ඔහුගේ එදවස සොඳුරුමය | සිළුමිණ

ඔහුගේ එදවස සොඳුරුමය

ග්‍රන්ථය - එදවස සොඳුරුමය

කර්තෘ - බුද්ධදාස ගලප්පත්ති

කර්තෘ ප්‍රකාශනයකි - මිළ -රු. 475

“අනෝජා රැඟුමින් ඔබ්බට ගියාය. බෙල්ලන්විල අනු නාහිමිපාණන් දම් දෙසූහ.”

“අනෝජා සද් කාර්යයකට අතහිත දුන් බැවින් එකී ආයතන සඳහා අනුගත් ස්වරයෙන් උපදෙස් දෙනු ලබන විමලරතන නායක හිමි ප්‍රමුඛ ඒ සංඝයා වහන්සේලා සිටියේ, නැරඹුවේ පිරිනිවන් මංගල්ලයයි. සංසාර ගමනේ සම්මා සම්බුදු වැනි බොදු බැතිය දනවන හෝ අඳුරු කුටිය තුළ අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ වැනි ජීවිත දුටු සංගීතයයි.

ආනන්ද;

වහන්ස අපි මාගම කෙරෙහි කෙසේ පිළිපදුමෝ ද?

බුදු හිමි;

ආනන්දයෙනි මාගම නොදැක්ම යැයි බුදුහු වදාළහ.

ආනන්ද හිමි

-වහන්ස දැක්මක් ඇති වු කල්හි කෙසේ පිළිපැදිය යුතුද?”

එතැන් සිට ඔබ එය කියවිය යුතුව ඇත්තේය. ඒ උක්තය සම්බන්ධයෙන් ඇති වූ පැහැදීම නිසා මම බුද්ධදාස ගලප්පත්තිට දුරකතනයෙන් කතා කළෙමි. ඒ “එදවස සොඳුරුමය”නම් ඔහුගේ තීරු ලිපි සරණිය ගැන විමසීමක් කිරීමටය. “මෙහෙමයි”ඔහු කතාව පටන් ගත්තේ එහෙමය.

“මම විශ්ව විද්‍යාලයට යන එකල මා එතුමාගේ ගෝලයෙකු නොවුණත්, සරච්චන්ද්‍රයන් මට හීනයක් වගේ වුණා. මහගම සේකර මගේ වීරයෙක්.”එවන් ඇසුරක් පතා තනිවම, පොදුවේ කලා ක්ෂේත්‍රයට පිවිසුණු තමන් විශේෂයෙන්ම කේ. බී. හේරත්, නිමල් ඒකනායක, ජය ශ්‍රී චන්ද්‍රජිත් මෙන්ම අජිත් ජිනදාස, නීල් අලස්, සුනිල් මිහිඳුකුල, ගුණසිරි සිල්වා ජයන්ත චන්ද්‍රසිරි, ලාල් කුලරත්න, ප්‍රසන්න විතානගේ යන ඔවුන් සමඟ 80 කණ්ඩායම නිර්මාණය කරගත්තේ යැයි ද ඔහු පැවසීය. ඒත් සමඟම එදවස ඇති වූ තවත් වෙසෙස් ඇසුරක් ගැන සිය කෘතියෙන් ද ඔහු මෙසේ සිහිපත් කරයි.

“ඒ හමුවෙන් පසු පතී (ධර්මසේන පතිරාජ) මා නිවසට ඇරලවන්නට එමින් සිටියදී හදිසියේ යෝජනාවකින් ජුබිලි කණුවේ අවන්හලක උඩු මහලේ සිට අපි දෙදෙනා ගීතය, කවිය, ආදි අපට විෂය වූ, ගෝචර වූ මාතෘකා පිළිබඳ කතාබහක යෙදුණේ මධුවිත රසය ද මද වශයෙන් විඳිමිනි. මොහොතකින් මේසය මත වු අත පිස්නා සුදු කොළයේ පතීගේ පන්හිඳෙන් ගලා ආ කවි සංකල්පනාව මෙසේය.

“වැස්ස විල වගෙයි

වැස්ස වැව වගෙයි

වැස්ස ගඟ වගෙයි

දුක්බර අහස මා වගෙයි ”කවිය තවදුරටත් දිවෙයි.

එය දිගු කවියකි.

එතැනින් එහාට යමින් “සරත් සිරිතෙහි අසිරිය වින්දෙමි”යි කතුවරයා පවසයි. ඊට අනුව එක් කාලයක අප අමන්දානන්දයට පත් කළ අපූර්ව සිනමා සංස්කෘතියක් මෙරට තිබිණි. එහි අවතැන්, අවකල් හැසිරීම් මඟ හරවා ලද හැම ඉඩ අවසරයක දීම නිර්මාණාත්මක ප්‍රයෝග ඉදිරිපත් කරමින් ඊට ජීව ප්‍රවාහය සැපයූවන් ද ඒ තුළම බිහි විය. සරත් දසනායක නම් සංගීතඥයා එවැන්නෙකි.

“ගාමිණි ෆොන්සේකා හා මාලනි ෆොන්සේකාගේ චරිත සඳහා ජෝතිපාල ඇන්ජලින් හෝ ලතාගේ හඬ භාවිතා කළ සරත් දසනායක දිනුම් කණුවේ ටෝනි රණසිංහ නම් සුකුමාර යෞවනයා සඳහා සහභාගි කරවාගත්තේ වික්ටර් රත්නායකයි.‘මියුරු කල්පනා නෙතක දැල්වුණා‘යි ගයමින් ටෝනි දිනුම් කණුවේ රඟපාන ජවනිකාව සිත් අත් නොහරින සේ සික්හ ‘රැඳෙන්නේ එම ගීතය ගයමින් රඟන ටෝනිගේ රූපකය හා අතිශය උචිතව වික්ටර් රත්නායකගේ තාරුණ්‍යයේ හඬ ගී තනුව හා ගීතයේ මිහිරත් නිසාය.”

“මාලනි ෆොන්සේකා රඟන ප්‍රේම ජවනිකාවලට ඇතුළත් ගී සඳහා නන්දා මාලනිගේ හඬ නොව ඇන්ජලීන්ගේ හඬම භාවිතා කොට ඇත්තේ ඔහු අපේක්ෂා කළ වඩාත්ම උචිත ගායනය ඇන්ජලින් සතු බව වටහාගත් නිසා විය යුතුය.”

තමා කාල යාත්‍රිකයෙකු ලෙසින් ගැනීමට කතුවරයා කැමති බව පැහැදිලිය. මේ කෘතිය එවැන්නෙකුගේ ප්‍රයත්නයක් ලෙසින් දැකීමටත් ඔහු කැමතිය. “කඳුලත් සුසුමත් හදින් ගලන තෙක් එකමුතු වී අපි ඉමු මිතුරෝ”යන ගී උද්ධෘතය කියැවීමත් සමඟ මා තුළ ඇති වූ සිතුවිල්ල ද ඔබට නොකියා මේ සටහන අවසන් කළ නොහැකි යැයි සිතමි.

ජ්‍යෙෂ්ඨයින් සිය කාලය පිළිබඳ හැඩරුව, අත්දැකීම් විනිශ්චයක් ඇති හෝ නැතිව අද්‍යතන පරපුරට දානය කිරීම සුදුසු කටයුත්තක්මය.

අඩුම තරමින් තමන්ට කියන්න කතාවක් තිබේ යන හැඟීම පමණක් වුව සාඩම්බර තත්වයක් වේ.

Comments