‘අපි වැඩ කරපු අය; ඉදිරියටත් අපි රට හදනවා’ | සිළුමිණ

‘අපි වැඩ කරපු අය; ඉදිරියටත් අපි රට හදනවා’

- පරිසර වනජීවී, ඉඩම් සංවර්ධන අමාත්‍ය හා පොදු ජන පෙරමුණේ

අනුරපුර දිස්ත්‍රික් අපේක්ෂක එස්.එම්. චන්ද්‍රසේන

 මෙවර මහ මැතිවරණයේ පොහොට්ටුවට ලැබෙන ප්‍රතිඵලය පිළිබඳ ඔබේ තක්සේරුව කුමක්ද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ළදරු වයසේදීම 2018 වසරේදී පළාත් පාලන මැතිවරණයට මුහුණ දීලා විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. ඒ වාගේ ම 2019දී ජනාධිපතිවරණය අපිට විශිෂ්ට ලෙස ජය ගන්න පුළුවන් වුණා. මේ අවස්ථා දෙකේදීම ඡන්ද ලකුණ ලෙස අපි ඉදිරිපත් කළේ පොහොට්ටුවයි. මෙවර මහ මැතිවරණයටත් අපි තරග කරන්නෙ පොහොට්ටුවෙන්. මෙවර අපේ ජයග්‍රහණය මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 70% ඉක්මවනවා. ඒ වාගේ ම අපි අපේක්ෂා කරන විදියට මන්ත්‍රී ආසන 150 ක් ඉක්මවා ගිය බලයක් මේ මහ මැතිවරණයේදී ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙනුවෙන් ලබාදෙනවා.

 

ඔබේ ඔය තක්සේරුව සාධාරණීකරණය කරන්න පිළිගත හැකි හේතු තියෙනවාද?

එහෙම හේතුවක් නැතිව ආවාට ගියාට කරන ප්‍රකාශවලින් වැඩක් තියෙනවාද? 2018 සිට මේ දක්වා පැවැති මැතිවරණ දෙකේදීම අපි විශිෂ්ට ලෙස ජයගත්තා. එදා අපි ඒ ජයග්‍රහණය ලබන විට ශ්‍රීලනිපය වෙනම හිටියා. එජාපය ඇතුළු දේශපාලන පක්ෂ රැසක් අපට එරෙහිව කටයුතු කළා. නමුත් අද ශ්‍රීලනිපය ඉන්නේ අපි එක්ක. එජාපය ඇතුළු එදා අපට එරෙහිවූ දේශපාලන පක්ෂ අද වනවිට කැඩිලා වෙන්වෙලා. හුදෙකලාව මැතිවරණයට ඉදිරිපත් වෙන්නෙ. මේ නිසා ඔවුන්ගේ ශක්තිය බිඳ වැටිලා. මේ අතර ගෝඨාභය රාජපක්ෂයන් එදා මානුෂීය මෙහෙයුමෙන් යුද්ධය ජයගත්තා වගේ මේ කොරෝනා වසංගතයත් ජයගත්තා. ඒ වගේ ම ‍රට අලුත් ගමනක් ආරම්භ කරලා තිබෙන බව පෙන්වා තිබෙනවා. මේ නිසයි අපි කියන්නේ රටේ ජනතාව ගෙන් බහුතරය පක්ෂ බේදයෙන් තොරව මේ මැතිවරණයේදී අපිට සහය ලබාදෙනවා.

 

යුද ජයග්‍රහණය හා කොරෝනා පාලනය එක සමාන බව සංසන්දනය කරන්නෙ කොහොමද?

යුද්ධයෙන් බැට කෑවෙත් මෙරටේ සාමාන්‍ය ජනතාව. කොරෝනා වසංගතයෙන් අසරණ වුණොත් මෙරටේ සාමාන්‍ය ජනතාවයි. ලෝකයේ අනෙක් රටවල් යුද ජයග්‍රහණය ගැන මවිතයට පත් වුණා වගේ ම කොරෝනා පාලනය ගැනත් ලෝකයම මවිත වෙලා අපේ රට දිහා බලනවා‍. මේ අවස්ථා දෙකම ජය ගත්තේ මහින්ද හා ගෝඨාභයයි. මේ ගැන කවුරු මොනවා කීවත් මහින්ද, ගෝඨාභය නොහිටින්න අපේ රටේ මේ වනවිටත් මිනී කඳු ගොඩ ගහන්න තිබුණා‍. එහෙම වුණේ නැත්තේ රටේ හා රටේ ජනතාවගේ වාසනාවටයි.

 

මෙවර මැතිවරණ නීති පිළිබඳව විවේචනයක් තිබෙනවා. ඒ ගැන ඔබ මොනවද කියන්නෙ?

