පොරොන්ද‍මෙන් විසෙන් විස නැසීම නුවණට හුරුද | සිළුමිණ

පොරොන්ද‍මෙන් විසෙන් විස නැසීම නුවණට හුරුද

‘‍පොරොන්දම්‘ කියන්නෙ අපිට ගොඩක් හුරු පුරුදු වචනයක්. ඒත් ඇත්තටම ‍මේ වච‍නේ හුරු වුණාට පොරොන්දම් බැලීම යනු ‍‍මොනවා දැයි දන්නවද... ‘‍පො‍රොන්දම්‘ කියන වචනය මීට වසර සියයකට පමණ පෙර සිංහලයට එකතු වෙන්න ඇතැයි විශ්වාස කරන්න පුළුවන්. ‘‍පො‍රොන්දම්‘ කියන්නේ ‘පොරුතම්‘ කියන ‍දෙමළ වච‍නෙන් බිඳී සිංහලට එක් වූ වචනයක්. ‍දෙමළ බසින් ‘පොරුතම්‘ කියන්නේ ‘ගැළපීම‘යි.. ඒ අනුව ‘පොරොන්දම් ගැළපීම‘කියන්නේ අරුත් සුන් යෙදුමක්. පොරොන්දම් හා බැඳුණු මිත්‍යා මත තවත් ‍බො‍හොමයක් අද ‍වෙද්දි සමාජ‍යේ පැතිරි ති‍බෙනවා.

විසි පොරොන්දම

වර්තමාන‍යේ දී ශ්‍රී ලංකාවේ බහුල ලෙස භාවිත වෙන්නේ විසි පොරොන්දම් ක්‍රමයයි. මේ ක්‍රමයේදී පොරොන්දම් වැඩි ප්‍රමාණයක් ගැළපේ නම් ඒ දෙදෙනා අතර විවාහයක් සිදුවීම යහපත් යැයි තීරණය කරන්න පුරුදුව ති‍බෙනවා. වත්මන් ජන සමාජයේ පොරොන්දම් බැලීම ඉතාම සරල කාර්යක් විදියටයි සලකන්නේ.

අද හැම පරිගණකයකම විවාහ ගැළැපීමේ සරල ක්‍රමලේඛයක් තියෙනවා. හොඳින් සොයා අධ්‍යනය කළ යුතු ‍මේ මූලික කරුණු එමගින් ලෙහෙසියෙන්ම ගළපගන්නවා.

කවුරුන් කෙසේ ගැළපුවත්, කරුණු විස්සම ගැළපී විවාහ දිවියට පත් බොහෝ දෙනා නොබෝ ක‍ලෙකින් දික්කසාද වීම, විවාහයෙන් ටික ක‍ලෙකට පසු දෙදෙනාගෙන් එක් අයකු මරණයට පත්වීම හෝ අසාධ්‍ය රෝගාබාධවලට ගොදුරු වීම, දරු සම්පත් අහිමි වීම, ආර්ථිකමය වශ‍යෙන් සිටින තත්ත්ව‍යෙනුත් පහළ වැටීම, ධන ධාන්‍ය විනාශ වීම වගේ කනගාටුදායක සිදුවීම් බහුල වශයෙන් සිදු වෙන බව සමීක්‍ෂණ වලින් ‍හෙළි වී ති‍බෙනවා.

මේ වගේ අසාර්ථක විවාහවලට ප්‍රධාන හේතුව වෙන්නේ සාම්ප්‍රදායික ‘විසි පොරොන්දම්‘ක්‍රමයේදී දෙදෙනාගේ පූර්ව කර්ම මනාව හෙළි නොවීමයි. නැතිනම් විවාහය වගේ බන්ධනයක අඩිතාලමට අවශ්‍ය මූලික ගුණාංග හඳුනා නොගැනීමයි. ඇත්තටම විසි පොරොන්දම් ක්‍රමයේදී ලැබෙන පිළිතුරු 'සුබ හා අසුබ' විදියට සඳහන් වුණු පත්‍රිකාවකින් ඔබ අතට පත් කළාට ජ්‍යෝතිෂය ගැන මුකුත්ම නොදන්නා අයට ‍එය තේරුම් ගන්න බැහැ.

විවාහ අපේක්‍ෂිත දෙපළගේ ආධ්‍යාත්මික ගුණ අගුණ, විශේෂිත පෞද්ගලික ගුණාංග ගැන එකිනෙකාට එයින් අවබෝධයක් ලැබෙන්නෙත් නැහැ.. නමුත් වැඩි ගණනක් ගැළපීම් සුබයි යැයි සඳහන් වෙනවා නම් එම යෝජනාව ස්ථිර කිරීමට ‍බො‍හෝ අය හදිසි වෙනවා.

