නියම ශ්‍රී ලංකා නිද­හස් පාක්ෂි­ක­යන් දැන් ඉන්නෙ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ සම­ඟයි | සිළුමිණ

නියම ශ්‍රී ලංකා නිද­හස් පාක්ෂි­ක­යන් දැන් ඉන්නෙ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ සම­ඟයි

ඉකුත් ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී ගම්පහ දිස්ත්‍රි­ක්කයේ ප්‍රති­ඵ­ලය තීර­ණා­ත්මක සාධ­ක­යක් වූ බව ඔබ සඳ­හන් කර තිබුණා. ඒ කතාව තව ටිකක් පැහැ­දිලි කරන්න පුළු­වන්ද?

අපි මැති­ව­ර­ණ­ව­ලදී ඒවාට ආවාට ගියාට මුහුණ දෙන්නෙ නෑ. ජය­ග්‍ර­හ­ණය අපේ­ක්ෂා­වෙන් ඉතා හොඳට සංවි­ධා­නය වෙලා තමයි අපි මැති­ව­ර­ණ­යට මුහුණ දෙන්නෙ. 2018 පැවැති පළාත් පාලන මැති­ව­ර­ණ­යෙන් පස්සේ පළාත් සභා හා පළාත් පාලන ආය­ත­න­වල අපේ මන්ත්‍රි­වරු හාර­සි­ය­ය­කට අධික පිරි­සක් උඩු­ග­ම්පො­ලට කැඳ­වලා මැති­ව­රණ ප්‍රති­ඵල විශ්ලේ­ෂ­ණය කරලා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට අපි ඉල­ක්ක­යක් හදා ගත්තා. ඒ ඉල­ක්කය සපුරා ගන්න හැම කෙනා­ටම වග­කීම් බෙදා දුන්නා. අපේ ඉල­ක්කය තිබුණේ වැඩි ඡන්ද ලක්ෂ තුන හමා­රක් ගන්නයි.මීග­මුව හැරෙන්න අනෙක් හැම ප්‍රදේ­ශ­ය­කම ඒ ඉල­ක්කය සම්පූර්ණ කර ගන්න පුළු­වන් වුණා. සම­හර ආස­න­වල අපේ­ක්ෂිත සංඛ්‍යාව ඉක්මවා තිබීම නිසා තමයි අපිට වැඩි ඡන්ද 3,62000 ක් ගන්න පුළු­වන් වුණේ. ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී ගම්පහ දිස්ත්‍රි­ක්කයේ අපි මේ වැඩි ඡන්ද සංඛ්‍යාව නොගත්තා නම් ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන්ට ලැබෙන්නෙ 47% කට ටිකක් වැඩි ගාණක්. එහෙම වුණා නම් දෙවැනි මනා­පය ගණන් කරන්න වෙනවා. ඒක වැළ­කිලා ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් 62%ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබා ගන්නෙ ගම්පහ දිස්ත්‍රි­ක්කයේ ජන­තාව එතුමා කෙරෙහි තැබු විශ්වා­සය නිසයි.

එත­කොට හරීන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රී­ව­රයා කියන විදි­යට කාදි­න­ල්තු­මන් ගේ ප්‍රකා­ශය ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන්ගේ ඡන්ද ගොඩ වැඩි කරන්න හේතු වුණා කියන එක බොරු­වක්ද?

