වතු පාලකයා මරා සමිතියට ජය පතමින් පෝරකයට නඟියි | සිළුමිණ

වතු පාලකයා මරා සමිතියට ජය පතමින් පෝරකයට නඟියි

 

දැනට දශක අටකට පෙර මැදියම් රැයක උඩරට වතුකරය හෙල්ලුම් කැවූ මිනීමැරුමක් සිදුවිය. කම්කරු අරගලයක ප්‍රතිඵලයක් වූ එම මිනීමැරුමට අදාළ නඩුවේ දී රජය වෙනුවෙන් පෙනී සිටියේ ඕ.එල්. ද ක්රෙට්ස්ර්ය. පසු කලෙක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවකු වූ ඔහු එම බිහිසුණු සිද්ධිය මේ ලියුම්කරුට විස්තර කළේ විශ්‍රාම ගොස් සිටියදීය. ලියුම්කරු එවකට ලේක්හවුස් මාණ්ඩලික වාර්තාකරුවෙකි.

ඒ මෙරට වතුකරයේ සුද්දන් රජ කළ කාලයයි. ලංකා සමසමාජ පක්‍ෂයට මුලින්ම කම්කරුවන් ඇදී එන්නට පටන් ගත්තේ ඒ අවදියේය. එවකට ලංකාවේ බලගතුම කම්කරු පක්ෂය වුයේද සමසමාජ පක්ෂයයි. වසර 1940 පෙබරවාරියේදී සමස්ත ලංකා වතු කම්කරු සමිතියේ ශාඛාවක් පුස්සැල්ලාවේ ස්ටෙලන්බ්ර්ග් තේ වත්තේ පිහිටුවන ලදී. කොටස් දෙකකින් යුත් මෙම වත්තේ පන්සියයක් පමණ නේවාසික කම්කරුවෝ සේවය කළහ. ඔවුන්ගෙන් තුන්සියයක් පමණ අලුතෙන් පිහිටුවනු ලැබූ සමසමාජ පක්ෂ ශාඛාවට බැඳුණෝය. එහි ලේකම් වූ මෙයියප්පන් සමස්ත ලංකා වතු කම්කරු සමිතියේ මව් සමිති කමිටුවේද සාමාජිකයෙක් විය.

අදත් මනරම් පරිසරයක පිහිටි ස්ටෙලන්බ්ර්ග් වත්තේ යුරෝපීය පාලකයා වූ ජෝජ් පෝප් එහි අධිකාරී වරයා ලෙසින් පත්ව ආවේ 1938 දීය. කලබලවලට හේතු වුයේ පෝප් විසින් වත්තේ විසි දෙහැවිරිදි ද්‍රවිඩ කම්කරුවකු වූ රාමසාමි වීරසාමි සේවයෙන් නෙරපා දැමීමයි. ඔහු සේවයෙන් නෙරපන ලද්දේ ඔහුට විරුද්ධව ස්ටෙලන්බ්ර්ග් වත්තේ ‘ටී මේකර්’ සහ ඔහුගේ සහායකයා කළ පැමිණිල්ලක් නිසාය. එහෙත් තමා සේවයෙන් නෙරපා දැමීමේ ලියැවිල්ල බාර ගැනීම ප්‍රතික්ෂේප කළ වීරසාමි ඒ ගැන වෘත්තීය සමිතියට කරුණු ඉදිරපත් කළේය. ඔහු වෙනුවෙන් වහා ක්‍රියාත්මක වූ සමිතිය කෙසේ හෝ නැවත වීරසාමිට නැවත වත්තේ රැකියාව ලබාදුන්නේය.

