දිමුත් සහ ආතර් සතුටින් | සිළුමිණ

දිමුත් සහ ආතර් සතුටින්

කොවිඩ් 19 වසංගතය නිසා එළැඹෙන ඉන්දීය සහ බංග්ලාදේශ සංචාරයන් කල් ගිය ද, සිය කණ්ඩායමේ පුහුණුව දිගටම කරගෙන යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි. මාස තුනකට පසුව දෙවැනි ක්‍රිකට් පුහුණු සැසිය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවූ අතර මෙකී පුහුණු සැසියට ක්‍රීඩකයන් 24 දෙනකු එක්වූහ. මේ ක්‍රීඩකයන් 24 දෙ‍නාට ටෙස්ට් - එක්දින සහ විස්සයි 20 ක්‍රීඩකයන් එක්වූ නමුත්, විස්සයි 20 නායක ලසිත් මාලිංග මේ පුහුණුව සඳහා එක් නොවීය.

කොළඹ පැවැති පළමු පුහුණුවෙන් අපි හුඟක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේ ම ඒ පුහුණු සැසිය මඟ හැරුණු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම සිටියා. ඒ නිසා මඟ හැරුණු ක්‍රීඩකයන්වත් එකතු කරගෙන තමයි දෙවැනි පුහුණු සැසිය පැවැත්වුණේ. අපි කරගෙන ආපු දේවල් නවත්වන්නේ නැතුව දිගටම කරගෙන යන්න ඕනෑ. එවිට ජාත්‍යන්තර මට්ටමට එතකොට හොඳ තැනක ඉන්න පුළුවන් යැයි දිමුත් කියයි. කොවිඩ් 19 වසංගතය නිසා බොහෝ රටවල්වලට ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන් ම නතර කර දැමීමට සිදුව තිබේ. මේ දිනවල බ. ඉ. කොදෙව්වන් එංගලන්තයට පැමිණ සිටින අතර, සෙසු රටවල්වලට තමන්ගේ රටවලටවත් පුහුණු සැසිවාරයන්වත් කරගෙන යාමට නොහැකිවී තිබේ. මාස තුනකට පස්සේ ක්‍රීඩා පිටියට ආවම කලින් අපි හිටියා වගේ සියයට සියයක්ම දෙන්න බැරි වෙයි. හැබැයි අපි කලින් මේ වැඩය පටන් ගත්ත නිසා, තරමක් ඉදිරියෙන් ඉන්නවා. අපි හැමෝම හුඟක් මහන්සි වෙනවා. පරණ රිද්මයටම හැකි ඉක්මණින් ම එන්න. සති දෙකෙන් දෙකට මේ පුහුණු සැසි පැවැත්වූවාට, අපි ජාත්‍යන්තර තරග ලැබෙන තෙක් ම දිගටම පුහුණුවීම් කරගෙන යනවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ප්‍රකාශ කරන්නේ ද මේ පුහුණු සැසි සම්බන්ධයෙන් තමා බො‍හෝම තෘප්තිමත් බවයි. අපි පළමු වෙන් ම අවධානය යොමු කළේ ක්‍රීඩකයන්ගේ ශරීර සෞඛ්‍යය ගැනයි. ක්‍රීඩකයන් සියලුම දෙනා වාගේ හොඳ යෝග්‍යතාවයකින් පසු වෙනවා. අපේ කණ්ඩායමේ විවිධ දක්ෂතා ඇති ක්‍රීඩකයෝ ඉන්නවා‍. ඒක හොඳ සංකලනයක්. මේ පුහුණුව අවසානයේ අපට ඕනෑම මට්ටමේ ජාත්‍යන්තර තරග රාමුවකට ක්‍රීඩා කරන්න පුළුවන් මට්ටමක ඉන්නවා‍. ඉදිරියේදී විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලානයට සූදානම් වෙනවා. හැබැයි තවමත් ඒ ගැන ස්ථිර නිගමනයකට ඇවිත් නෑ. ඒ නිසා ඕනෑම මට්ටමේ ජාත්‍යන්තර තරගයකට සූදානම් වීම තමයි යෝග්‍ය යැයි ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසයි.

Comments