ඒක බොරු­වක් විත­රක් නොවෙයි හරීන් කතෝ­ලි­ක­යකු විදි­යට කතෝ­ලික ජන­තා­වට කරපු නින්දා­වක් අව­න­ම්බු­වක් විදි­ය­ටයි ඒ කතාව මම දකින්නෙ. කාදි­නල් හිමි­පා­ණන් පාස්කු ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් කරන ලද ප්‍රකා­ශ­යක් වැරදි විදි­යට අර්ථ කථ­නය කරල කාදි­න­ල්තු­මන්ට කළ අප­හා­ස­යට සමාව ගන්න­වත් හරීන්ට වුව­ම­නා­වක් තිබුණෙ නෑ. එදා කාදි­නල් හිමි­පා­ණන් එළි­යට බැහැල ජන­තාව සන්සුන් කළේ නැත්නම් ධීවර ජන­තාව මාළු පිහි ටික අතට අරන් එළි­යට බහින්න ඉඩ තිිබුණා. එහෙම වෙන්න ගිය මහ විනා­ශ­යක් වැල­කුණේ කාදි­න­ල්තු­මන් එවෙලේ බුද්ධි­මත්ව කට­යුතු කිරීම නිසයි. තමන් ගේ ආගමේ නාය­ක­යාට අප­හාස කළ හරීන්ට කාදි­න­ල්තු­මන් ගෙන් සමාව ගන්නත් සජිත්ට මැදි­හත් වෙන්න සිද්ධ වුණා. කාදි­න­ල්තු­මන් හමු වෙලා එළි­යට ඇවි­ල්ලත් කිය­නවා තමන් ඒ කරපු ප්‍රකා­ශය ඉල්ලා අස්කර ගන්නෙ නෑ කියල. සජිත් ගේ පිලේ බෞද්ධ නාය­කයෝ අපේ භික්ෂුන් වහ­න්සේ­ට අප­හාස කර­නවා. කතෝ­ලික නාය­ක­යන් ඒ ආගමේ නාය­ක­යන්ට අප­හාස කර­නවා. මේකෙන් අපිට ඇතිව තිබෙන සැකය තමයි මේ අය මේ රට අනා­ගා­මික රාජ්‍ය­යක් කරන්න උත්සහ කර­නවා කියන එක. ඒ වැනි අය හා ඒ අයට අත්වැල් අල්ලන නාය­ක­ය­න්ටත් මේ මැති­ව­ර­ණ­යේදි ජන­තාව අම­තක නොවන පාඩ­මක් උග­න්වාවී.

මෙවර මහ මැති­ව­ර­ණ­යේදී ගම්පහ ඉල­ක්කය වැඩි ඡන්ද ලක්ෂ පහක් කියල ඔබ සඳ­හන් කර තිබෙ­නවා. ඒ ඉල­ක්කය සපුරා ගන්නා බව තහ­වුරු කරන්න ඔබට තිබෙන සාධක මොන­වාද?

මම මුල­දිත් සඳ­හන් කළා වාගේ අපි මැති­ව­ර­ණ­යට මුහුණ දෙන්නෙ ගම්පහ දිස්ත්‍රි­ක්කයේ පළාත් පාලන ආය­ත­න­වල නියෝ­ජි­ත­යන්, පළාත් සභා­වල නියෝ­ජි­ත­යන්, ආසන සංවි­ධා­ය­ක­ව­රුන් මෙන්ම ගම්ම­ට්ටමේ ඉන්න ගමේ නාය­ක­යන් යන අපි හැමෝම එක්ව එක කණ්ඩා­ය­මක් විදි­ය­ටයි. අපි අපේක්ෂා කරන්නෙ පක්ෂ­යට ලැබෙන ඡන්ද ගොඩ වැඩි­කර ගන්නයි. මෙවර අපේ ඉල­ක්කය සපුරා ගන්න ඉව­හල් වෙන වැද­ගත්ම කාර­ණය තමයි එජා­පය දෙකඩ වෙලා ඔවුන් වෙන වෙනම මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත්ව සිටීම. මේ තත්ත්වය නිසා ගමේ එජාප පාක්ෂි­ක­යන් කල­කි­රිලා. ඔවුන් ඡන්දය දීමෙන් වැළකී ඉන්න සුදා­න­මක් තිබෙන බව­ටත් දැන ගන්න තිබෙ­නවා. 2015 පැවැති ජනා­ධි­ප­ති­ව­ර­ණයේ සිට මේ දක්වා පැවැති මැති­ව­ර­ණ­වල ගම්පහ දිස්ත්‍රි­ක්කයේ ප්‍රති­ඵල විශ්ලේ­ෂ­ණය කීරි­මේදී අද ඇති වී තිබෙන දේශ­පා­ලන වෙන­ස්කම් සමඟ අපිට මේ මහ මැති­ව­ර­ණ­යේදී වැඩි ඡන්ද ලක්ෂ පහ­කට වඩා ලබා ගන්න පුළු­වන්. එහෙම වුණොත් අපිට දිනා ගත හැකි මන්ත්‍රී ආසන සංඛ්‍යා­වත් 12 ක් 15ක් වෙන්න පුළු­වන්.

