1925 දී තැනූ සංස්කාරකවරුන්ගේ චිත්‍රපටය | සිළුමිණ

1925 දී තැනූ සංස්කාරකවරුන්ගේ චිත්‍රපටය

 

සිනමාකරුවන් අතරින් කීපදෙනෙකු හෝ අධ්‍යක්ෂණයට පෙරාතුව හොඳම සංස්කාරකවරුන් ව සිටි බව සිනමා ඉතිහාසය පිරික්සීමේ දී පෙනී යන්නෙකි. අප රටේ දී ඒ පිළිබඳ ව පෙන්වා දිය හැකි හොඳම සිනමාකරුවා ටයිටස් තොටවත්තයන් ය. සුමිත්‍රා පීරිස් නැමැති අග්‍රගන්‍ය සිනමා අධ්‍යක්ෂවරිය ද ආරම්භයේ දී චිත්‍රපට සංස්කරණයේ නියැලුනු තැනැත්තියෙකි.

සිනමා සංස්කරණය නම් දැවැන්ත විෂය ගැන අප අසා ඇති ආකාරයට චිත්‍රපටයක ජීවය රැඳී ඇත්තේ සංස්කාරකවරයා මතය. ඇත්ත වශයෙන් ම ඉතා දුර්වල චිත්‍රපටයක් වුවද, යම්කිසි මට්ටමකට එහි තත්ත්වය උසස් කිරීමේ හැකියාව සංස්කරණ ශිල්පියෙකු සතුව පවතී. රුසියානු ජාතික සිනමාකරුවෙකු වූ සර්ජි අයිසන්ස්ටයින් විසින් මුල් වරට හඳුන්වා දෙනු ලැබූ “මොන්ටාජ්” නමින් වූ මෙම ශිල්පීය ක්‍රමය සිංහලෙන් හැඳින් වෙන්නේ “සමෝධානය”යනුවෙනි. මේ පිළිබඳ හොඳම උදාහරණය ලෙස පෙන්වා දිය හැකි චිත්‍රපටය වන්නේ 1925 දී ඔහු විසින් තනනු ලැබූ “බැට්ලෂිප් පොටෙම්කින්” නැමැති චිත්‍රපටයයි. චිත්‍රපට කරණය පිළිබඳ ව අධ්‍යයනයක යෙදෙන්නන්ට මෙන් ම සාමාන්‍යයෙන් චිත්‍රපට නැරඹීමෙහි යෙදෙන ප්‍රේක්ෂකයෙකුට වුවද ඉතා හොඳින් හදවතට දැනෙන ආකාරයට ස්වකීය සමෝධාන රීතිය මේ තුළින් ඉදිරිපත් කිරීමට සර්ජි අයිසන්ස්ටයින් සමත් වූවේ ය.

කලු සුදු නිහඬ චිත්‍රපටයක් වූ මෙම සිනමා පටයට අන්තර්ගතව ඇත්තේ රුසියාවේ කලු මුහුද ඔස්සේ යාත්‍රා කරන පොටෙම්කින් නම් වූ සාමාන්‍ය ප්‍රමාණයේ යුධ නැවක ඇති වූ කැරැල්ලකි. ඔඩෙස්සා වරායේ මෙම නෞකාව නැංඟුරම් ලෑමෙන් අනතුරුව මෙම කැරැල්ල හට ගන්නා අතර, එය සංසිඳෙන තෙක් ඇති වූ විවිධ සිද්ධි මාලාවන් අධ්‍යක්ෂවරයා තම සංස්කරණ රීතිය ඔස්සේ අප තුළ තියුණු සංවේදනාවන් ඇති කරන්නට සමත් වේ.

නාවිකයන් සඳහා වූ මස් බඳුන් වල පණුවන් සිටීම පිළිබඳ ව කුපිත වූ නාවිකයන් විසින් කැරැල්ලක් ඇති කරන ලද අතර, ඊට එරෙහිව නැඟී සිටි නැව්පතියා විසින් කැරලි නායකයා ඝාතනය කිර්ීමත් සමඟ ඇතිවන තත්ත්වයේ දරුණු බව මේ රූපමාලාවෙන් කදිමට නිරූපණය වේ.

විචාරකයන් විසින් සමස්ත චිත්‍රපටයේ සිද්ධිය කොටස් පහකට බෙදා ඉදිරිපත්කර තිබේ.

ඒවා නම් නැවියන් කැරලි ගැසීමට හේතු වූ කාරණාව වන ආහාර වල පණුවන් සිටීම, කැරැල්ල පැතිරීමත් සමඟ නැව් තට්ටුව මත ඇති වූ සිද්ධීන් ඔඩෙසා වරායේ දී මිය ගිය කැරලි නායකයාට ගෞරව දැක්වීමට පැමිණි ජනතාව ඔඩෙසා පිය ගැට පෙළ මත සිදුවූ බිහිසුණු මිනිස් ඝාතනය සහ පොටෙම්කින් යුධ නැව අනික් නැව් කණ්ඩායමට එක්වීම, යන කරුණුය.

