සිනෙ මිතුරු දම | සිළුමිණ

සිනෙ මිතුරු දම

 ඉතිහාසයේ ඓතිහාසික හැරවුම් ලක්‍ෂයන් පිටුපස පොත පතේ නොලියවෙන මෙන් ම, කතා බහේදී නොකියවෙන චරිත දෙක තුනක් හෝ සිටිය හැකි බැව් මම හැමවිටම විශ්වාස කරමි.

සිංහල සිනමාව උදෙසා ඉතා පැහැදිලි හැරවුම් ලක්‍ෂයක් සනිටුහන් කළ ද ලෙස්ටර් ජේම්ස් පීරිස් ජීවිතයේ මුල් කාලයේ දී සාහිත්‍ය කරුවෙකු වීමේ ගමනක යෙදී සිටි බව මීට පෙර අප ලියා ඇත්තෙමු.

නමුත් සිනමාව ගැන අද මෙන් උද්යෝගයක් නොතිබූ ලෙස්ටර්ගේ කුඩා වියේදීම ඔහු අනාගතයේ චිත්‍රපටකාරයෙකු වන බවට අනාවැකියක් පැවසූ තැනැත්තෙක් සිටියේ ය.

ඔහු බොරැල්ලේ සුප්‍රකට දෛවඥයෙකු වූ ක්ලිෆර්ඞ් පෙරේරාය. ක්ලිෆර්ඞ් ඒ බව පවසා ඇත්තේ ලෙස්ටර්ගේ වැඩ කටයුතු හෝ නිවස තුළ මි.මී 8 ප්‍රොජෙක්ටරයක් මඟින් චාලි චැප්ලින්ගේ චිත්‍රපට නරඹන බව හෝ දැක නොවේ.

බොරැල්ලේ සිය නිවස තුළ දී ලෙස්ටර්ගේ කේන්ද්‍ර කොපියේ ග්‍රහයින් පිහිටි ආකාරය පරීක්‍ෂා කිරිමෙන් අනතුරුවය. කේන්ද්‍රයේ කුමක් තිබුණ ද සාහිත්‍ය කටයුතු වල යෙදුණු ලෙස්ටර් සිනමාවට යොමු කිරීමේ ග්‍රහ තාරකාව වූයේ සුප්‍රකට ඡායාරූප ශිල්පි ලයනල් වෙන්ට්ඞ් ය.

ලෙස්ටර්ගේ රේඛාව මුල් වරට තිරගත වූයේ 1956 දෙසැම්බර් 28 දින බව අපි මුලින් සඳහන් කළෙමු. නමුත් ලෝක පූජිත සිනමාකරුවෙකු වූ ඬේවිඞ් ලීන් නොසිටින්නට “රේඛාව” මේ කියන දිනයේ තිරගත කරන්නට නොලැබෙනු ඇතැයි අපට සිතේ. මක්නිසා ද කියනවා නම් චිත්‍රපටයේ අවසාන ජවනිකාව සඳහා වර්ෂාවක් අවශ්‍යව තිබූ බැවිනි. ලෙස්ටර් ඇතුළු නිෂ්පාදක කණ්ඩායම වර්ෂාවක් කවදා ඒදැයි බලා සිටියහ.

ඬේවිඞ් ලීන් නැමැති සිනමාකරුවා සිය “බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි” චිත්‍රපටියේ රූපගත කිරිම් සඳහා ලංකාවට පැමිණ සිටි අතර, ඔහුට ඒ සඳහා ශ්‍රි ලංකා රජය වෙනුවෙන් උපකාර කරනු ලැබුවේ මුදල් උප ඇමතිවරයෙකු වූ සරත් විජේසිංහ මහතා ය. ඔහු ඩේවිඩ් ලීන් ප්‍රමුඛ කණ්ඩායම වෙනුවෙන් තම නිවසේ සාදයක් පැවැත් වූ අතර, ඒ සඳහා ලෙස්ටර් ජේම්ස් පීරිස්ට ද ආරාධනා කර තිබුණි.

තවත් සිනමාකරුවෙකු හමුවීම් ප්‍රීතිය භුක්ති විඳිමින් ලෙස්ටර් සමඟ සව්දිය සැමරූ ලීන් චිත්‍රපටයේ වැඩ කටයුතු ගැන ලෙස්ටර්ගෙන් විමසුවේ ය. “සේරම වගේ ඉවරයි. ඒත් අන්තිම ජවනිකාව ගන්න විදියක් නෑ වැස්ස නැති නිසා” ලෙස්ටර් පිළිතුරු දුන්නේ ය.

“වැස්සක් එනකං හිටියොත් ඔබට මාස ගණනක් බලන් ඉන්න වෙයි. මම ඔබට විසඳුමක් කියන්නම්” ලෙස්ටර් අමන්දානන්දයට පත් කරමින් මේ දැවැන්ත චිත්‍රපටකරුවා උපදෙස් දුන්නේ ය.

“මීට ඉස්සර ලංකාවේ රූපගත කළ “අවුට්කාස්ට් ඔෆ් ද අයිලන්ඩ්” චිත්‍රපටයේ රූපගත කරන්න කැරොල් රීඩ් කියන අධ්‍යක්‍ෂවරයා ලංකාවට ආවා. ඒකේ ධාරානිපාත වරුසාවක් තියෙනවා. ඔය වර්ෂාව ඇති කළේ ඔබේ රටේ ගිනි නිවන හමුදාව. ඒකෙ ‘ලන්ඩන් ලසල්’කියන වතුර පොම්පෙන් අඩි 60 ක් උසට වතුර විඳින්න පුලුවන් ලු. ඉක්මනට ගිනි නිවන හමුදාවට කතා කරල වැඬේ ඉවර කර ගන්න.”

මේ හේතු කොටගෙන ලෙස්ටර්ට රේඛාවේ වැඩ කටයුතු නොපමාව අවසන් කර ගැනීමට හැකි වූ අතර, ඩේවිඩ් ලීන් හා ඔහු අතර ඇති වූ දැඩි මිත්‍රත්වය හේතුකොට ගෙන තවත් සිනමා කරුවන් තිදෙනෙකට ජාත්‍යන්තර සිනමා පටයකට සම්බන්ධ වීමේ අවස්ථාවක්ද මේ නිසා උදා විය.

ඒ කලාකරුවන්ගෙන් එක් අයෙකු වූයේ ගාමිනී ෆොන්සේකාය. ඔහු ඩේවිඩ් ලීන්ගේ “ බ්‍රිජ් ඔෆ් ද රිවර් ක්වායි” චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයෙකු වූ අතර, අනෙක් තැනැත්තා වූ විලි බ්ලෙක් එම චිත්‍රපටය සඳහා තැනූ ප්‍රචාරක සිනමා පටයේ කැමරා ශිල්පියා වූයේ ය.

පසු කලෙක සුප්‍රකට අධ්‍යක්‍ෂවරයෙකු වූ චන්ද්‍රරත්නම් ද ගාමිණි සමඟ එක්වූ අනික් සහය අධ්‍යක්‍ෂවරයා විය.

Comments