ඔබේ පියා ආද­රය කරපු ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය සමඟ ඔබට තිබෙන අර්බු­දය මොකක්ද?

මම කරන ප්‍රකාශ වැරදි විදි­යට අර්ථ­ක­ථ­නය කරලා සමා­ජ­යට වැරදි මත­යක් දෙන්න උත්සහ කරන එක ගැන මම කන­ගාටු වෙනවා. මට ශ්‍රීල­නි­පය සමඟ කිසිම අර්බු­ද­යක් නෑ. ශ්‍රීල­නි­පය මමත් ගරු කරන මමත් ආද­රය කරන පක්ෂ­යක්. මට ප්‍රශ්නය තියෙන්නේ ඒකේ වත්මන් සභා­පති හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන සම­ඟයි. මට මෛත්‍රී­පාල සිරි­සේන සමඟ ප්‍රශ්න­යක් තිබෙ­නවා වගේම එයාට ගෑවුන කෙනෙ­ක්ට­වත් ඡන්දය දෙන්න එපා කියල මම අදත් කිය­නවා. 1952 දී බණ්ඩා­ර­නා­යක මැති­තුමා එජා­ප­යෙන් එළි­යට ඇවිල්ල ශ්‍රීල­නි­පය පිහි­ටුවා ගත්තේ සමා­ජ­වාදි බල­වේ­ග­යක් විදි­යට.මෛත්‍රී­පාල සිරි­සේන තමන් ජනා­ධි­පති කරන්න සහය වුණ එජා­පය සමඟ ජාතික ආණ්ඩු­වක් හද­නවා කියල ශ්‍රීල­නි­පය එජා­පයේ එල්ලුවා. මේ නිසා නියම ශ්‍රී ලංකා­කා­රයෝ මෛත්‍රී­පාල සිරි­සේන ගේ සභා­ප­ති­ත්වය දරන ශ්‍රීල­නි­පයේ නෑ. නියම ශ්‍රී ලංකා නිද­හස් පාක්ෂි­කයෝ දැන් ඉන්නෙ මහින්ද රාජ­පක්ෂ නය­ක­ත්වය දරන ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ සම­ඟයි.

චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක ජනා­ධි­පති කාලයේ ශ්‍රීල­නි­පය ජවිපෙ සමඟ එකතු වුණා. එදා කටක් ඇරියෙ නැති ඔබ මෛත්‍රී­පාල සිරි­සේන ශ්‍රීල­නි­පය එජා­පයේ එල්ලුවා කියල කෑ ගහන්නෙ ඔහු ගමේ ගොවි­යෙක්ගෙ පුතෙක් නිසා කිය­ලයි සම­හරු කියන්නෙ?

චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක ජනා­ධි­පති කාලයේ ජවිපෙ ශ්‍රීල­නි­ප­යට එකතු කර­ගෙන කට­යුතු කළා මිසක් ශ්‍රීල­නි­පය ජවිපෙ එල්ලුවෙ නෑනේ. ඇය එදා එසේ කට­යුතු කිරිම වැර­දියි කියන්න බෑ. නමුත් මෛත්‍රී­පාල සිරි­සේන ශ්‍රීල­නි­පය එජා­පයේ එල්ලුවා විත­රක් නොවෙයි එව­කට පාර්ලි­මේ­න්තුවේ බහු­ත­රය සහිත අපේ ආණ්ඩුවේ අග­මැ­ති­ව­ර­යාව සිටි දී.මු.ජය­රත්ත බල­හ­ත්කා­ර­යෙන් ඉවත් කරල පාර්ලි­මේ­න්තුවේ සුළු­ත­රය හිමිව තිබු රනිල් වික්‍ර­ම­සිංහ අග­මැති ලෙස පත් කළා.

ඔබට මෛත්‍රී­පාල සිරි­සේන සමඟ තිබෙන්නේ දේශ­පා­ලන අර්බු­ද­ය­කට එහා ගිය පෞද්ග­ලික වෛර­යක්ද?