විසෙන් විස නැසීමේ න්‍යාය

ඊට අමතරව කුජ දෝෂය, ශනි ඒරාෂ්ටකය හෝ රාහු වැනි පාපයන්ගේ ගැළපුම විශේෂ යැයි සලකනවා. ‍මෙය 'විසෙන් විස නැසීමේ න්‍යාය' විදියට සඳහන් වුණත්, ගිනි ගත් තැනකට වහා ගිනි ඇවිළෙන සුළු පෙට්‍රල් වත්කිරීම මොන තරම් ප්‍රඥාගෝචර යැයි සිතීම බොහොම වැදගත්. විද්‍යාත්මක සහ තර්කානුකූල පදනමක් මත තමන් ‍ගේ සහකරු ගැළපේදැයි විනිශ්චය කරන්න අවශ්‍ය වන ප්‍රධානම දේ නිවැරැදි ජන්ම කේන්ද්‍රයයි. රූපය, කුලය, ධනය, බලය, රැකියාව, දේපළ යාන වාහන ආදිය ගැන සොයා බැලීමට කලින් සොයා බැලිය යුතු ප්‍රධානම කරුණු ගැන තොරතුරු දැනගැනීමට තිබෙන එකම මාර්ගය උපදින මොහොතේ නවග්‍රහයන් පෙළ ගැසී සිටි ආකාරය දැක්වෙන ජන්ම සිතියම, එහෙමත් නැතිනම් ජන්ම කේන්ද්‍රයයි.

දූ දරුවන්ගේ අනාගතය ගැන හිතන මාපියවරු තමන්ට යමක් කමක් කරගන්න පුළුවන් කාලෙදි දරුවන්ට පෙළවහක් කරලා දෙන්න බොහොම උනන්දුයි. සමහර මවුපියන් අවුරුදු ගාණක් තිස්සේ තමන්ගෙ දරුවට ගැළැපෙන සහකරුවක් හෝ සහකාරියක් හොයන්න මුළු සේසතම වුණත් වැය කරනවා. ඒත් විවාහ ‍වෙන වයස ඉක්ම යන තෙක්ම ඒ අපේක්‍ෂාව සාර්ථක නොවුණු අවස්ථා ‍බො‍හෝ තියෙනවා.

සාම්ප්‍රදායික පොරොන්දම් ගැළැපීම සාර්ථක වුණත් දෙපාර්ශ්වයෙන් එක් පාර්ශ්වයක කුමක් ‍හෝ අඩුපාඩුවක් භෞතික හේතුව විදියට මුල් වෙනවා. එවන් බොහොමයක් දෙනා විවාහයට කැමැත්තක් දැක්වුවත්, විවාහ සැපත විඳීමේ වාසනාවක් නැති අය බවට ජන්ම පත්‍රවලින් අනාවරණය කර ගන්න පුළුවන්. ඒ නිසා පොරොන්දම් ගැළැපීමට කලින් කේන්ද්‍ර හිමියන්ට විවාහ සම්පත විඳීමේ වාසනාව ති‍බේ දැයි බැලීම ප්‍රථම සහ වැදගත්ම කාර්යයක්. විවාහ වාසනාව ජන්ම පත්‍රයෙන් හෙළි වුණත්, අපි හිතන කාල සීමාවලදී විවාහයක් සිදු නොවීමටත් විවිධ ග්‍රහ බලපෑම් හේතු වෙනවා.

‍මෙවන් අවස්ථාවලදී හරි විදිහට පොරොන්දම් ගැළැපුණත් අනපේක්‍ෂිත ප්‍රමාද ඇති වෙනවා. විවාහය පමාවීම නිසා ජ්‍යෝතිෂයේ පිහිට පතාගෙන එන බොහෝ දෙනකුගේ ජන්ම පත්‍රවල විවාහ පමා වීමේ ප්‍රබල හේතූ හමු වෙනවා. එවන් බොහෝ කේන්ද්‍රවල ශනි සහ සඳු යන දෙපළගේ අන්‍යොන්‍ය ක්‍රියාකාරිත්වයේ බලපෑම නිසා විවාහය පමා වෙන බවට කරන ලද සමීක්‍ෂණවලින් හොඳින් තහවුරු වෙනවා.

එනිසා පොරොන්දම් ගැළැපුණත් අසාර්ථක වෙන විවාහ ඕනෑ තරම්. පොරොන්දම් විස්ස බැලීමම පමණක් කොහෙත්ම ප්‍රමාණවත් නෑ. පොරොන්දම් විස්සෙන් විවාහයක් තීරණය කිරීමත් කොහෙත්ම සුදුසු නෑ.

නෙත්මි යශෝධා සන්දීපනී

[email protected]

Comments