මැතිවරණ නීති ගැන මොන විවේචන තිබුණත් අපි හැමෝටම ඊට අනුගතව කටයුතු කරන්න සිද්ධ වෙනවා. මැතිවරණ කොමිෂම මැතිවරණ නීති ක්‍රියාත්මක කරන ගමන් එහි සාමාජිකන් ඒ නීති උල්ලංඝනය කරනවා. ඒ ගැන තමයි කතා බහ කරන්නෙ. යහපාලන රජය ස්වාධීනයි අපක්ෂපාතියි කියල ලෝකයට පෙන්නලා කරපු හැමදෙයකම අවසානය එජාපයට පක්ෂවයි තිබෙන්නෙ.

මෙරට සම්පත් විදේශීයකරණය කරන්න ඔවුන් මුල සිටම ක්‍රමානුකූලව සියල්ල සූදානම් කළත් ඒවා දැන් ව්‍යර්ථ වෙලයි තිබෙන්නෙ. මේ මැතිවරණයෙන් අපි ජය ගත් පසු නැවත මේ රට ගොඩනඟන සැලසුම් ජනාධිපතිවරයා ගේ සෞභාග්‍ය දැක්මේ සඳහන් වෙනවා. කිසි කෙනෙකුට ඇඟිල්ල දිගු කරන්න බැරි විදියට හැම දෙයක්ම විනිවිද භාවයෙන් හා නිවැරැදි මෙහෙයවීමකින් අපේ ආණ්ඩුවක් යටතේ සිද්ධ වේවි.‍

 

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනුරාධපුරයේ ඔබේ ජනහමුවලට වගේ ම හිටපු ජනාධිපති සිරිසේන මහතාගේ ජන හමුවලටත් සහභාගි වුණා. ඒ ගැන ඔබ මොනවාද හිතන්නෙ?

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණින් තරග කරලා ජනාධිපති වුණේ එතුමාට ජනපති ධූරය ලබාගන්න හැමදෙනාම සහය වුණා‍. ඔවුන්ට බලය තිබුණ වේලාවේ අපිට කෙනෙහිලිකම් කළත් ඔවුන් කරපු හොඳ දේට අපි හැමදාම ගරු කරනවා. අනෙක ජනාධිපතිවරයාට මේ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලබාදෙන්න ඕන.

මේ සඳහා සූදානම්ව සිටින මේ රටේ ජනතාව හමුවෙන්න කා එක්ක ගියත් අපිට කමක් නෑ. මොකද අපිට බලය දෙන්න සූදානම් වන ජනතාව අතරට ජනපති යෑම අපේ ජයග්‍රහණයට විශාල ශක්තියක්.

 

අනුරාධපුරයේ රක්ෂිත ඉඩම් ශුද්ධ කරලා ඔබ කෝමාරිකා හදන්න යනවා කියල එල්ල වූ චෝදනාවලින් ඔබ නිදහස් වුණාද?

මේක යහපාලන ආණ්ඩුව මුල පුරපු ව්‍යාපෘතියක්. දේශපාලන වාසි ද්වේෂයෙන් කරන චෝදනා කවදාවත් දිගට අල්ලාගෙන යන්න බෑ. ඒවා බොරු කියලා හෙළි වුණාම චෝදනා කරපු අය තමයි ජනතා අප්‍රසාදයට පත් වෙන්නෙ. අපි එක ප්‍රතිපත්තියක ඉඳලා එක නායකයෙක් එක්ක වැඩ කරන එක එහාට මෙහාට පනින අයට මැජික් එකක් වගේ. ඒ නිසා ඒ අය අපිට ‍එරෙහිව නොයෙක් දේ කියනවා. නොයෙක් දේ කියන්න ජනතාව පොලඹවනවා. ඒ කිසිවකින් අපිව විනාශ කරන්න බෑ‍. අපි හැමදාම හරිදේ කරලා ජනතාව ගේ සිත් දිනාගෙන ඉන්නේ.

 

ඔබ නියෝජනය කරන්නේ කෘෂිකාර්මික කලාපයක් ගොවීන් මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව ඔබේ මැදිහත්වීම කොහොමද?