අනේ නෑ. මට සිරි­සේන සමඟ කිසිම පෞද්ග­ලික අම­නා­ප­යක් හෝ තර­හක් නෑ. මම එතු­මත් සමඟ අම­නාප වෙන්නෙ ඔහු ගේ දේශ­පා­ලන භාවි­තය නිසා අපිට හා අපේ රටට සිදු වු හානිය නිසයි. මෛත්‍රී­පාල සිරි­සේන ශ්‍රීල­නි­පයේ මහ ලේකම් ධුර­යට පත් කරල පක්ෂයේ පාලන වග­කීම දුන්නේ ලොකු විශ්වා­ස­ය­කින්. නමුත් ඔහු ඒ විශ්වා­සය කඩ කරල ශ්‍රීල­නි­පය පාවා දීල එජා­පය සමඟ එක්ව ජනා­ධි­ප­ති­ව­ර­ණයේ 2015 දි පොදු අපේ­ක්ෂ­කයා වුණා. ඊට පස්සෙ ශ්‍රීල­නි­පයේ සභා­ප­ති­කම ඔහුට බාර නොදු­න්නොත් ගම්වල ශ්‍රීල­නි­පය පාක්ෂි­ක­යින්ට හිරි­හැර විඳින්න වෙයි කියල එයා ගේ ගෝලයෝ අතේ මහින්ද මහ­ත්ත­යාට පණි­විඩ එව්වා. ශ්‍රීල­නි­පයේ සභා­ප­ති­කම තමන් ළඟ තියා­ගෙන ගමේ ශ්‍රීල­නි­පය පාක්ෂි­ක­යින්ට හිරි­හැර විඳින්න ඉඩ දෙන්න බැරි නිසා තමයි මහින්ද රාජ­පක්ෂ මහතා ශ්‍රීල­නි­පයේ සභා­ප­ති­ක­මත් සිරි­සේ­නට දුන්නේ. මේ සිද්ධිය සිදු වුණේ එව­කට මම බස්නා­හිර පළාතේ ප්‍රධාන අමා­ත්‍ය­ව­රයා ලෙස මට හිමිව තිබූ නිල නිවා­ස­යේදී. එදා මහින්ද රාජ­පක්ෂ මහතා අපිත් සමඟ කතා­නා­යක නිල නිව­සට ගිහිල්ල ශ්‍රීල­නි­පයේ සභා­ප­ති­කම සිරි­සේ­නට දීල මහින්ද මහතා සිරි­සේන ගෙන් ඉල්ලුවෙ අපේ පාක්ෂි­ක­යන්ට හිරි­හැර කරන්න ඉඩ දෙන්න එපා කිය­ලයි. නමුත් ඊට පස්සේ මෙයා මොන­වද කළේ. පක්ෂයේ ලේක­ම්වරු ඉව­ත්ක­රල රාජ­ප­ක්ෂ­ව­රුන් ගෙන් පලි ගන්න පටන් ගත්තා. ඒ පලි­ගැ­නීම් කොයි­ත­රම් සූක්ෂම විදි­යට කරාද කියල පෙනෙන හොඳම නිද­ර්ශ­නය තමයි 2015 අගෝස්තු මාස­යේදි පැවැති පාර්ලි­මේන්තු මහ මැති­ව­ර­ණය. එදා මහින්ද රාජ­පක්ෂ මහ­තාට කතා කරල මේ මැති­ව­ර­ණය බාර ගෙන මෙහෙය වන්න කියල. ජය­ග්‍ර­හ­ණය කළාම අග­මැති ධුරය දෙනවා කීවා. මැති­ව­ර­ණයේ ඡන්ද විම­සන දිනය ආස­න්නයේ සිරි­සේන ජනා­ධි­ප­ති­ව­රයා මොන­වද කිව්වෙ. මහින්ද දිනු­වත් අග­මැති ධුරය දෙන්නෙ නෑ කීවා. ඒ නිසා අපේ පක්ෂ­යට ලැබෙන්න තිබුණ ඡන්ද ලක්ෂ දහ­යක් විතර ලැබුණෙ නෑ. ඒ අනුව එජා­ප­යට ආණ්ඩුව හදන්න පුළු­වන් වුණා. එජා­ප­යට එහෙම ආණ්ඩුව හදන්න ඉඩ දීල පාර්ලි­මේ­න්තුවේ විප­ක්ෂයේ බහු­ත­රය හිමි මහින්ද රාජ­පක්ෂ මහතා ගේ කණ්ඩා­ය­මට නිල විප­ක්ෂයේ වග­කී­ම­වත් නොදී ඒකත් දෙමළ ජාතික සන්ධා­න­යට ලබා දුන්නා. ඒ ඔක්කො­මත් කරලා දින 56 ආණ්ඩුවෙ අග­මැ­ති­කම මහින්ද රාජ­පක්ෂ මහ­තාට දුන්නෙ ඒක කරු ජය­සූ­රිය හෝ සජිත් ප්‍රේම­දාස බාර ගත්තෙ නැති නිසා කිය­ලත් කීවා. දැන් එයා උකු­ස්සෙක් ගෙ කතා­වක් කිය­නවා; මේ මැති­ව­ර­ණ­යෙන් පස්සේ කට්ටිය ඩැහැ ගෙන යන හැටි තමයි ඒ කියන්නෙ. අනෙක 2019 ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී එයා ගේ පවුලේ අය වගේම ඔහුගේ හිත­ව­තුන් වැඩ කළෙත් සජිත් දින­වන්න. ඒවා ඔප්පු කරන්න මගේ ළඟ හඬ­පට තියෙ­නවා.