මෙයින් ටික දිනකට පසු ඔහුට නැවත රැකියාව ලැබුනේ තමා නිසා යැයි සමිතියේ ලේකම් මෙයියප්පන් පුරසාරම් දොඩන්නට පටන්ගති. ඒ වන විටත් මෙයියප්ප්න් ගේ වැඩ ගැන නොසතුටකින් සිටි වතුපාලකයා කුපිත විය. ඔහු 1941 ජනවාරි දෙවනදා මෙයියප්පන් සේවයෙන් ඉවත් කළේය. මේ පිළිබඳව මෙයියප්පන් වහාම සමස්ත ලංකා වතු කම්කරු මව් සංගමයට පැමිණිලි කළ විට සංගමය කළේ එ් කම්කරුවා සේවයෙන් නෙරපීමේ ලියවිල්ල අස්කරගන්නා ලෙස වතුපාලක පෝප්ට කියා සිටීමයි. එසේ නැතිනම් කරණය ගැන සාමකාමීව තීරණයක් ගැනීමට තමන් කැමති බව ඔවුහු වතුපලකයාට දන්වා සිටියහ.

පෙබරවාරි හය වනදා පෝප් මහතාත්, මව් සමිතියත්, ශාඛා ලේකම්වරයා නැවත සේවයට කැඳවීම සම්බන්ධයෙන් එකඟත්වයට පැමිණියහ. එහෙත් තමාට වැඩ කිරීමට වතු පාලකයා අවස්ථාවක් දී නැතැයි මෙයියප්පන් නැවතත් පැමිණිලි කළේය. මේ තත්ත්වය නිසා ස්ටෙලන්බ්ර්ග් වත්තේ උදා වූයේ ඉතාමත් උණුසුම් තත්ත්වයකි.

සාකච්ඡාවේදී ගන්නා ලද තීරණයට අනුව ක්‍රියාකිරීමට පෝප් මහතා පසුබට වී ඇතැයි මව් සමිතිය ඔහුට ලියා යැවීය. වහාම මෙයියප්පන්ට නැවත රැකියාව ලබා දෙන ලෙස එම ලිපියෙන් වතු පාලකයාට අණ කරන ලදී. මෙයින් කුපිත වූ සුද්දා, "අනවසරයෙන් වත්තට ඇතුළුවීම" පිළිබඳව මෙයියප්පන්ට චෝදනා කරමින් ගම්පොළ මහේස්ත්‍රාත් උසාවියේ නඩු පැවරීය. ශාඛා ලේකම්වරයාට විරුද්ධව උසාවියේදී සාක්කි දුන් පෝප් මෙයියප්පන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක්ද ලබා ගත්තේය. එහෙත් වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට පොලිසිය ගියවිට ඔහු නිවසින් අතුරුදන් වී සිටියේය. ඔහුට නීති මගින් දඬුවම් පැමිණවීමට වතු පාලකයා සූදානම් වන බව සෙසු කම්කරුවන්ට පැහැදිලි විය. මෙයින් වඩාත්ම කලබල වුයේ මෙයියප්පන්ගේ පිහිටෙන් නැවත වත්තේ රැකියාව ලබාගත් රාමසාමි වීරසාමිය.

ගම්පොළ මහේස්ත්‍රාත් උසාවියෙන් මෙයියප්පන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුව නිකුත් කරන ලද්දේ 1941 මැයි අටවනදාය. එදිනම සුපුරුදු පරිදි විනෝද වීම‍ට පුස්සැල්ලාවේ ඩෙල්ටා සමාජ ශාලාවට ගිය පෝප් ට ලෙවෙලන් වත්තේ යුරෝපීය පාලක ජේ. පී. බ්ලැක්මෝ මුණගැසුණි. පසුවදා රාත්‍රී කෑමට එන ලෙස බ්ලැක්මෝ පොප්ට ආරාධනය කළේය. පසු දින එනම් මැයි නව වනදා පෝප් සිය බංගලාවේදී දිවා ආහාර ගත්තේය. වතු කම්කරුවකු වූ අයියන් පෙරුමාල් එදින සවස හතයි තිහ පමණ වනතුරු සිටියේ බංගලාවේ කණුවක් බඳිමින්ය. රාත්‍රී හතට පමණ බංගලාවෙන් පිටත් වූ පෝප් ගලහ ලෙවෙලන් වත්ත බලා සිය මෝටරිය පැදවූයේ තනිවමය. වත්තේ සිට සැතපුම් අටක් පමණ දුරින් වූ ලෙවෙලන් වත්තට ඔහු ළඟා වන විට එදින රාත්‍රී හතයි විස්ස පමණ විය.

