තාරුණ්‍යයට හීන දුන්න සංසාරික සොහොයුරන්ගේ ආදරය පිරුණු කතාව | සිළුමිණ

තාරුණ්‍යයට හීන දුන්න සංසාරික සොහොයුරන්ගේ ආදරය පිරුණු කතාව

මීට දශක තුනකට ඈත අතීතයේ දවසක්... ඇන්ඩර්සන් මාවතේ නි‍වෙසක බැල්කනියකින් ලස්සන ගී රාවයක් ඇහෙනවා. මේ සිංදු කියන්නෙ සෙල්ලම් වයසේ පසු වූ පැටවු දෙන්නෙක්... ලොක්කට අවුරුදු නවයයි. ‍පොඩ්ඩාට අවුරුදු හයයි... කොසු මිටක් මයික්‍රොෆෝනයට අරන් ඔවුන් එවකට ජනප්‍රිය ගීත ගායනා කරන්නෙ මඟ තොටේ යන අයටත් පේන්න... තවත් වසර ගණනාවකින් සැබෑ වෙන සිහිනයක මුල් පියවර තබන බව එදා ඔවුන් දැන සිටියෙ නෑ... ඒ සොහොයුරන් දැන් ‍මෙරට සංගීතයේ මියුරුම ලකුණු ලෙස තමන්ගෙ මුද්‍රාව තබා හමාරයි. ඒ අපූර්ව සොහොයුරන් තමයි සන්තුෂ් වීරමන් සහ දුෂ්‍යන්ත් වීරමන්.

ව්‍යාපාර කළමනාකරණය සේම රාජ්‍ය පරිපාලන කටයුතු උරුම පරපුරකටත්, කලා ශිල්ප සහ සංගීතය දායාද වූ පරපුරකටත් අයත් මේ සෙහොයුරන් එම උරුමයේ සංකලනයක්..

අපරිමිත සහෝදර බැඳීම ඔවුන්ගේ සාර්ථකත්වයේ පදනම් සලකුණක්. ජීවිතයේ මියුරුම මතක එක්ක අප ඔවුන් සමඟ සංවාදය ආරම්භ කළා. කතාවට මුල පිරුවේ සන්තුෂ්.

"ඒ ඇන්ඩර්සන් මාවතේ ගෙදරට දවස් කිහිපයකට කලින් යන්න මට අවස්ථාවක් ලැබුණා. ඒ අවුරුදු තිස් දෙකකට විතර පස්සේ. ඒක හරිම ලස්සන මතකයක්. ඒ බැල්කනි එකේ අපි සෙල්ලම් කළා... සින්දු කිව්වා. අපේ පුංචි දවස්වල මතක ඒ ගෙදර පිරිලා. එතැනට ගියාම කාලයත් එක්ක යට ගිහින් තිබුණු ඒ සංවේදී මතක ආයෙත් අලුත් වුණා."

මා දුෂ්‍යන්ත් දෙසත් සන්තුෂ් දෙසත් වරින් වර බැලුවා. ඔවුන්ගේ ඇස් දිලිසෙමින් තිබුණා. සතුටත් වඩා ඒ අතීතය හා බැදුණු බැඳීම් කෙරෙහි වූ සංවේදනා ඒ ඇස්වල ලියැවි තිබුණා.

"පුංචි කාලේ ඉඳන්ම සෙල්ලම් කරන්න ගියත් මම අයියා එක්කමයි. කොයි වෙලෙත් සෙල්ලමම තමයි. පොඩි කාලේ ඉඳන්ම සංගීතයට තිබුණු ආසාව හරිම ලොකුයි. ඒ කාලෙ අයියා කරන හැමදේම මමත් අනුකරණය කරනවා. අයියා පොඩි කාලේ ඉඳන් කුතුහලය පිරුණු ත්‍රාසජනක වැඩ කරන්න කැමැතියි. ඉස්සර අයියා එළවළු පාත්ති හදනවා. එයා එක්ක එකතු වෙලා මමත් ඒ වගේම පාත්තියක් හදනවා. අපි ඒ වළවල් ඇතු‍ළේ බැහැලා සෙල්ලම් කරනවා.

