පුංචි කාලේ ඉඳලම මම අප්පච්චිගේ ‘රෝස මල’ | සිළුමිණ

පුංචි කාලේ ඉඳලම මම අප්පච්චිගේ ‘රෝස මල’

 මේඝණා මතකද? අප්පච්චි විතරක් පදින අමුතු බයික් එකෙන් ගම වටේ ගිය, තමන්ගේ හිත ගිය කොල්ලා එක්ක සුගතපාල ද සිල්වාගේ ඇට මැස්සා කියවපු, අප්පච්චි තරම්ම හයියට හැමදේම දරාගත්තු මේඝණා? ආනන්ද අබේනායක මහතා නිර්මාණය කළ 'අප්පච්චි' ටෙලි වෘතාන්තය නරඹපු ඔබට ඇය අමතක විය නොහැකිය.

"මම මේඝණා කියලා හඳුන්වනවට කැමැතියි. ඒ චරිතය තවම මිනිසුන්ට මතකයේ තිබීම සතුටුයි. ඒ චරිතය වෙනුවෙන් රයිගම් සම්මාන උළෙලේ හොඳම සහාය නිළිය විදියට නොමිනේට් වුණා. රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ රංගනයට හිමි ජූරියේ විශේෂ සම්මානය ලැබුණා."

පරිස්ථා නයනිදුලා ස්මිත් නම් ඇය විදෙස් ගතව සිට ලංකාවට ‍පැමිණෙන්නේ ආඩම්බර විය හැකි ජයග්‍රහණයක් රැගෙනය. ප්‍රියමනාප ළෙන්ගතුකමකින් යුක්ත පරිස්ථා ඇයගේ ජයග්‍රහණය පිළිබඳ සිටින්නේ නිහතමානී ආඩම්බරයකිනි.

‘‘Miss Grace International 2020 කිරුළ ලැබෙන්නේ මට. මේක cultural pageant එකක්. මුල්ම වතාවට තමයි මේක සංවිධානය කරලා තිබුණේ. මම දැනට ඉන්නේ බෙලාරූස්වල. විටෙබ්ස්ක් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක්. අපේ යුනිවර්සිටි එකේ කල්චරල් හෙඩ් කීවා, පාරිස්ථා ඔයා තමයි මේකට සුදුසුම කෙනා කියලා. එයා කියනකම් මම මෙහෙම තරඟයක් ගැන එකක් ගැන දැනගෙන හිටියේ නෑ. මුලින් ගොඩක් අය ඉදිරිපත්වෙලා තිබුණා. අවසන් වටයට තේරුණේ මා ඇතුළු හත් දෙනයි."

වයස විසි දෙකක සුන්දර තරුණියක් වන ඇයගේ පියා සුමිත් ප්‍රසන්න ලාල් සිරස රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක කැමරා අධ්‍යක්ෂවරයාය. මව යමුනා ධනපාලිය. ඇගේ සොහොයුරා බිසඳ භාතිලය. සිතෙහි කාලයක් තිස්සේ පැලපැදියම්ව තිබූ ආසාවකට හදිසියේ දොරටු විවර වූ බව ඇය අප සමඟ පැවසුවාය.

"මම පොඩි කාලේ ඉඳලම ආස වෛද්‍යවරියක් වෙන්න. අප්පච්චි මට පොඩි කාලේ ඉඳලම කියන්නේ 'මගේ රෝස මල' කියලා. ඉතින් මම ලස්සන ඇති කියලා මටම හිතෙනවා. අම්මා කියනවා ‘ඔයා ඉගෙනගෙන ඉවර වුණු කාලෙක මම ආසයි ඔයා රූ රැජන තරඟයකට ඉදිරිපත් වෙනවා දකින්න‘කියලා. ඉතින් මගෙත් හිතේ ඒක හැමදාම තිබුණා."

ඇය හීනෙකින්වත් නොසිතු මේ අහම්බය ගැන කියන්නේ උතුරා යන සතුටු සිනහවකින් වත සරසාගෙනය..