උතුරු මැද පළාත තමයි රටට බත සපයන ගොවීන් ජීවත් වෙන්නෙ. යහපාලන රජය සමයේ වී ගොවිතැන නවත්වලා පිටරටින් හාල් ගෙනවිත් දෙන්න කටයුතු කළාම මේ ප්‍රදේශවල ගොවීන් අසරණ වුණා. එදා ඔවුන්ට සිදුවූ අසාධාරණය අදටත් නිවැරැදි කර ගන්න බැරිවෙලා තිබෙනවා. අපි මේ ආණ්ඩුවට පත් වුණාට පස්සේ නැවත ගොවිබිම් අස්වද්දලා ගොවීන්ගේ මුවඟ සිනා රැලි මතුවෙලා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීලා. ගොවීන් ගේ අස්වැන්න හා ආදායම දියුණු කරන්න. රජය හැම පියවරක්ම ගෙන තිබෙනවා. මම උතුරු මැද පළාතේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ සිට මේ දක්වා ගොවීන්ට සමීපයි. ඒක ගොවීන් දන්නවා.

 

ගොවීන්ට පහසුකම් දුන්නා කිව්වත් නියමිත කාලයට පොහොර ලබා දෙන්න බැරිව ඔවුන් අපහසුතාවට පත් වුණා නේද?

පොහොර ප්‍රශ්නය මතු වුණේ අපේ වරදකින් නොවේ. අපේ රජය පත් වූ ගමන් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මුදල් ඉල්ලා සිටියේ පොහොර ඇතුළු විවිධ භාණ්ඩ ආනයන කරන අයට හා කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතුව තිබූ හිඟ මුදල් ගෙවන්නයි. නමුත් එජාපය ඒ සඳහා සහය නොදීම නිසා පොහොර ආනයනය කරන අයට මුදල් ගෙවීම ප්‍රමාද වුණා. ඒ නිසා ඔවුන් පොහොර ආනයනය නොකිරීම නිසා රටේ පොහොර හිඟයක් ඇති වුණා. ඒ නිසයි ගොවීන්ට පොහොර ලබා දෙන්න යම් කාලයක් ප්‍රමාද වුණේ. නමුත් දැන් රජයේ මැදිහත්වීමෙන් ඒ ගැටලුව විසඳලා තිබෙනවා.

 

පරිසර විෂය බාරව ඉන්නේ ඔබයි. මේ රටේ රක්ෂිත ඉඩම් ශුද්ධ කරලා පුරාවිද්‍යා භූමි විනාශ කරලා ජනාවාස හදන බවට එල්ල එන චෝදනා ගැන ඔබ මොනවද කියන්නේ?

මේ ගැටලුව මතුවන්නේ සාමාන්‍ය මිනිසුන්ගෙන් නොවෙයි. මේ වැනි පරිසර විනාශයන් පිටුපස දේශපාලනඥයන් වගේ ම බල පුළුවන්කාර සල්ලි කාරයෝ ඉන්නවා. හැබැයි ඔය කවුරු හිටියත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැන් ඍජුවම මැදිහත් වෙලා එවැනි විනාශයන් නතර කරන්න පියවර ගෙන තිබෙනවා. මුහුදු මහ විහාරය දෙවනගල විහාර භූමිය අද පුරාවිද්‍යා වටිනාකම් ඇති භූමි වගේම රක්ෂිත ඉඩම් එළි පෙහෙළි කර සිදු කරන සියලු කටයුතු අපි නතර කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ කාර්යයේදී වි‍ද්යුත් හා මුද්‍රිත මාධ්‍ය තුළින් සිදු කරන සේවාව අපි කෘතවේදීව සිහිපත් කරන්න ඕනේ. පසුගිය කාලේ හිටපු නිවාස ඇමැතිවරයාත් පුරාවිද්‍යා ස්ථාන හා අලිමංකඩ වැනි තැන් විනාශ ‍කරලා උදාගම් හැදුවා. ඒවායේ වැඩ අවසන් නොකිරීම නිසා ඒවා ලබා ගත් අයත් අනාථයි.

 

මේ දවස්වල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 5/2001 චක්‍ර ලේඛනය අවලංගු කිරීම ගැන කතා වෙනවා. මේ නිසා වන සංරක්ෂණයට අයත් කැලෑ ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන්ට පවරන්නද උත්සාහ කරන්නෙ.

මේ චක්‍ර ලේඛනය තවම අවලංගු කරලා නෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා පරිසර විනාශයට ඉඩ දෙන්නෙ නෑ. සමහර අවස්ථාවාදීන් ඡන්ද ළං වුණාම මොනවා හරි කියලා අපේ ප්‍රතිරූපය විනාශ කරන්න හදනවා. මම මේ රටේ පරිසරය සුරකින්න මැදිහත් වුණේ මීට වසර 15 – 20 කට පෙර උතුරු මැද පළාත් පරිසර ඇමැති ලෙස කටයුතු කළ කාලේ සිටයි. අපි ජීවත් කරවන මේ පරිසරය විනාශ කරන්න කාටවත් ඉඩ දෙන්නෙ නෑ.

Comments