මට තව සිද්ධියක් මතක් වෙනවා... එතකොට මට අවුරුදු හතරක් විතර ඇති. අපේ මුත්තාගේ ගෙවල් තිබුණේ වැලිගම, ඉතින් එ‍හේ තිබුණා නාන ළිඳක්. ඒක බැම්මක් නැති වතුර පොළොව මට්ටමට පිරුණු ලොකු හතරැස් ළිඳක්. එතැනට ගිහින් අයියා ළිඳට දාන බාල්දි‍යේ කඹේ බැන්ඳා පොඩි ගහක. “දුෂ්‍යන්ත් එසේ කියාගෙන යත්දී සන්තුෂ් ඒ කතාවට මැදින් එක් වුණේ මතක එක්ක නැගුණු සිනහාවක් සමඟින්.

"ඒක ගහක් කිව්වට ගහක් නෙමෙයි. පොඩි මඤඤොක්කා පඳුරක තමයි මම කඹේ බැන්ඳේ. මට බය හිතුණා පනිට්ටුව ළිඳට වැටෙයි කියලා. ඒත් වතුර බාල්දියක්වත් නාන්න හම්බුණේ නැහැ. අම්මයි තාත්තයි බයවෙලා අපිව හොයන් දුවගෙන ආවා. අපේ තාත්තා එහෙම ලේසියකට දඬුවම් කරන්නේ නැහැ. "

"ඒත් එදා තාත්තා පේර කෝටුවක් කඩලා දෙන්නටම අත දික් කරන්න කිව්වා. ඉස්සර වෙලාම ගැහුවේ අයියාට. අයියා අත දික් කරනවා ගන්නවා. අයියා විනාඩි පහළොවක් විතර එහෙට මෙහෙට ඇඹරි ඇඹරි ගුටි කෑවා. ඕක දැකලා පුංචි වුණත් මම තීරණය කළා එක පාරින් ගුටි කාලා වැඩේ ඉවර කරගන්න." දුෂ්‍යන්ත් ඒ අතීතයෙ කිමිදෙන්නෙ හරිම තෘප්තියකින්. ඔහුට සවන් දීමත් හරිම රසවත්...

“තව පාරක් තාත්තා නිදාගෙන ඉද්දි අපි ඇඳ උඩ පොඩි රණ්ඩුවක් ගිහින් ඇඳේ පොලු මෙට්ට්‍රස් සේරම කඩාගෙන තාත්තා එක්කම බිම වැටුණා. එදා නම් තාත්තා නැගිටපු ගමන් ගුටි දුන්නා. හැබැයි තාත්තාට සාමාන්‍යයෙන් අපිට ගහලා දඬුවම් කරනවාට වැඩිය වෙන ක්‍රම තිබුණා. අපිට ඉස්සර දවසකට රුපියල ගා‍ණේ මාසේට පොකට් මනි වෙන් කරනවා. එක දඬුවමකට රුපියලක් කැපෙනවා. අපිට හම්බ කරන්න තිබුණු බෝනස් එක තමයි වැරදි නොකර ඉන්න එක. ඒ ඇතුළෙ ලොකු විනයක් හැදුණා. අපේ ගෙදර හරිම විවෘත සතුටින් පිරුණු පරිසරයක් තිබුණේ. අම්මයි තාත්තයි යාළුවො වගේ. ඕනිම දෙයක් ඔවුන් සමඟ කතා කරන්න පුළුවන්. වැරැද්දක් කළත් තාත්තා අපිට ඇහුම්කන් දීලා වැරදි චේතනාවක් නැති නම් දඬුවම් කරන්නේ නැහැ."

"මල්ලි පුංචි කාලේ අම්ම පස්සෙන්මයි. එයා හරිම කැමැතියි පිටියි සීනියි මයිලෝ එක්ක කලවම් කරලා කන්න..මල්ලිට ඕනි විදිහට අම්මා හදලා දෙන ගමන් හරිම ආදරෙන් තමයි කියන්නේ පුතේ මේ පුරුද්ද නම් හොඳ නැහැ කියලා..ඉතින් මල්ලි රස කර කර කන ගමන්ම අම්මාගෙන් හාදූ දාහක් ඉල්ලනවා. බොහොම අමාරුවෙන් ඒක පනහකට විතර බස්සගෙන අම්මා ඉතින් ගණන් කර කර මල්ලිට හාදු දෙනවා. අපේ අම්මා නිදහස් චින්තනයක් තිබුණු හරිම කලාකාමී කාන්තාවක්.ඇය අපට දුන් නිදහස අසීමිතයි. තාත්තාගෙන් හැදූණු විනය, අම්මාගෙන් ලැබුණු විශ්වසනීය නිදහස තුළ අපේ ජීවිත තෘප්තිමත්ව ගොඩනැඟුණා. තම ආදරණීය මවුපියන් ගැන සන්තුෂ් එ‍සේ සං‍වේදි ‍වෙද්දි දුෂ්‍යන්ත් එයට තවත් මතකයක් එකතු කළා.

