වොල්ගා සිට ගංගා තෙක් පැමිණි ශිෂ්ටාචාරයේ ගමන | සිළුමිණ

වොල්ගා සිට ගංගා තෙක් පැමිණි ශිෂ්ටාචාරයේ ගමන

කොටළුවන් විසි දෙදෙනෙකුගේ පිට පටවාගත් අතිශයින් වටිනා අත් පිටපත් ද ලේඛන චිත්‍ර ද සමග ඔහු පැමිණෙමින් සිටියේ ය. භික්ෂුවක සේ වෙස් වලාගෙන සිටියත් ඔහු මහණ චරිතයක් නොවී ය. කලක් හෙතෙම ලංකාවේ විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ හින්දි අංශයේ මහාචාර්යවරයා ලෙසින් ද කටයුතු කලේ ලෙනින්ග්‍රාද් විශ්ව විද්‍යාලය අවස්ථා දෙකක දී ම බුද්ධ ධර්මය පිළිබඳ මහාචාර්ය පදවිය පිරිනැමු පසුබිමක ය. කෙසේ වුව ලංකාවේදී බරපතල ලෙස අසනීප වූ ඔහු අවසානයේ දී මතකය අහිමි වීමේ රෝගී තත්වයෙන් ම 1963 දී ඉන්දියාවේ දී මිය ගියේ ය.

ලේඛකයෙකු වශයෙනුත්, අධ්‍යාපනඥයෙකු හැටියටත් ඔහු විසින් සිදු කරන ලද ප්‍රාමාණික මෙහෙවර වෙනුවෙන් මහා පණ්ඩිත් නම් බහු මානයෙන් පිදුම් ලද ඔහු තරුණ වියේ සිට ම අසීමිත ලැදියාවක් දැක්වූයේ සංචාරය කිරීමට ය. එහෙත් එය වනාහි හුදු සංචාරයකට වඩා ගවේෂකයෙකගේ ගමනක්ු යැයි කීම වවාත් නිවැරදි වේ ඊට හොඳම උදාහරණය භික්ෂුවක සේ වෙස් වලාගෙන තිබ්බත දේශයට ගිය ඒ ගමනයි.

එකල ලෝකයට තහනම් දේශයක් වු තිබ්බතයට ඔහු ගිය ඒ අවදානම් ගමන බරපතල අරමුණක් මත පදනම් වූයේ ය. යන මග නිශ්චිත පාරක් තොටක් නොවී ය. අතරමග දී හමු වි නම් ඒ සුළු වෙළෙන්දන් ය. එහෙම නැත්නම් එඬෙරුන් ය.

ගමනේ අරමුණ වූයේ බුද්ධ ධර්මය පිළිබඳව සංස්කෘතයෙන් ලියැවුණු විශේෂයෙන්ම 13 වන සියවසේ දී නාලාන්දාවේ මෙන්ම වික්‍රමශිලාහි මහා පුස්තකාල භක්තියාර් කිල්ජි නම් මුස්ලිම් ආක්‍රමණිකයා විසින් ගිනි තැබීම හේතු කොටගෙන විනාශ නොවී ඉතුරු වු එහෙත් අස්ථානගත වූ කෘති නැවත සොයා ගැනීම ය.

වෙසෙසින්ම සංස්කෘත බසින් ලියවුණ බෞද්ධ මූලාශ්‍රයන් සම්බන්ධයෙන් එහිදී ඔහු වැඩි උනන්දුවකින් පසු වූයේ ය.

අර මුස්ලිම් ආක්‍රමණය හමුවේ තිබ්බකයට පැන ගිය බෞද්ධ හිමිවරු තමන්ට හැකි පමණින් ගෙන ගිය එම කෘති සංඝාරාමවල තැන්පත් කොට තැබුවේ යැයි පැවසෙතත් ඒ සම්බන්ධයෙන් ඇති තොරතුරු අල්ප ය. ඒ කෙසේ වුව ඉන් සැලකිය යුතු පොත්, අත් පිටපත් මෙන්ම චිත්‍ර ද සැලකිය යුතු සංඛ්‍යාවක් ගරා වැටී තිබු සංඝාරාම වලින් අසීරුවෙන් සොයාගත් හෙතෙම ඉහත කියැවුණ ආකාරයට කොටළුවන් විසි දෙදෙනෙකු මත ඒවා පටවාගෙන ආපසු ආවේ ය.

එසේ කටයුතු කල ඒ මහා චරිතය රාහුල් සංස්කෘත්‍යායන වේ. 1893 දී ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ බ්‍රාහ්මණ පවුලක උපත ලද ඔහුගේ කුඩා අවදියේ දීම මව්පියන් මියගිය හෙයින් හැදී වැඩුණේ සීයා ලගය.

අවුරුදු විසි ගණන්වල දී ලේඛන කටයුතු වලට යොමු වී 1919 වන විට ඉන්දියානු නිදහස් අරගලයට එකතු වන හෙතෙම ඒ අධිරාජ්‍ය විරෝධි ලිපි ලිවීම හේතු කොටගෙන තුන් වසරක්ම සිරගත වී සිටියත්., ඒ කාලය නිකංම ගත නොකලේ ය.

ඔහු කුරානය සංස්කෘත බසට නැගී ය. කොහොමටත් මුල සිට ම ක්‍රිස්තියානි, ඉස්ලාම් මෙන්ම නොයෙක් හින්දු නිකායන් සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට උනන්දු වූ රාහුල් පසුව පාලි හා සිංහල භාෂා ඉගෙනීමට යොමු වුයේ බෞද්ධ මුලාශ්‍රයන් ගැන හැදෑරීමට වඩාත් උනන්දු වී යැයි කීම නිවැරැදි යැයි සිතමි.