ඔහු ස්ටෙලන්බ්ර්ග් බංගලාවෙන් පිටත් වූ පසු එහි දෙවැනි සේවකයා වූ දහහත් හැවිරිදි ෆිලිප් ප්‍රනන්දෙස් වත්තේම වූ සිය නිවසට ගොස් වෙනදා මෙන් සංගීතය ඇසීම සඳහා ග්‍රමෆෝනය ක්‍රියාකරවීය. ඔහු එසේ සින්දු අසමින් සිටින අතර රාත්‍රී අටට පමණ අයියන් පෙරුමාල් එහි පැමිණ 'දොරේ' (වතුපාලක) කොහි ගියාදැයි විමසීය. පෝප් ගිය දිසාවක් තමා නොදන්නා බව ප්‍රනන්දෙස් පැවසු විට 'දොරේ' ගියේ මක්කටදැයි පෙරුමාල් තවත් ප්‍රශ්නයක් නැගීය.

"රෑ කෑමට" යයි බංගලා සේවකයා පිලිතුරු දුන්නේය

"දොරේ එන්නෙ කීයටද?"

"මං දන්නේ නෑ"

එදින රාත්‍රී එකොළහ පමණ වනතෙක් බ්ලැක්මෝ සමඟ සිටි පෝප් ආපසු එන්නට පිටත් විය. එහි සිට ස්ටෙලන්බ්ර්ග් වත්ත දක්වා ඇති පාර තනිකර නැග්මක් වූ බැවින් ගමනට පය බාගයක් පමණ ගතවෙයි. එදින රාත්‍රී හොඳින් හඳ එළිය තිබිණි. එකොළහයි තිහට පමණ පෝප් ගේ මෝටරිය ස්ටෙලන්බ්ර්ග් තේ කම්හල පසු කරගෙන බංගලාව දෙසට ගමන් ගත්තේය. ඒ බව කම්හල් මුරකරු ජේ. ඒ. කසීම් මුර කුටියේ දුරකථනයෙන් බංගලාවට දැන්වීය. ඔහු එසේ කළේ එවිට බංගලාවේ අප්පුට කලින්ම ගරාජයේ දොර ඇර තැබිය හැකි බැවිනි. (එකල අද මෙන් දුරස්ථ පාලක යන්ත්‍ර මගින් දොරවල් විවෘත කිරීමේ තාක්ෂණයක් නොවීය) බංගලාව පිහිටි මට්ටමින් අඩි තිහකට පහළින් වූ ගරාජය තිබුණේ පාරේ දකුණු පැත්තෙනි. ඈතින් එන මෝටරියේ ඉදිරිපස පහන් එළිය වරින් වර වත්තේ උඩහට දිස්විය. ඉන්පසු එය නැවත පෙනුණේ නැත.

බංගලාවේ 'අප්පුකම' කලේ ෆිලිප් ෆර්දිනන්දෙස් ගේ පියාවූ සෙබෙස්තියන් ෆර්දිනන්දෙස්ය. දුරකතන පණිවුඩය ලැබී විනාඩි දහයක් පමණ බලා සිටි නමුත් පෝප්ගේ මෝටරිය ගරාජය වෙත එන බවක් නොපෙණුනු බැවින් ඔහු ඒ බව දුරකථනයන් කම්හලේ මුරකරු වූ කසිම්ට දැන්වීය. ප්‍රමාදයට හේතුව කුමක් දැයි සෙවීමට සිතාගත් කසීම් වත්තේ පාර දිගේ ඉහළට ගමන් ගත්තේය. ඔහු මීටර් තුන්සීයක් පමණ ගමන් කළා පමණි. දුටු දෙයින් මුරකරු ගල් ගැසුණි. පොප් මහතා සිහි නැතිව ලේ විලක වැටී සිටි අතර ඊට මීටර් කීපයක් නුදුරින් ඔහුගේ මෝටරිය නවතා තිබුණේය. එහි ගමන අවහිර කිරීම සඳහා ලී කොට තබා තිබු බැවින් ඒවා ඉවත් කිරීම සඳහා රියෙන් එළියට බට වතුපාලකයාට සාහසිකයන් විසින් පහර දෙන ලද බව පැහැදිලි විය. වයස හතළිස් පහක් පමණ වූ පෝප් ශක්තිමත් පුද්ගලයකු වූ බැවින් ඔහු සාහසිකයන් සමඟ පොර බදන්නට ඇත. එහෙත් ඒ අසල හඬ නගමින්ගලා බසින දිය ඇල්ල නිසා සුද්දාගේ කෑගැසීම කිසිවකුටත් නෑසෙන්නට ඇත.