හොඳයි ඔබ කියන දේ හරි හෝ වැරදි වුණත් මේවන විට ශ්‍රීල­නි­පය පොහො­ට්ටුව සමඟ සන්ධාන ගත­වෙලා මහ මැති­ව­ර­ණ­යට එකට තරඟ කර­න­වානෙ. ඔබ කියන්නෙ එහෙම සන්ධාන ගත­වී­ම­කුත් නෑ කිය­ලද?

ශ්‍රීල­නි­පය අපිත් එක්ක සන්ධාන ගත වුණේ නෑ කියල මම කියන්නෙ නෑ. ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී ශ්‍රීල­නි­පය සමඟ එක­තුව කට­යුතු කිරීම හොඳයි. මොකද ඒ වෙලාවෙ එක ඡන්ද­යක් වුණත් අපිට වටි­නවා. එදා ශ්‍රීල­නි­පයේ සම­හර අය අපිට අවං­කව සහය දුන්නා. ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී සන්ධාන ගත­වෙලා එහෙම සහය දුන්නා කියල මෛත්‍රී­පාල සිරි­සේන කරපු කියපු දේවල් අම­තක කරන්න බෑ.

ශ්‍රීල­නි­පය මෙවර මහ මැති­ව­ර­ණ­යට පොහො­ට්ටු­වෙන් වගේම අත ලකු­ණෙන් සම­හර දිස්ත්‍රි­ක්ක­ව­ලට තරග කර­නවා. ඔවුන්

සැල­කිය යුතු ආසන ප්‍රමා­ණ­යක් දිනා ගත්තොත් ඔබේ සිරි­සේන වෛරය ඉස්මතු කර ගෙන ආණ්ඩු­වට බල­පෑ­මක් කරන්න පුළු­වන් නේද?

ඔව් පුළු­වන්. ඒ අය එහෙම නොක­රයි කියල විශ්වාස කරන්න තියෙන සාධක මොන­වද? ඒ නිසා තමයි මම කියන්නෙ පොහො­ට්ටු­වෙන් හරි අත ලකු­ණෙන් හරි ඡන්දය ඉල්ලන ⁣මෛත්‍රි­පාල සිරි­සේ­නට ගෑවුන අය­කු­ට­වත් ඡන්දය දෙන්න එපා කියලා. අනෙක මේ වන විටත් සිරි­සේන කියල තියෙ­නවා උකු­ස්සෙක් විදි­යට මන්ත්‍රී­වරු ඩැහැ­ගෙන යන්නෙ කොහො­මද කියල. මම දැනුත් ඉල්ලන්නෙ අපේ රටේ ජන­තාව බුද්ධි­මත්ව ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ හා අග­මැති මහින්ද රාජ­පක්ෂ කෙරෙහි විශ්වා­සය තියෙන ඔවුන් අත­හැර නොයන පොහො­ට්ටුවේ අපේ­ක්ෂ­ක­යන්ට ඡන්දය දීලා ඔවුන් පාර්ලි­මේ­න්තු­වට එවන්න කියලා. ඔබ ඔය මතු­ක­රපු ප්‍රශ්නයේ තිබෙන අව­ධා­නම ගැන තමයි මම රටේ ජන­තා­වට කියන්නෙ. එහෙම නැතුව මට සිරි­සේන මහ­ත්තයා සමඟ පෞද්ග­ලික කෝන්ත­ර­යක් නෑ.