ඒ අනුව යමින් සිද්ධාර්ථ කුමරුගේ පුත්‍ර නාමය වන රාහුල් යන්නත්, ස්වීයත්වයෙන් කටයුතු කරන්නා යන අරුතින් සංස්කෘත්‍යායන යන නමත් තමන්ගේ නම හැටියට යොදා ගත්ත ද ඔහුගේ මුල් නම වුණේ කෙදර්නාත් පාණ්ඬේ ය.

රාහුල් ඉන්දු නිදහස් සටනේ දී ගාන්ධි ව්‍යාපාරය සමග සමීපව කටයුතු කල අයෙක්ය යන්න ද කිව යුත්තක් ම වේ. ඔහුව සිංහල පාඨකයාට හඳුන්වා දීමට මහින්ද සෙනරත් ගමගේ ගත් උත්සාහය ද මෙහිදී සිහිපත් නොකලොත් එය අකෘතඥකමක් ම වන්නේ ය.

ඒ අනුව රාහුල්ගේ ඒ විශිෂ්ට ආඛ්‍යායනය වන “වොල්ගා සිට ගංගා තෙක්” සිංහල බසට නැගී තිබේ. මහින්ද පවසන අන්දමට ඔහුව ඒ වෙනුවෙන් දැනුවත් කලේ ෂෙල්ටන් පයාගල ය.

ඒ ආඛ්‍යානය ක්‍රි. ව. 6000 සිට ක්‍රි.ව. 1922 දක්වා මනුෂ්‍ය සමාජ ඵෙතිහාසික ආර්ථික දේශපාලනික පරිනාමය පිළිබඳ කතාන්දර හයකින් කල චිත්‍රයක් යැයි පෙන්වා දී තිබේ.

ඒ කෙසේ වෙතත් අවසාන විග්‍රහයේ දී තෝරාගත් කලාපයක් තුළ මානව ශිෂ්ටාචාරගේ ගමන් මග පිළිබඳව අපුරු ආඛ්‍යානයක් නිර්මාණය වී ඇති අතර ඒ පිලිබඳව කෘතියේ පෙරවදනේ එන මේ අදහස රාහුල් සංකෘත්‍යායනගේ එකී අධ්‍යයනය සම්බන්ධයෙන් මනා පුරෝකතනයක් වනවාට සැක නැත.

“වොල්ගා සිට ගංගා තෙක් ඉන්දු යුරෝපීය ජන වර්ගයේ එසේ නැත්නම් අපගේ ශිෂ්ටාචාරයේ කතාන්දරය යි. එය අපේ මිනිස් පවුලේ, සමාජයේ, සංස්කෘතියේ, ආගමේ විද්‍යාවේ, කලාවේ හා දේශපාලනය පරිනාමයේ දල කතාන්දරය යි. එමෙන්ම එය සාධාරණත්වය, සමානනාත්මතාවය, සහෝදරත්වය හා නිදහස සඳහා මිනිසා කල අරගලයේ කතාන්දරය යි.”

තවද හොඳ සහ නරක පිලිබඳව ඒ ඒ යුග වල දී යම් ආකාරයක පරිනාමීය වෙනස්කමක් මේ කතාව තුළ දැකිය හැකි වේ.

“මිනිස් පරිනාමය යනු නරකට එරෙහිව හොඳ ජයග්‍රහනය කිරීමේ කතාන්දරයක් බව ට විවාදයක් නැත. නමුත් ඊටත් වඩා කාරණයක් වන්නේ කල් යත් යත්ම එකම දෙයකට නරක හා හොඳ වෙන් වෙන් වශයෙන් තේරුම් ගැනීමට මිනිසා දැක් වූ සමත්කම යි.

ඈතම අතීතයේ සිදු වූයේ එක්කෝ එහෙම පිටින් ම බදා ගැනීම හෝ එහෙම පිටින් ම ප්‍රතික්ෂේප කිරීම යි. බදාගත් දේවල නරක ද ප්‍රතික්ෂේප කල දේවල හොඳ ඳා තේරුම් ගැනීමේ සමත්කමක් මිනිසාට නොවී ය.

නමුත් ශිෂ්ට සම්පන්න වෙත් වෙත්ම ඔහු මේ සමත්කම ලබා ගති. සෑම දෙයකම -ප්‍රතිවිරෝධය-ක් සොයා ගැණුනි. මිනිස් ජීවිතය ප්‍රාථමික පැතලි බවින් මිදී ගැඹුරක් අත්කර ගති.

මේ දැනුම නිර්මාණශීලීව යොදාගත් මිනිසා පෙර නොවු විරූ නිපැයුම් නිපැයී ය. නිර්මානශීලි ශ්‍රමය මිනිසාට මිනිසත් බවේ අසිරිය විඳගන්නට ඉඩ සැලසී ය. ප්‍රතිඵලය වුයේ මිනිස් සමාජය සංකීර්ණ මෙන්ම සුන්දර ද වීම යි.”

වොල්ගා සිට ගංගා තෙක් යනු රාහුල් කංස්කෘත්‍යායනගේ සමස්ත කාර්යභාරය නෙවන තරමට එය ඔහුගේ එක් කාර්යයක් පමණක් ම වන්නේ ය.

නමුත් ඔහු සම්බන්ධයෙන් පුළුල් හඳුණාගැනීමක් එහි අන්තර්ගත නොවන්නේ යැයි පැවසුවොත් නම් එය සැබෑ තත්වය වසං කිරීමක් මිස වෙනත් දෙයක් නොවනු ඇත.

Comments