විස්සයි 20 හොර ක්‍රිකට් තරගාවලිය | සිළුමිණ

විස්සයි 20 හොර ක්‍රිකට් තරගාවලිය

බදුල්ලේ බව හඟවා මොහාලි නුවර පැවැති විස්සයි 20 හොර ක්‍රිකට් තරගාවලිය බුකීකරුවන්ගේ අලුත්ම ක්‍රිකට් ජාවාරමක සුලමුල හෙළි වෙයි

ශ්‍රී ලංකාවේ ඌව විස්සයි 20 ප්‍රිමියර් ලීග් තරගාවලියක් පැවැත්වෙන බවට ලෝකයටම බොරු ප්‍රවෘත්තියක් මවමින් වෙනත් ස්ථානයක පැවැත්වූ තරගාවලියේ මහ මොළකරු හෙවත් බුකී ඔස්තාර්ව ඉන්දියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රවීන්දර් සිං දණ්ඩිවාල් නැමැති මොහු මොහාලි හී පදිංචිකරුවකු වන අතර ඔස්ට්‍රේලියානු පොලිසිය විසින් අදාළ සැකකරු හඳුනාගෙන ඉන්දියානු පොලිසියට දැන්වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ. ව්‍යාජ විස්සයි 20 තරගාවලියක් ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩකයන්ගේ නම් යොදා පවත්වමින් බුකීකරුවන්ගේ ඕනෑ එපාකම් මත ක්‍රීඩකයන්ව ක්‍රීඩා කිරීමේ කූට උපක්‍රම උපයෝගි කරගනිමින් තරගාවලිය පන්ජාබයේ පවත්වා තිබේ.

මීට පෙර අත්අඩංගුවට ගත් විත්තිකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව සියලූ දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වුවා, යැයි ඉන්දියානු පොලිසිය සඳහන් කර තිබේ. අදාළ පුද්ගලයන් ටෙනිස් තරගද පාවාදීම් සම්බන්ධයෙන් කටයුතු කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. ඉන්දියාවේ ව්‍යාප්තව ඇති බුකීකරුවන්ගේ අලුත්ම ක්‍රිකට් ජාවාරමක සුලමුල හෙළි කළ මේ විමතිය දනවන තරගාවලිය සම්බන්ධව වැඩි දුර විමර්ශන සිදු වෙමින් පවතින බව ද ඉන්දීය පුවත්පත් වැඩි දුරටත් වාර්තා කළේය.

ශ්‍රී ලංකාවේ බදුල්ල නගරය කේන්ද්‍ර කරමින් ඌව පළාත් ක්‍රිකට් සංගමය මගින් මෙහෙයවූ තරගාවලියක් බවට පෙන්නුම් කරමින් මේ තරගාවලිය ඉන්දියාවේ මොහාලි නුවරට කිලෝමීටර් 16ක් ඈතින් පිහිටි ගම්මානයක පවත්වා තිබිණි.

මොනරාගල හෝනට්ස්, යුනිලයන්ස් මහියංගණය, බදුල්ල සී ඊගල්ස් සහ වැල්ලවාය වයිපර්ස් නමින් කණ්ඩායම් හතරක සහභාගිත්වයෙන් ජූනි මස 29 වැනිදා සිට ජූලි මස 5 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වෙන බවට කාලසටහනක්ද අන්තර්ජාලයට මුදා හැරීමට බුකීකරුවන් කටයුතු යොදා ඇත.

කිසිදු ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහභාගි නොවු එම ව්‍යාජ තරගාවලිය ‘ඌව විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය’ නමින් ඉන්දියාවේ පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිඛිතව දැන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි .

අදාළ ක්‍රීඩාංගණය පොලීසිය විසින් පසුගියදා වටලනු ලැබූ අවස්ථාවේදී මෙරට හිටපු සුපිරි ක්‍රීඩකයන් වන තිලකරත්න ඩිල්ෂාන්, අජන්ත මෙන්ඩිස් සහ ෆර්වේස් මහරූෆ් ඇතුළු තවත් ක්‍රීඩකයන් රැසකගේ නම් සටහන් වූ ක්‍රීඩා ජර්සිවලින් සැරසුණු පන්ජාබ් ප්‍රදේශයේ නාඳුනන ක්‍රීඩකයෝ පිරිසක් මුඛ ආවරණ ද පැලඳ ක්‍රීඩා කරමින් සිටියහ. මේ සම්බන්ධව කිසිවක් නොදන්නා බවත්, දේශීය ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට එක්තරා පිරිසක් ක්‍රීඩාංගණය වෙන් කරවා ගත් බවත් එම ක්‍රීඩාංගණයේ හිමිකාරිත්වය දරන ස්ට්‍රොක්ස් ක්‍රිකට් සංගමය නමැති ක්‍රීඩා සංගමයේ නිලධාරියකු පොලීසියට පවසා තිබේ. එමෙන්ම කොවිඩ්19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් නරඹන්නන්ගෙන් තොරව තරගාවලිය පවත්වන බව ද තරග සංවිධායකයන් ප්‍රකාශ කළ බව එම ක්‍රීඩා සංගමයේ නිලධාරියකු පොලීසියට වැඩිදුරටත් පවසා තිබේ. එමෙන්ම එම ක්‍රීඩාංගණයේ තැනින් තැන තරගාවලිය සම්බන්ධව විවිධ දැන්වීම් පුවරු ප්‍රදර්ශන එල්ලා තිබූ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඡායරූප එහි සටහන් වී තිබූ බව ද මොහාලි පොලීසිය සඳහන් කළේය.

ඌව විස්සයි 20 ව්‍යාජ ක්‍රිකට් තරගාවලිය යූ ටියුබ් වීඩියෝ වෙබ් අඩවියේ එක්තරා චැනලයක් ඔස්සේ සජීවිව විකාශය කිරීමට ද තරගාවලියේ සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබිණි. එමෙන්ම තරගාවලියේ සජීවි ලකුණු පුවරුව ‘ස්පෝර්ට්ක්‍රීඩා’ නමැති ජනප්‍රිය වෙබ් අඩවියේ පන්දුවෙන් පන්දුවට යාවත්කාලීන වෙමින් තිබිණි. මේ තරගාවලිය ඉන්දියාවේ මහ පරිමාණයෙන් ව්‍යාප්තවී ඇති අන්තර්ජාලය ඔස්සේ ඔට්ටු තැබීමේ ක්‍රමවේදය අනුව පැවැත්වූවක් බවත්, එය එරට බුකීකරුවන් විසින් සංවිධාන කරනු ලැබුවක් බවත් මේ වන විට වැඩිදුර විමර්ශනවලින් අනාවරණය වී ඇත.

Comments