ඔබ ඔය කියන අව­දා­නම පක්ෂ නාය­ක­ත්ව­යට තේරෙන්නෙ නැද්ද; එහෙම නැත්නම් ඔබ පක්ෂ නාය­ක­ත්වය අබි­බවා වීර­යෙක් වෙන්න මේ දේවල් කිය­න­වාද?

මම කතා කරන්නේ මගේ හෘදය සාක්ෂි­යට අනු­වයි. අනෙක මම කියන දේවල් මගේ පෞද්ග­ලික මත­වාද නොවෙයි. මේ මහ පොළොවේ ජන­තාව කිය­න්නෙත් ඔය මම කියන දේමයි. අපේ පක්ෂ නාය­ක­ත්ව­යත් මේ තත්ත්වය නොද­න්නවා නොවෙයි. නමුත් පක්ෂ­යක් විදි­යට ඒ අයට යම් යම් සිමා­වන් ඇතුළෙ කට­යුතු කරන්න වෙන නිසා සම­හර තීන්දු ගන්න සිද්ධ වෙනවා. මම කියන දේ ගැනත් පක්ෂ නාය­ක­ත්වය අව­ධා­න­යෙන් ඉදලා යම් අව­ධා­න­මක් ඇති වුණොත් අවශ්‍ය විදි­යට කට­යුතු කරන්න සුදා­න­මින් ඉන්නවා.

ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන්ගේ ජය­ග්‍ර­හ­ණයේ තීර­ණා­ත්මක සාධ­කය ගම්පහ ඡන්ද ප්‍රති­ඵ­ලය කියල ඔබ කිය­නවා. එත­කොට විය­ත්මඟ වැනි සංවි­ධාන කිසිම දෙයක් කරල නැද්ද?

එහෙම නෑ කියල මම කියල නෑනේ. විය­ත්මඟ හා අපි සමඟ කට­යුතු කළ අනෙක් සංවි­ධා­න­වල සහ­යෝ­ග­යත් ගම්පහ ඡන්ද ගොඩ වැඩි කර ගන්න උදව් වුණා. හැම දිස්ත්‍රි­ක්ක­ය­කම විය­ත්මඟ සංවි­ධාන හදලා ඒ ඒ ප්‍රදේ­ශ­වල සිටින වෘත්ති­ක­යන්ගේ, උග­තුන්ගේ, බුද්ධි­ම­තුන්ගේ සහ­යෝ­ගය අපිට ලබා ගත්තා. මෙව­රත් ඔවුන් මේ මහ මැති­ව­ර­ණ­යේ­දීත් කැප­වී­මෙන් කට­යුතු කර­නවා. මොකද අපි හැමෝම දැන් කට­යුතු කරන්නෙ ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා ගේ සෞභා­ග්‍යය දැක්ම ප්‍රති­පත්ති ක්‍රියා­වට නංවන්න ශක්ති­මත් ආණ්ඩු­වක් හද­න්නයි. එදා 2015 මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් පරා­ජය වුණාට පස්සේ මහින්ද සුළඟ ආරම්භ කරලා බැසිල් රාජ­පක්ෂ රට වටේ ගමින් ගමට ගිහිල්ල ගමේ ඉඳලා ජාතික මට්ටම දක්වා අපේ සියලු සංවි­ධාන ශක්ති­මත් කිරීම නිසා තමයි ආණ්ඩු බලය එජා­ප­යට තිබි­යදී පළා­ත්පා­ලන ඡන්දය වගේම 2019 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යත් අපිට විශිෂ්ට ලෙස ජය ගන්න පුළු­වන් වුණේ. ඒ ගෞර­වය බැසිල් රාජ­පක්ෂ මහ­තාට හිමි වෙන්න ඕනේ.