"ඇත්තටම මට පුදුමත් හිතුණා ඒ හැමෝම හරිම ලස්සනයි. ඒ වගේම ගතිගුණත් බොහොම ඉහළයි. චීනය, කසකස්තානය, තුරුක්මිනිස්තානය සහ රුසියාවෙනුත් තරඟකාරියන් සිටියා.ඔවුන්ගේ සුහදශීලීත්වය මට ලොකු හයියක් වුණා. මේ තරගයට ඉදිරිපත් වුණු හැමෝම වගේ කතා කළේ රුසියානු බසින්. ඉතින් ඉංග්‍රීසි භාෂාව හොඳටම තේරුණු එක තරගකාරියක් මට තේරුණාද අහලා හැමදේම ආයෙත් කියලා දුන්නා."

සෑම සංස්කෘතියකටම එක සමානව ගරුකළ යුතු බව සහ දරාගත යුතු බව ජනගත කිරීම මෙහි තරග සංවිධායකයන්ගේ අභිප්‍රාය වී තිබුණි. ඒ සඳහා ප්‍රධාන වට දෙකක් ඔස්සේ තරග කිරීමට සිදු වූ බවත් තමා වැඩිපුරම දක්ෂ ඉදිරිපත් කිරීමක් පළමු වටය සඳහාත් තම රටට ආවේණික ආහාර සකස් කිරීම දෙවැනි වටයෙන් සිදුකළ බවත් ඇය පැවසුවාය.

“මම නර්තනයට දක්ෂයි. ඉතින් මේ තරඟයේ එක් අංගයකට මම ඉදිරිපත් කළේ නර්තන අංගයක්. එය කැන්ඩියන්, හින්දි සහ කූත්තු එක්ව නිරුමාණය වුණු නර්තනාංගයක්. එයට නිෂේන් රත්නායක, නිකේෂ් කෝසල සහ ගෞතමන් නිෂේන් යන මගේ මිත්‍රයන්ගෙන් සහාය ලැබුණා. විනිශ්චය මණ්ඩලයේ හොඳ ප්‍රතිචාර තිබුණා. මම හොඳට උයනවා. ඉතින් කෑම වර්ග 20ක් විතර හැදුවා. විනිශ්චය මණ්ඩලයේ හිටපු අය ඇස්වලින් කඳුළු එනකම් කෑවා. බෙලරූස්වල ඉන්න ලංකාවේ යාළුවෝ ගොඩක් මට උදව් කළා. ලංකාවේ මගේ යාලුවෝ දෙන්නා ශනුද්‍රි ප්‍රියසාද් සහ සංජලී පතිරණවත් මතක් කරනවා.

මට මෙය ලොකු ගෞරවයක්. පළමුවැනි මිස් ග්‍රේස් වීම ගැනත් මට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්. නොහිතපු වෙලාවක මගේ රට ලෝකය ඉදිරියේ ඔසවා තබන්න මට අවස්ථාවක් ලැබීම ගෞරවයක්....“

ආයිත් මේඝනා වැනි මතකයේ රැඳෙන චරිත කරන්න කැමැති නැද්ද.... කතාව හමාර කරමින් අපි ඇගෙන් විමසුවෙමි.

“රෝසකැලේ, සිරස ඩාන්සින් ස්ටාර් කියන චිත්‍රපට, දුටුනොදුටු මල ටෙලිනාට්‍යය වගේම පුංචි පැංචි වැඩසටහන, දෙරණ ලිට්ල්ස්ටාර් වැඩසටහනටත් ඒ කාලේ මම නිවේදනයෙන් දායක වුණා. ඉදිරියටත් රංගනයෙන් දායක වෙන්න ආයෙ අවස්ථාවක් ලැබෙනකල් ආසාවෙන් බලන් ඉන්නවා“

 

නදී මාණික්කගේ

[email protected]

 

Comments