ටී ෂර්ට්ස් අඳින්නේ දැනගෙන ද... | සිළුමිණ

ටී ෂර්ට්ස් අඳින්නේ දැනගෙන ද...

ෆැෂන් කියන්නේ ගැහැනු ළමයකුට සමාන පදයක් යැයි කීවෝත් වරදකුත් නැහැ.හේතුව ගැහැනු ළමයි රොත්තක් එකතු වුණාම කියවන්නෙම ෆැෂන් ගැන. ඇවිදින්නෙම ෂොපින් කරන්න. ඔය අතරේ නොගැළපෙන විකාර ෆැෂන් කරන කෙල්ලන්ට හිනා වෙන එකත් එක්තරා ෆැෂන් එකක්.

මම වැරදිද.. ක්ලාස් එකේ, ඉන්ස්ටටියුට් එකේ, කැම්පස් එකේ, ඔෆිස් එකේ විතරක් නෙවේ බස් එකේ යද්දී පවා ඔබට දැක්ක ගමන් හිනා යන විලාසිතාකාරියෝ නැද්ද..?

ටිකක් බය හිතෙන දෙයක් කියන්නද!!!

නොහිතුවට ඔයත් කෙල්ලන්ගේ හිනාවට ලක් වෙනවා ඇති. හරි හරි... කලබල වෙන්න එපා. වැරදි තියනවා නම් කරන්න ඕනේ හදාගන්න එක. බලන්න ඔබත් මේ නොගැළපෙන වැඩ කරන කෙල්ලක්ද කියලා. දැන් මෙහෙම හිතන්න. අපි කාගේත් නෝමල් ඇඳුම ඩෙනිමයි ටී ෂර්ට් එකයි. වැඩිය ලොකු stylish look එකක් එන්නෙත් නෑනේ. හැබැයි ඔය ටී වල ගහලා තියන නානාප්‍රකාර වදන් ගැන ඔබ හිතනවද... “හානේ රෝස පාටයි.. මම ආසම මෙරූන් පාට.. මම අඳින්නේ බ්ලැක් විතරයි” කියලා ගෙනාවට ඕවාගේ ලියලා තියන දේවලුත් කියවන්න.

“අංගොඩ හිඹුටාන.. මොරටුව අඟුලාන” කියලත් දැන් ටි ෂර්ට් වල ගහලා තියෙනවා. ඉතින් වෛද්‍ය සිසුවියක් ඕක ඇඳන් පාරක ගියොත් දොස්තර කෙසේ වෙතත් කොන්දොස්තර පාටක් ඒවි. අනවශ්‍ය තැන්වල click me කියලා ලියපු ටි ෂර්ට් එකක් ඇඳන් ගිහින් කාන්තා හිංසනයට විරුද්ධව බස්වල කෑගහලා වැඩක් නැහැ. සමහර විට ඔබට තට්ටු දාන්න ආව කෙනා කියපු දේ කරා වෙන්නත් ඇති.

තව දෙයක්, සමහර ටි ෂර්ට්ස් තියෙනවා අපි නොදන්නා භාෂාවකින් වචන ප්‍රින්ට් වෙලා තියන. ‘ෆුල් මාවලස්‘ කියලා හිතාගෙන ඕවා ඇන්දට ඒ වචනේ ඇත්තම තේරුම ඔබ දන්නවද?

“මගේ කසින් ඉටැලි වලින් එව්වේ කියලා තමයි අඳින්නේ, බ්‍රෑන්ඩඩ් කියලා පොඩි අහංකාරකමකුත් එක්ක. ඒත් ඔහොම අඳිනකොට නොහිතන දේවල් වෙනවා.

“මේ කතාව මට කිව්වේ මිතුරෙක්, ඔහුගේ ඔෆිස් එකට ගෑනු ළමයෙක් වෙනදට වඩා හැඩ වැඩ වෙලා අලුත් පන්නේ ටි ෂර්ට් එකක් ඇඳන් ආවලු. ඇත්තටම ලස්සන මේ ගෑනු ළමයා මේ ටී එක ලැබුණේ ස්පාඤ්ඤයේ සවාරියක් ගිය පෙම්වතාගෙන් කියලා කීවේ හරි ආඩම්බරයෙන්. හැබැයි වට වෙලා හැඩ බලපු කවුරුත් නොදන්නා රහසක් මගේ මිත්‍රයා රහසේම අර ගෑනු ළමයට කිව්වලු.

“මෝඩියේ. ඔය වචනේ තේරුම ස්පැනිෂ් වලින් ගත්තම prostitute. තමුන් එහෙමද”

ඊට පස්සේ දඩිබිඩියේ ඇඳුම මාරු කර ගැනීම වෙනම කතාවක්. හැබැයි ඔෆිස් එකට එන අතරමඟ ස්පාඤ්ඤ භාෂාව දන්නා කී දෙනෙක් මේ කෙල්ල දිහා නක්කලේට බලන්න ඇද්ද..

ඒ නිසා ඕවා අඳිනකොට ටිකක් හිතලා මතලා අඳින්න. Im princess වගේ එකක් ඇඳල යද්දී අර රස්තියාදු ලුක් එක එන්නේ නැහැ තමයි. හැබැයි ඔබ ඕක හිතලා බලල තෝරා ගත්තු විත්තිය ඕනේ කෙනෙක්ට හිතේවි.

ප්‍රින්ටඩ් ටී ෂර්ට් අඳින්න ඇත්තටම ආස නම් දන්නා වචන තියෙන ඒවා අඳින්න, ෆොටෝ එකක් ප්‍රින්ට් වෙලා නම් ඒකත් හිතලා මතලා තෝරා ගන්න, මොකද සනි ලියෝන්ගේ ඉඳල ශිවන්‍යා වෙනකල් දැන් ගෑනු ළමයිගේ ටී ෂර්ට් ඉස්සරහා දත් සෙට් එක පෙන්නගෙන ඉන්නවා. මේවා අඳින්න කලින් ඔබේ ප්‍රතිරූපයට වෙන දේ ගැන දෙපාරක් නෙවේ තුන් පාරක්ම හිතන්න.

අනික තමයි තමන්ට ගැළපෙන වර්ණය තෝරා ගන්න. කිසිම විදියකට නොගැළපෙන පාට අඳින්න එපා. හරි කැතයි. තව දෙයක්. ඔබ වැඩිය පැහැපත් නැත්නම් ටිකක් ලා වර්ණ තෝරාගන්න. අනික තැනට ගැළපෙන පාට අඳින්න. තද රතු ඇඳන් පන්සල් යන්න එපා.

ෆැෂන් කියන දේ හිතලා මතලා කරන තරමට අපි ලස්සනයි. හැඩයි. හැබැයි වරදින පුංචි තැනකදී පවා අපිව සමාජයට විහිළුවක් වෙනවා. ඒ නිසා, පරෙස්සමෙන්.

 පවීටා

Comments