුළෙ මේ තරම් ජීවත් වෙන්නෙ කියලා.

“මගෙ තාත්තා යහපත් මනුෂ්‍යයෙක්. ඔහු සිරිල් දසනායක. තාත්තා මනුස්සකම විතරක් ඉතිරි කළ ආදර්ශවත් චරිතයක්. මම පාසල් යන කාලෙම ඔහු සදහටම අපෙන් සමුගත්තා. මගෙ අම්මා පුණ්‍යා දසනායක. අපිව ගොඩ නගන්න එදා මගෙ අම්මා වින්ද අනේක දුක් කන්දරාව මම දැක්කා. මම ඉගෙනගත්තෙ ඩි.එස්.සේනානායක විද්‍යාලයේ. ඔබට තේරෙනවද දන්නෙ නෑ තාත්තා නැති සාමාන්‍ය පවුලක අම්මා කෙනෙක් කොළඹ ඉස්කෝලෙකට දරුවෙක්ව උගන්වන්න දරන වගකීම කොච්චර ද කියලා. පාසල් කාලෙදි මට හමුවෙන මගෙ කල්‍යාණ මිත්‍රයා ඉන්දික අබේවික්‍රම. ඔහුගෙ තාත්තා ආචාර්ය ආරියදාස අබේවික්‍රම. ඔහු තමයි මට ඔස්ට්‍රෙලියාවට එන්න මග පෙන්නුවෙ. මම කියන්නෙ මගෙ රටේ මිනිස්සුන්ගෙ ආදරණීය ප්‍රතිඵලයක්. ඔවුන් මාව ගොඩනැගුවා. පෝෂණය කළා. මාව මේ තරම් උඩකට නිර්ලෝභීව ගෙනත් තිබ්බා. මම හෘදය සාක්ෂිය එක්ක ජීවත්වෙන කෙනෙක්. මේ මං උත්සාහ කරන්නෙ ඒ උතුම් මිනිස්සුනගේ ආකල්පවලට අඩුම තරමින්වත් සමීප වෙලා ජීවත් වෙන්න.“ ඔහු සිය කතාව හමාර කළේ එලෙසින්.

ශානක ඉරෝෂණ

shanakairosha[email protected]

Comments