ගෝඨා­භය මහතා ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී සිය මැති­ව­රණ ව්‍යාපා­රය තුළ කිසි­වකු විවෙි­ච­නය නොකර කිසි­ව­කුට ඇඟිල්ල දිගු නොකර ඔහුගේ ප්‍රති­පත්ති ගැන ජන­තාව දැනු­වත් කළා. එතු­මගේ අනු­ගා­මි­ක­යකු වන ඔබට එසේ කට­යුතු කරන්න බැරි ඇයි?

මමත් කවු­රුත් විවෙි­ච­නය කරන්නෙ නෑ. කාට­වත් මඬ ගහ­න්නෙත් නෑ. මම ජන­තා­වට කියන්නෙ මේ අය ගේ අතීත ක්‍රිය­කා­ර­කම් අනුව අපිට අව­ධා­න­මක් තිබෙ­නවා කියල විත­රයි. කවුරු­වත් කරපු දෙයක් විකෘති කරල කිව්වොත් ඒක විවේ­ච­න­යක් වෙන්න පුළු­වන්. මම කියන්නෙ ඇත්ත. ඒ ඇත්ත තුළ අපිට මේ මැති­ව­ර­ණ­යේ­දීත් අව­ධා­න­මක් තියෙ­නවා. අපි ඡන්දය දින­නවා වගේම ඒ අව­ස්ථා­වා­දී­න්ගෙන් තිබෙන අව­ධා­න­මත් ජය­ග්‍ර­හ­ණය කරන්න ඕන. පසු­ගිය රජය කාලේ මෛත්‍රී­පාල සිරි­සේ­නලා, රනිල්ලා, සජිත්ලා කරපු කියපු දේ අම­තක කරලා මේ මැති­ව­ර­ණය කරන්න බෑ.

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ මැති­ව­රණ අපේ­ක්ෂ­ක­යන් අතර ඔබත් එක් අයෙක් පම­ණයි. අනෙක් අපේ­ක්ෂ­ක­යන්ට නැති විවේ­ච­න­යක් ඔබ මේ වෙලාවෙ මතු කරන්නේ එජා­පයේ න්‍යාය පත්‍ර­ය­කට අනුව කිය­ලයි චෝදනා එල්ල වෙන්නෙ?

ඔය දේවල් කියන කවුරු­වත් මහින්ද රාජ­පක්ෂ පැර­දු­ණාම හිටියේ නෑ. ධූර­ධා­රීන් ඔක්කොම ගිහිල්ල යහ­පා­ලන ආණ්ඩු­වට එකතු වුණානෙ. එදා ධූර­ධා­රි­යෙක් විදි­යට මහින්ද රාජ­පක්ෂ ළඟින් හිටියේ මම විත­රයි. කතා කරන්න ඕන වෙලාවේ අනෙක් අය කට වහ­ගෙන වර­දාන වර­ප්‍ර­සාද බුක්ති විදින්න පොර­කද්දී මම මහින්ද රාජ­පක්ෂ වෙනු­වෙන් කතා කරල ජන­තාව දැනු­වත් කරන්න බය වුණේ නෑ. අදත් මම මගේ මතය තර්කා­නු­කූ­ලව ජන­තා­වට කිය­නවා. මම කියන දේ වැර­දියි කියල කවුරු හරි සාධක සහි­තව ඔප්පු කළොත් මම ඒක පිළි­ගෙන ජන­තාව එක්ක ඒක නිවැ­රදි කර ගන්න සුදා­නම්. 19වන සංශෝ­ධ­න­යට අත උස්සපු අයට ඒකට විරු­ද්ධව කතා කරන්න බෑ. මෛත්‍රී­පාල සිරි­සේන ගෙන් වර­දාන වර­ප්‍ර­සාද ලබා­ගත් අයට ඔහු වැර­දියි කියන්න බැ.ඔය දෙකම මම කළේ නැති නිසා වැරදි දේ වැර­දියි කියන්න මට පුළු­වන්. මම එජාප න්‍යාය පත්‍ර­ය­කට කට­යුතු කර­නවා නම් මට බොරු චෝදනා ගොනු කරල නඩු දාන­වද? මහින්ද රාජ­පක්ෂ පැර­දිලා එදා මගේ මහ ඇමති නිල නිව­සට ආපු වෙලාවෙ ඉදලා ඔය හැමෝම කියපු දේ කරපු දේ වෙච්ච දේ මම හොඳට දන්නවා. ඒ නිසයි මම බය සැක නැතුව මේවා කියන්නෙ. ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් ජනා­ධි­පති කරන්න ඔය හැමෝම සහය දුන්නා. ඒවාට මම කෘතඥ වෙනවා. එහෙ­මයි කියල ඒ අය කරපු කියපු හැම දේම අම­තක කරල වැඩ කළොත් ඒ අය හිතාවී අපි මෝඩයෝ කියලා. අනෙක එජා­පය සමඟ මම ඩීල් දානවා කිව්ව අය තමයි එජා­පය එක්ක එකතු වෙලා එදා මහින්ද රාජ­ප­ක්ෂට විරු­ද්ධව කට­යුතු කළේ. ඕනෑ නම් විස්තර ඇතුව ඒවත් මට කියන්න පුළු­වන්.