ඔහුගේ සිරුරේ තුවාල විසිනවයක් වූ අතර එයින් අටක්ම හිස්කබල සහ හකු ඇට පිපිරීමෙන් ඇතිවූ ඒවාය. ඔහු වැටී සිටි ස්ථානයේ තිබී යකඩ පයිප්ප කෑල්ලක්, තුනට කැඩුනු පොල්ලක්, යතුරක් ගැට ගැසූ රතු ලේන්සුවක් සහ පින්තූර රාමුවකින් කැඩුණු ඝන නූලක්ද කසීම් විසින් සොයාගන්නා ලදී. සෙස්සන්ගේද ආධාර ඇතිව කසීම් විසින් පෝප් ව බංගලාවට ගෙනයන ලද නමුත් පසුදා අලුයම දෙකට පමණ සිහි නොලබාම ඔහු අවසන් හුස්ම හෙළීය. ඔහුගේ ගේ අධික ලෙස විකෘති වී තිබු මළ සිරුර ශීත කරන ලද කරනලද පෙට්ටියක බහා වුවද නැවත සියරට (එංගලන්තය) යැවීම නිෂ්ඵල ක්‍රියාවක් බැවින් සිරුර පුස්සැල්ලාවේ ඇන්ග්ලිකන් කිතුනු සොහොන් බිමේ මහිදන් කෙරිණි. එය ඔහුගේ පවුලේ අයට වේදනාකාරී වූ නමුත් ඒ ගැන කිසිවක් කළ නොහැකි විය. පොලිසිය මේ මිනීමැරුම සම්බන්ධයෙන් මුලින්ම අත්අඩංගුවට ගත්තේ අයියන් පෙරුමාල්ය.

මෙයියප්පන් ගේ මැදිහත් වීමෙන් නැවත වත්තේ රැකියාව ලබාගත් රාමසාමි වීරසාමි සහ තවත් කම්කරුවකු වූ වෙලායිතන් සමග පෙරුමාල් කසුකුසුවක යෙදී සිටි බවට ඔත්තුවක් ලැබී තිබිණි. ඒ අනුව ඔහු එම කතිකාවට සම්බන්ධ වී ඇත්තේ මැයි නව වනදා රාත්‍රියේ පෝප් මහතාගේ ගමන පිළිබඳව ෆිලිප් ප්‍රේන්දෙස් ගෙන් අසන්නට කලින් බව පොලිසියට දැනගත හැකිවිය.

සිද්ධිය වූ ස්ථානයේ තිබී හමු වූ සුසු තිත් වැටුණු නිල් පැහැති ලේන්සුවක අයිතිකරු ලෙස සැකකරනු ලැබූ රෙන්ගසාමි නම් අයද පෙරුමාල් සමගම අත්අඩංගුවට ගන්නාලදී. මැයි එකොළොස්වනදා මහනුවර පොලිසියේ පරීක්ෂක ස්කානිවල් සහ සැරයන් සයිමන් පෙරේරා ඔවුන්ට ලැබුනු ඔත්තුවක් අනුව වීරසාමි අත්අඩංගුවට ගත්හ. ඔහු අල්වා ගන්න ලද්දේ මහනුවර ත්‍රිකුණාමල වීදියේ සමස්ත ලංකා වතු කම්කරු සංගම් මූලස්ථානයෙන් පිටවෙද්දීය. මැයි පහළොස්වනදා රම්බොඩ ෆ්රොටොෆ්ට් වත්තේ කොන්දොස්තර වූ සන්තියාගු විසින් වේලායිතන් අල්වා ගන්නා ලදුව ගම්පොල පොලිසියේ පරීක්ෂක එස්. බී. තෝරදෙනිය මහතාට බාර දෙන ලදී. වේලායිතන් අත්අඩංගුවට ගැනීමේදී තවත් සය දෙනෙකුගේ නම් හෙළි විය. ඒ අනුව සින්නා මුනියන්ඩි, රෙන්ගසාමි, මාරිමුත්තු, වේලු, අයියන් පෙරුමාල් සහ කුප්පෙසාමිද අත්අඩංගුවට ගැනින. වේලායිතන් විසින් තමන්ද මිනීමැරුමට පටලව ඇතිබව දැනගත් ඔව්හු ඒ ගැන එවකට සිටි ගම්පොල මහේස්ත්‍රාත් අයිවද සේරම් මහතා ඉදිරියේ තනි තනිව ප්‍රකාශ කළහ.