“මට මතකයි පොඩි කාලේ එක පාරක් මට තරගයකින් පළමුවෙනි ස්ථානය ගන්න බැරි වුණා. තාත්තා කිව්වා පුතා දිනුවත් පැරදුණත් වැදගත්කමක් නැහැ. ඔයා ඒකට සහභාගී වුණොත් ඉගෙන ගන්න ගොඩක් දේවල් ලැබෙනවා කියලා. පුංචි කාලෙ ලැබුණු ඒ මග පෙන්වීම අපි හිතන විදිහත් වෙනස් කළා“

“මටයි මල්ලිටයි එහෙම මවුපියන් ලැබු‍ණේ සංසාරේ වාසනාවකට“ සන්තුෂ් ඒ කතාවට ආදරණීය හැඟීමක් එකතු ක‍ළා.

ගෙදරදී සන්තු සහ දුෂා ‍යැයි ආද‍රේට කියපු මේ අපුරු අයියා මලෝ දෙපළ කොළඹ රාජකීය විද්‍යාල‍යේද නමක් රැඳවූ චරිත ‍දෙකක්..

“අපි ඉස්කොලේදී ඉගෙන ගත්තා. බාහිර වැඩ ගොඩකුත් කළා. ඉස්කොලේදී මල්ලි පොඩ්ඩක් වෙනස් පෞරුෂයක්.

එයාගේ ශ්‍රේණියේ චණ්ඩියා වගේ. පොඩි පොඩි ෆයිට්වලට සෙට් වෙනවා. මගේ යාළුවො කතා වෙනවා ‘වීරමන් මාර චණ්ඩියෙක්නේ‘කියලා. එතකොට මම දන්නවා මේ කියන්නේ මල්ලි ගැන තමයි කියලා. මල්ලි පාසලේදී දක්ෂතා ගොඩක් පෙන්නුවා. අපි දෙන්නම ශිෂ්‍ය නායකයෝ වුණා. බාහිර සමාජයෙන් ලැබුණු මේ දේවල් එක්ක ගොඩ නැගුණු ලොකු අධ්‍යාත්මික බැඳීමක් අපි දෙන්නගෙ තියෙනවා."සන්තුෂ් කියන මේ කතාව සමාජයෙන් අපට ඇහෙන්නම නැති තරමේ එකක්.

“ඇත්තටම අපි ජීවින ගමනට මවුපියන්, බිරින්ඳැවරුන්, යාලුවන් එක්තරා ශක්තියක්. නමුත් සහෝදරයකුගෙන් ලැ‍බෙන ශක්තිය ඊට සියයට සීයක්ම වෙනස්. මල්ලි කියන්නේ මගේ හිතට දැනෙන මට ලැබුණු ලොකු ශක්තියක්. පොඩි කාලේ ඉඳන්ම මට ඕනිම කරන වෙලාවට මල්ලි මාත් එක්ක හිටියා. බෙදා ගැනීම ගැන අපිට ඉතාම හොඳ පුරුද්දකුත් ගෙදරින් ඇති කරලා තිබුණා. විශේෂයෙන්ම මල්ලිට ඒ පුරුද්ද හොඳින්ම තිබුණා. “

“එක පාරක් මගේ උපන්දිනේට මල්ලිට ඕනෑ ‍වෙලා මට තෑග්ගක් දෙන්න. එයාගේ කැටේ කඩලා ඒ තියෙන සල්ලි ඔක්කොම ලස්සනට ඔතලා දුන්නා ‍මෙන්න අයියාගේ උපන්දින තෑග්ග කියලා. ඒ මතකය තවමත් මට හරිම සංවේදියි."