ගම්පහ රණ­තුංග පවුලේ දේශ­පා­ලන මත­වා­ දත් එකි­නෙ­කට වෙනස්. ඔබ රාජ­ප­ක්ෂ­ව­රුන්ට මේ තරම් කඩේ යන්නේ පොරොන්දු දේශ­පා­ ල­නය නිසා කිය­ලයි සම­හරු කියන්නේ?

ඔබලා හොඳට හොයල බලන්න මම බස්නා­හිර මහ ඇමති කාලේ රාජ­ප­ක්ෂ­වරු එක්ක මගේ සම්බ­න්ධ­යක් තිබුණේ නෑ. රට යුද්ධ­යෙන් බේරා ගත්තු නාය­ක­යෙක් විදි­යට මගේ හිතේ මහින්ද රාජ­පක්ෂ ගැන ගෞර­ව­යක් තිබෙ­නවා. ඒ වගේම රට වැඩ බිමක් කරල රටෙි සංව­ර්ධන වේග­වත් කළ ඔහු ගැන දේශ­පා­ල­න­ඥ­යෙක් විදි­යට මගේ පැහැ­දී­මක් තිබෙ­නවා. ඒ දව­ස්වල ත්‍රස්ත­වා­දීන් උඩින් ඇවිල්ල ගම්ප­හට කටු­නා­ය­කට බෝම්බ දාන කොට අපි බයේ හැංගුණ කාල­යක් අපිට තිබුණා. ඒවා පරා­ජය කරලා රයේ පාර­වල් වරා­ය­වල් ගුවන් තොටු­ප­ළ­වල් හදන කොට අපි ලොකු තෘප්ති­යක් අත්වින්දා. එහෙම මනු­ෂ්‍ය­යෙක් කුම­න්ත්‍ර­ණ­ය­කින් පරා­ජය කරලා ගෙදර යවද්දී සාධා­ර­ණ­යට ගරු කරන දේශ­පා­ල­න­ඥ­යකු විදි­යට මට ඔහු තනි කරන්න බැරුව ගියා ඒකයි මම මහ ඇමති පට්ටම් අම­තක කරල ඔහු වෙනු­වෙන් පෙනී සිටියේ.එහෙම නැතුව මමත් එදා වර­දාන වර­ප්‍ර­සාද අපේ­ක්ෂා­වෙන් මෛත්‍රී­පාල සිරි­සේ­නලා එක්ක එකතු වුණා­නම් අද තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා.අනෙක් කාර­ණය තමයි සිරි­සේ­නලා ශ්‍රීල­නි­පයේ බලය අතට ගෙන ශ්‍රීල­නි­පය එජා­පය් එල්ලද්දී මෙි රටෙි අස­රණ වුණ ශ්‍රීල­නිප පාක්ෂි­ක­යන්ට ඉන්න තැනක් හැදුවේ බැසිල් මහ­ත්තයා. එහෙම කරලා මේ රටේ සාධා­ර­ණය වෙනු­වෙන් කට­යුතු කරපු රාජ­ප­ක්ෂ­ව­රුන්ට මගේ තියෙන්නෙ ගෞර­ව­යක්.

Comments