තහනමින් පසු වෙනත් ගමනක් ගැන සිතයි | සිළුමිණ

තහනමින් පසු වෙනත් ගමනක් ගැන සිතයි

ශ්‍රී ලංකාවේ හිටපු කෙටිදුර ධාවන ශූරී අචලා ශාලිකා ඩයස් මීට සිව්වසරකට පෙර තහනම් උ‍ත්තේජක චෝදනාවකට වරදකාරියකවී ඇයට සිව්වසරක දඩුවම්ක් හිමිවිය. ඇයගේ සිව්වසරක දඩුවම් කාලය පසුගිය මාර්තු මස 17 වැනි දා නිමාවට පත් විය. නමුත් ඇයගේ අනාගත ක්‍රීඩා දිවිය පිළිබඳව දැන ගැනිමට අපට අවස්ථාවක් හිමි නොවීය. ඒ පසුගියදා තුන් මසක් පුරා පැවැති කොවිඩ් 19 ලෝක වසංගත තත්ත්වය නිසා අචලා ඩයස් සම්බන්ධ කරගැනීමේ දුෂ්කරතා මතුවිය. එමෙන්ම ඇයගේ දඩුවම් කාලය නිමා වු බවට ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනය විසින් ලබාදුන් ලිඛිත ලියවිල්ලද ඇයට හිමිව තිබුණේ පමා වීමෙන්ය.

‘මම ඒ පසුගිය ‍අමිහිරි වේදනාකාරී යුගය ගැන මතක් කරන්නත් කැමැති නෑ ඒ වගේ ම ඒ දුක්බර අතීතය ඉතාමත් දුක්බර ලෙස නිමා කළා. මගේ හිතට ලොකු නිදහසක් දැන් දැනෙනවා. මම පසුගිය තුන්වසර තුළ සිදුවුණු හැමදේකින්ම ජිවිතය තේරුම්ගැනීමට උත්සහා කළා. ඒ වගේම 100% ක් නැතත් යම් තාක් දුරට ‍ජිවිතය තේරුම් ගත්තා. මම අවුරුදු 3කින් විතර ක්‍රීඩා පිටියක තරග කරලා නෑ. ඒ නිසා මම හිතන් නෑ මට නැවතත් කෙටි දුර ධාවනයේ නිරත විය හැකිය කියා.

නැවත මලල ක්‍රීඩාවට මොනයම් හෝ ඉසව්වකින් සම්බන්ධ වෙනවාද? නෑ මම නැවත මලල ක්‍රීඩාවට ඒමේ බලාපොරොත්තුවක් නෑ. මම දැනට නිරත වෙලා සිටින වෘත්තියත් සමග මට ලැබෙන නිදහස අඩුයි‍. නමුත් මම වෙනත් වෘත්තියක නියැ‍ලිමේ අරමුණ ඇතිව ආයතන දෙකක රැකියාවන් සඳහා ඉල්ලුම්පත් යොමු කොට තියෙනවා. ඒයින් මට ලැබෙන වෘත්තිය අනුව මම ගෘහස්ථ ක්‍රීඩා වන බැඩ්මිටන්,වොලිබෝල් ක්‍රීඩාවලට යොමු විමේ බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ මගේ ශාරීරික යෝග්‍යතාව වැඩිදියුණු කරගැනීමට. ඉන් පසුවු මගේ කැමැත්තක් තිබෙනවා කාන්තා රග්බී ක්‍රීඩාවට යොමු විමට. දැනට මගේ අරමුණ වී තිබෙන්නෙ ඒක තමයි. ඉදිරියේදී වෙනත් ක්‍රීඩාවක් තුළින් දක්ෂතා අතරට පැමිණිමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

තරග තහනමට ලක් වන විට අචලා තත්පර 11.80 ක කාලයකින් මීටර් 100 කාන්තා ඉසව්ව නිමකරමින් දක්ෂතා අතර සිටි ක්‍රීඩිකාවකි‍. 2004 වසරේදී පැවැති දකුණු අසියානු ක්‍රීඩා උලේළෙදී රන් පදක්කම් දිනු 100X4 සහය දිවීමේ කණ්ඩායමේ සාමාජිකාවකද වු අචලා 2010 වසරේදී 100X4 ඉසව්වෙන් රන් පදක්කමක් හා මීටර් 100 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්ද දිනා සිටියේය.

චිනයේදී 2015 දී පැවැති ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට එක්වීමේ ශ්‍රීලංකා සංචිතයට ඇතුලත්ව සිටි අචලා එම තරගාවලියට ප්‍රථම 2015 මැයි 10 වැනිදා අචලා ඩයස්ගෙන් ලබා ගන්නා ලද මුත්‍රා සම්පලයන් පරික්ෂා කිරීමේදී ඇයගේ මුත්‍රා සාම්පල වල “මෙටනොලෝන් සහ ට්‍රෙන්බොලෝන්” නම් තහනම් උත්තේජක සංඝටක අඩංගුව තිබු බවට වෛද්‍ය වාර්තාවල සටහන්ව තිබූ නිසා 2015 වසරේදී චිනයේ පැවත්වු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියටද සහභාගී විමේ අවස්ථාව අහිමි විය. ඒ අනුව 2015 මැයි මස සිට බලපැවැත්වෙන පරිදි ඇයට තහනම් උත්තේජක භාවිත කිරිමේ වරද නිසා සිව් වසරක දඩුවමක් හිමි විය.

Comments