ආරාධිත කොලම | සිළුමිණ

ආරාධිත කොලම

මිනිසුන්වන අප උපතේ සිට මරණය තෙක් මහා සිතිවිලි දාමයක වෙලී පැටලී ජීවිතයේ විවිධ ඉසව් පසුකරමින් පැමිණෙන අසරණ ප්‍රාණීන්ය. ඉලක්ක ලෙස හඳුනාගත් යම් යම් අරමුණු කරා ජීවිතය මෙහෙයවීමේ දී හමුවන විවිධ භූමිකා අනුව සිතුම් පැතුම් ආකල්ප හැඩ ගස්වා ගන්නා, පැවැත්ම වෙනුවෙන් සියල්ල කැප කිරීමට සූදානම් දුර්වලයින්ය.

එම සිතිවිලි ඉපදෙන වේගයෙන්ම බිඳී යන සුළුය. වෙනස්වන සුළුය. හරියටම ඒ සිතිවිලි සහිතව මිනිසුන් දරාගෙන සිටින භෞතික ශරීරය වගේය. අප ජීවත් කිරීම සඳහා ශරීරය තුළ සිදුවන්නේ අතිශයින්ම විසකුරු ක්‍රියාවලියකි. ජීවයේ පදනම සේ සැලකෙන පිරිසුදු ඔක්සිජන් ධාරාවක් ශරීරය තුළට පිවිසී මොහොතකින් පිටවී යන්නේ විසකුරු කාබන්ඩයොක්සයිඩ් ලෙසිනි.

එවන් විෂ සහිත ක්‍රියාවලියක ප්‍රතිඵල ලෙස උපදින ජීවිතයේ ගලා යෑම ප්‍රකාශ කරන සිතිවිලි අතිශයින්ම චමත්කාරජනක වන්නේ නැත. එය ජීවිත යථාර්ථයකි. අප මේ කතා කරන්නේ ඒ ජීවිත යථාර්ථය ජාඝර බව යම් පමණකින් ප්‍රසන්න වර්ණයෙන් තවරණ ආදරය ගැනය.

මිනිසාගේ ලස්සන පවතින්නේ ආදරය තුළය. ඔහු උපත්තියේ සිට ආදරය සොයන්නේය. බොහෝ පිරිපත දරාගෙන ආදරය නිසා පවතින්නේය. උපදින ආදරය තුළ කිමිදෙන්නේය. බිඳී යන ආදරයෙන් වියළී යන්නේය. එහි අරුමය වන්නේ ආදරය බිඳීයන මොහොතක ඒ සබඳතාව තුළ උපදින්නේ වෛරය වීමය. ආදරය යනුත් අධ්‍යාත්මික අක් මුල් විහිදෙන උත්තම පාරිශුද්ධ සංකල්පයක් නොවන බව කියන්නේ ඒ වෛරී හැඟීමය.

ගැහැනියක් පිරිමියෙක් අතර ඇතිවන ආදරය ලිංගික උත්කර්ෂයක් හා බැඳුණකි. එම ප්‍රේමය කෙනෙක් වසඟ කරගැනීමට උත්සාහ කරයි. තමන් වෙනුවෙන් ඔහු හෝ ඇය පවත්වා ගැනීමට උත්සාහ කරයි. බිඳෙන විට වෛර කරයි. කුටුම්භගත වීමෙන් කෙළවර වනවිට තවදුරටත් ඒ ආකර්ෂණය නඩත්තු කර ගැනීමට උත්සාහයක යෙදෙයි. ඉන් අනතුරුව අප සොයන්නේ අප ලඟ නැතැයි සිතන, වෙන කෙනෙක් ළඟ පවතී යැයි විශ්වාස කරන කිසිවෙක් නොදන්නා ආදරණීය සතුටකි. ඒ සතුට වෙනුවෙන් අප මහා අරගලයක යෙදෙයි. අපේ ජීවිත නිස්කාංසුව පසෙක තබා අපේ ජීවිත තුළට එබී සොයාගත යුතු දෙයක් අනුන්ගේ මලු අතපත ගාමින් සොයන්නට ජීවිත කාලයම ගෙවා දමයි.

අප මේ සොයමින් යන්නේ අපට අහිමි වී ඇතැයි අප විශ්වාස කරන අප නොදන්නා කුමක්දෝ හැඟීමකි. එය විඩා ගෙන දෙන මානසික පීඩාවකි. එම පීඩාව අප තුළ තවත් වැඩි කරනු ලබන්නේ සංස්කෘතිය විසින් පනවා ඇති සීමාය. සදාචාර අනුමිතීන්ය. ඒ සංස්කෘතික සදාචාර සීමා සමාජයක් හැසිරවීම සඳහා අත්‍යවශ්‍ය නියාමන බව සැබෑය. එහෙත් අප නොදන්නා සතුටක් සොය යන අපව පීඩාවට පත් කරන්නේත් ඒ නියාමනය.

සමාජයක් සමාජයට හිතකර පිරිස පාලනය කිරීමට සංවිධානය වී ඇති දේශපාලනය මෙන්ම මිනිසා නිස්කාංසුවක හොවා අධ්‍යාත්මික සහනයක් ලබා දෙන්නට ඉපදුණු ආගම විටෙක මිනිසුන්ව විනාශකාරී යුද්ධයකට ඇද දමන්නේය. මිනිසුන් හා මිනිසුන් ගැටෙන්නට හැර ඝාතන සංස්කෘතියක් ඇති කරවන්නේය. ව්‍යසනයක් සැලසුම් කිරීම, ව්‍යසනයක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මිනිසුන් වැය කරන කාලය ආදරයෙන් උපදින තෘප්තිය විඳිනන්ට වෙන් කරන කාලයට වඩා වැඩිය.

අප කියන්නට යන්නේ මේ සියල්ල අගක් මුලක් නැති පැටලිල්ලක් බවය. ආදරය තුළ ආදරය නැත. සැනසීම සොයන්නට පටන් ගත් දා සිට සැනසීම නැත. ආදරය අත්පත් කරගත් දා සිට එතැන ඉපදී වැඩෙන්නේ නොසලකා හැරීම, ප්‍රතික්ෂේප වීම, පිළිකුළ, වෛරය හා ක්‍රෝධය වීමේ සංකීර්ණය පහසුවෙන් තෝරා දෙන්නට නොහැකිය. ඒ අතරේ ආදරය යම් පමණකින් හෝ විඳින්නට, හුවමාරු කරගන්නට ඇති ඉඩ, කාලය මිනිසුන් විසින් වෙන් කර ඇත්තේ එකිනෙකා මරාගෙන ව්‍යසනයක් නිර්මාණය කරගැනීමටය. තමන් තුළින් සතුට සොයා නොගෙන අනෙකා ගේ ඔලොගුවෙන් සතුට සොයා ගැනීමටය. තමා තුළින් සතුට සොයාගෙන, ආදරය සොයාගෙන එහි පැවැත්ම වෙනුවෙන් ජීවිතය සංස්කරණය කරගැනීමට, අවශ්‍ය නම් සීමා බිඳ දැමීමට මිනිසුන් සූදානම් වන මොහොතක ලෝකය මීට වඩා ලස්සන තැනක් වනු ඇත්තේය.

Comments