ගම්පොල මහේස්ත්‍රාත් උසාවියේදී ඇරඹුණු මෙම නඩු විභාගයේදී රජය වෙනුවෙන් ඕ.එල්. ද ක්රෙට්සර් පෙනී සිටිය අතර, විත්තිය වෙනුවෙන් චරිත රණසිංහගේ උපදෙස් පිට සී.එස්. බී. කුමාර කුලසිංහ පෙනී සිටියහ. පසුව නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලදින් වර්ෂ 1941 දෙසැම්බර් පළමුවැනිදා විනිසුරු සූට්ස් සහ ඉංග්‍රීසි කරන ජූරියක් ඉදිරියේ විභාගයට ගැණින. මිනීමැරුම සිදුවූ තැන තිබී ලැබුණු යතුරක් ගැටගසන ලද ලේන්සුව වීරසමිට විරුද්ධව ඉදිරිපත්වූ ප්‍රබලම සාක්කිය විය. ඔහුගේ නිවසේ දොර ඉබ්බා හැරෙන්නට එම යතුරෙන් විවෘත කළ හැකි වෙන කිසිවක් මුළු ස්ටේලේන්බ්ර්ග් වත්තේම නොවීය. සිද්ධිය වූ තැන තිබී ලැබුණු ඝන නූල වේලායිතන් විසින් සුරයක් බැඳීම සඳහා පාවිච්චි කරන ලද්දක් බව ජූරියේ ඒකමතික තීරණය විය.

සෙස්සෝ නිදහස් කරනු ලැබූහ. මොස්ලි, හර්න් සහ විජේවර්ධන යන විනිශ්චයකාර වරුන් ඉදිරියේ විභාග කරනු ලැබූ විත්තිකරුවන්ගේ අභියාචනා වෙනුවෙන් පෙනී සිටියේ බී.ජී.එස්. ඩේවිඩ්ය. එහෙත් අභියාචනා ඉවත දමන ලදින් වර්ෂ 1942 පෙබරවාරි හත්වැනිදා උදේ අටට වීරසාමි වැලිකඩ බන්ධනාගාරයේ පෝරකයට නැංගේය. ඊට පසුදා වේලායිතන්ද පෝරකයට නැංගේය. එල්ලා මැරීමට කලින් වේලායිතන් බී.ජී.එස්. ඩේවිඩ්ට දමිළ බසින් මෙසේ ලිවීය (සිංහල පරිවර්තනය):

"ගරු මහත්මයාණෙනි”,

“අප වෙනුවෙන් හද පිරි කම්පාවෙන් කටයුතු කළ ඔබතුමා හට ලියන යටහත් වූ අපගේ ආදරණීය ලිපියයි මේ. අප එල්ලුම් ගහෙන් බේරාගැනීමට ඔබතුමා පුළුවන් තරම් උත්සාහ ගත්තා. ඒත් නොහැකි වුණා. වරද ඇත්තේ අපේ ග්‍රහයන්ගේ. “

“කම්කරු රාජ්‍යය දිනේවා! අපගේ සංගමයට සියලු බල ලැබේවා!"

Comments