අදටත් මෙම චිත්‍රපටය ලෝක ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි දැක්වෙන ඔඩෙසා වරාය අසල පඩි පෙළ මත සිදුවූ බිහිසුණු මිනිස් සංහාරය බව විචාරකයෝ පවසති. විඩාවට පත් නිරායුධ ජනතාව, අවි අත දරා ගනිමින් පඩිපෙළ දිගේ පහළට බසින සොල්දාදුවන්ගේ සමීප රූප, කුඩා දරුවෙකු ඔසවා ගත් මවගේ රූපය, බිඳුනු උපැස් යුවල සහිත ලේ ගලන මුහුණ, බිළිඳෙකු සහිතව පහළට පෙරලීගෙන එන ළමා කරත්තය, කඩු පහරක් එල්ල කරන සොල්දාදුවා, තැනින් තැන වැටී ඇති මළ සිරුරු, සහ ගලින් නිම කළ සිංහ ප්‍රතිමා පංතියේ රූප පෙළ මෙම සිනමා කෘතිය අති විශිෂ්ඨ සිනමා රූප සංස්කරණයක් ලෙස ජගත් සිනමාවේ ඉහළම තැනක වැජඹේ. විනාඩි පහක කාලයක් තුළ රූප 150 ක පමණ ප්‍රමාණයක් මෙම පඩි පෙළේ සිදුවීම ඉදිරිපත් කරනු සඳහා යොදා ගෙන ඇත.

සංස්කරණය හැරුණු කළ නළු නිළියන්ගේ රඟපෑම ද එඩුවාඩ් තිසේ නම් කැමරා ශිල්පියාගේ නිර්මාණශීලී රූපගත කිරීම ද අධ්‍යක්ෂවරයාට මෙම විශ්ව කීර්තිය ලබා දීමට මහඟු දායකත්වයක් සපයා දී තිබේ.

සර්ජි අයිසන්ස්ටයින්ගේ මෙම සංස්කරණය ශිල්පයේ දී ඔහු විසින් තමාගේ ප්‍රකාශනය අරුත් ගන්වනු පිණිස සිනමා කෘතිය යනු නිර්මාණයක් බව පැහැදිලිව පෙන්වා දුන්නේ ය. එනම් කැමරාගත කරන ලද රූප තිරය මත ප්‍රක්ෂේපණය කරන කාලය තම හැඟීම තිව්ර කරනු සඳහා ස්වාභාවික ලෝකයේ පවතින කාලයට වඩා වෙසන් ආකාරයකින් ඉදිරිපත් කිරීමෙනි. ඒ නිසා මෙම චිත්‍රපටියේ සමහර රූප වැඩි වේලාවක් තිරය මත දැක්වෙන අයුරු ප්‍රේක්ෂකයාට දැකගත හැකි විය. එපමණක් ද නොව, එකම රූපය විවිධ කෝණ වලින් රූපගත කොට ස්වකීය සංස්කරණ රටාවට අනුව ඉදිරිපත් කිරීමේ නව අරුතක් ජනිත කිරීමට මෙන් ම ප්‍රබල ලෙස එම හැඟීම තිව්ර කිරීමට ඔහු සමත් විය.

1898 දී උපන් අයින්ස්ටයින් ඉංජිනේරුවෙකු ලෙස රතු හමුදාවේ සේවය කළ අතර, මුලින් ම නාට්‍ය කලාවට එකතු විය. මින් ලැබූ ආභ්‍යාසය මගින් ඔහු 1923 දී “ස්ට්‍රයික්” නමින් චිත්‍රපටයක් නිර්මාණ කළ අතර, එහි දී මෙම සමෝධාන රීතිය පිළිබඳ ව යම් යම් අත්හදා බැලීම් සිදුකරන ලදී.

සමස්ත චිත්‍රපටය ප්‍රේක්ෂකයාට ආකාර්ෂණ නොවුන ද මෙම නව අත්හදා බැලීම ඉතා සියුම් ලෙස නරඹන්නන්ගේ සිත් සතන් තුළ කිදා බැස්සවීමට ඔහු සමත් වී තිබිණි. අංග සම්පූර්ණ කෘතියක් ලෙස “බැට්ල්ෂිප් පොටෙම්කින්” උපත ලැබුවේ ඉන් අනතුරුවය. මෙම චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ කවර ප්‍රේක්ෂකයෙකුට මෙය අමතක වුවද, චිත්‍රපට සංස්කාරවරුන්ට කිසිදා අමතක කළ නොහෙන කෘතියක්වීමය.

Comments