අධ්‍යාත්මිකව බැඳුණු ‍මෙවන් සොයුරන් ඉදිරිපිට ලෝකය මොනතරම් ලස්සන දැයි මා කල්පනා කළා. සන්තුෂ්ගේ බොඳවූ දෑස් තුළ ලියවී ඇති කතාව වචනවලට පෙරළිය නොහැකි මහා බරසාර එකක් බව මා තේරුම් ගත්තා. මොහොතක් හැමෝම නිහඬයි. මා බැලු‍වේ දුෂ්‍යන්ත් දෙසයි. ඔහු කතා කරන්නට වචන සොයමින් සිටියා.

“අයියා පළමුවෙනි පාර ඕස්ට්‍රෙලියා යනකොට මම එ්ලේවල් කරනවා. ඉස්කොලේ ගිහින් ගෙදර ආවාම අයියා ගෙදර නැහැ. ඒ දැණුන පාළුව මට තාම මතකයි. එදා තමයි මුල්ම වතාවට අපි අතරේ කොච්චර බැඳීමක් තියෙනවද කියලා දැනුණේ. ඔහු වගේ වැඩිමහල් සහෝදරයෙක් ඉන්නවා කියන්නෙත් පහදන්න අමාරු වටිනා රැකවරණයක්. බාල සහෝදරයකුට පුළුවන් තම ස‍හෝදරයාට සහයෝගය දෙන්න, ශක්තියක් වෙන්න. ඒත් රැකවරණයක් වෙන්න අමාරුයි. අදටත් මට අවශ්‍ය තැන්වල අයියා ‍පේන්න නොසිටියත් මම දන්නවා මගේ පිටිපසින් ඕනිම වෙලාවක අයියාගේ ශක්තිය මං ළඟ තියෙන බව. අයියාගෙන් ලැබුණු අාභාසය සහ බලපෑම නිසයි මම ජීවිතේ අද මෙතැන ඉන්නෙ. අයියාගෙන් ලැබුණු වටිනාම තෑග්ග කලාව. මිනිසුන් මාව දැන ගන්නෙත් මයිකල් ජැක්සන්ගේ සින්දු අහන්න කැමැතියි කියලනේ. නමුත් මුලින්ම මයිකල්ගේ ඒ රෙකොර්ඩින්ග්ස් හොයන් ඇවිත් ඇහුවේ අයියා. ඉතින් එයා අහන සින්දු මමත් ඇහුවා. අනු අටේ අයියා භාතිය එක්ක එකතු වෙලා ලංකාවේ සංගීත ක්ෂේත්‍රය ඇතුළෙ වෙනසක් කළා. මගේ මුල් කාලයේ අයියලාගේ කොන්සර්ට්වල පර්ෆෝම් කළා. අදටත් මම එයාලා කරපු දේවල් අධ්‍යයනය කරනවා. අපේ වෘත්තීය ඇතු‍ළේ අපි සාකච්ඡා කරන තැන් තියෙනවා. දුෂ්‍යන්ත‍්ගේ කතාවට නැවත සන්තුෂ් එක් වුණා..

“මල්ලිට සමහර වෙලාවට කොච්චර කිව්වත් ඒ කියන දේ කරන්නේ නැහැ. එයා‍ගේ මතේමයි. එයා විශ්වාස කරනවා එයා හරි කියලා. පුදුම ආත්ම ශක්තියක් තියෙන මනුස්සයෙක්. “

“මම හිතන්නේ අයියා සීරියස් වැඩියි. මම ජීවිතය දකින විදිය සහ අයියා දකින විදිය වෙනස්. “

මේ සංසාරික සොහොයුරන්ගේ අධ්‍යාත්මික බැඳීමේ චමත්කාරය මොහොතකට මා ගොළු කර තිබුණා. බලය, ධනය, කීර්තිය හමුවේ මානුෂික බැඳීම් අත්හල සමාජයක සියලු භෞතික වටිනාකම් අත්පත් කරගත් මේ ආදරණීය සොහොයුරන් තුළ නොනැසී පවතින මනුෂ්‍යත්වය පිළිබඳ ඇති වුණේ අප්‍රමාණ ගෞරවණීය හැඟීමක්.

 අරුණි කළුපහන

[email protected]

 

Comments